රනිල්ගේ පොරොන්දුව ඉටුවන තුරු බලා සිටින විගී

0
93

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළිදැක්වීමට නියමිත වාර්තාව ඉතා බරපතළ එකක් වනු ඇතැයි තමිල් මක්කල් තේසීය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් ‘මව්බිම’ට පැවැසීය.

එම වාර්තාවට පෙර තමන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයිද වින්නේශ්වරන් මහතා කීය.

සුළු සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මූලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ තමා දැනුවත් කළේ යැයිද විග්නේශ්වරන් මහතා කීය.

මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බව අමාත්‍යවරයා තමාට පැවැසූ බවද විග්නේශ්වරන් මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය පැවැත්වීමට පෙර පැවති සාකච්ඡාවලදී දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ද, උතුරු නැඟෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක්‍රමණ වහා නතර කරන්නැයිද තමා කළ ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී යැයිද ඒ මහතා පැවැසීය.

තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් එහිදී ජනාධිපතිවරයා එකඟ වී යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඩී.එල්. ජයකොඩි