රංගනය විශ්වවිද්‍යාලයක් අපි ඉන්නේ පෙර පාසල් අවධියේ

0
60

ඔහු මහවිරු පණ්ඩු, ගුග්ලි, නෝ පාකින්, ක්වීන් වැනි ටෙලි නාට්‍යය තුළ විවිධ චරිත නිරූපණය කළේය. මේ දිනවල මහවිරු පණ්ඩු හරහා රනාගෙ චරිතය තුළින් ප්‍රේක්ෂකයන් හට සමීප වන ඔහු නමින් දෙනුවන් ශ්‍රී  බණ්ඩාරයි. චරිතාංග නළුවකු ලෙස විවිධ චරිත නිරූපණය කරමින් රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක සලකුණු පෙන්නුම් කරන දෙනුවන් අද හදගැස්ම කතාබහට එක්කාසු වුණේ මේ විධියටයි.  කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මේ දවස්වල මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් ඉවර කළා. නම් වශයෙන් සඳහන් කළොත් රවීන්ද්‍ර විජේරත්නගේ “වීනස්ගෙ උපත, ත්‍රිශූල දීප තඹවිටගේ “කළු දළු” සහ දයාරත්න රටගෙදරගේ “ඕනා” ටෙලි නාට්‍ය වගේම ශාන් ‍ෙදාඩන්ගොඩගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන “සමනල කඳුළු”  කියන ටෙලි නාට්‍යයන්. එම ටෙලි නාට්‍යය නුදුරේදීම විකාශය වේවි. ඊට අමතරව මම පොලිස් ක්‍රීඩා සමාජයේ අවුරුදු විසි තුනෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කළා. දැනට United Cricket Clubහි ක්‍රිකට් සෙල්ලම් කරනවා.  රඟපෑමේ කටයුතු නිසා මට ක්‍රිකට් ක්‍රීඩාව තරමක් මඟහැරී  තිබුණා. දැන් නැවත  ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉදිරියේදී ක්‍රිකට් සමඟ රඟපෑමේ නියැළෙන්නට බලාපොරොත්තුවෙන්  සිටිනවා.          

දෙනුවන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන ආකාරය මුලින්ම කතා කරමු?

 මම මුලින්ම කලාවට පිවිසෙන්නේ වෙළෙඳ දැන්වීම් හරහා සහ චිත්‍රපටවල සුළු චරිත තුළින්.  මගේ ප්‍රථම ටෙලි නාට්‍යය වෙන්නෙ දෙරණ නාළිකාවේ විකාශය වන  දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ පිංතුවා කියන චරිතය. එහි මට ලැබුණෙ සුළු චරිතයක්. පසුව වෙස්, නිරාවරණ,  නෝ පාකින්, අඩෝ, ක්වීන්, අහස් මාලිගා, මහවිරු පණ්ඩු, ගුග්ලි  වැනි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නට වාසනාව ලැබුණා.

 නවකයෙක් ලෙස රංගනය පිළිබඳ හැදෑරීම තුළින් රංගන ක්ෂේත්‍රයේ පැවැත්මක් තබා ගැනීම පහසු යැයි ඔබ සිතනවාද?

අනිවාර්යයෙන්ම පහසුයි. මම දැනට රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්නෙ නැහැ. නමුත් මම රඟපාන අවස්ථාවෙහි ප්‍රවීණයන්ගෙන් ලැබෙන  උපදෙස්  මත මගේ රංගනය පිළිබඳව ස්වයං අධ්‍යයනයක් සිදු කරනවා. ඒ වගේම ප්‍රවීණයන් දෙස අවධානයෙන් බලන් ඉඳලා මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. රංගනය කියන්නේ විශ්වවිද්‍යාලයක් නම් අපි තවම සිටින්නෙ පෙර පාසල් අවධියේ. රංගනය තුළ අපිට යන්න පුළුවන් දුර බොහොමයි.   පෞද්ගලිකව මම ප්‍රවීණයන්ගෙන් සහ ක්ෂේත්‍රයට පැමිණෙන නවකයන්ගෙන්  අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පොත පතකට සීමා වෙලා රංගනය ඉගෙන ගන්නවාට වඩා ප්‍රායෝගිකව ඉගෙන ගැනීම වටිනවා කියලා මම විශ්වාස කරන්නේ. ඉගෙන ගැනීමට ලැබෙන අවස්ථා අපිට හරිම අඩුයි. එම නිසා ලැබෙන අවස්ථාවලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නට අවශ්‍යයි.

ක්ෂේත්‍රයට ආධුනිකයෙක් ලෙස ප්‍රවීණයන්ගෙන් ඔබේ කලා ගමනට ලැබෙන සහයෝගය කොහොමද?

ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි මම අද මෙතැන සිටින්නේ. මට  මුලින්ම රඟපාන්න ලැබුණෙ දෙනුවන් සේනාධි අයියා සමඟ. එදා ඔහු මට විශාල වශයෙන් උදවු කළා.  ප්‍රවීණයෙක් විධියට මට මුලින්ම උදවු කළේ දෙනුවන් අයියා. ජගත් චමිල  අයියා, කුසුම් රේණු අක්කා, කෝදාගොඩ අයියා, නිරංජලී අක්කා, පාලිත සිල්වා  වගේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු  සහයෝගය ගැන මට කියන්න වචන නැහැ. මට මම ගැන නිහතමානී  ආඩම්බරයක් තිබෙනවා. මොකද එවැනි ප්‍රවීණයන් සමඟ මෙම කෙටි කාලය තුළ වැඩ කිරීමට ලැබීම සම්බන්ධව. ඒ වගේම කියන්නට සතුටුයි, අද වනතුරු කිසිම ප්‍රවීණයකුගෙන් මට චෝදනාවක් එල්ල වෙලා නැහැ.

නවකයෙක් ලෙස දෙනුවන්ට ලැබෙන කැපිලි, කෙටිලි, විවේචනවලට ඔබ මුහුණ දෙන්නෙ කොහොමද?

මම දැනුවත්ව නම් කැපිලි කෙටිලි මට නැහැ. නමුත් සෑම ක්ෂේත්‍රයක් තුළම කැපිලි කෙටිලි තිබෙනවා. එවැනි අවස්ථාවලට මුහුණ දීමට අපි හැමෝටම සිදු වෙනවා. අපි එය ආශීර්වාදයක් කරගත යුතුයි. එවැනි දේවල්වලට සාර්ථකව මුහුණ දීමට හැකි නම් අපි පුද්ගලයෙක් වශයෙන් සාර්ථකයි.

ඒ වගේම  රංගනය තුළ පැවැත්මක් සාදා ගන්නට අපි මුලින්ම කළ යුත්තේ අපට ලැබෙන චරිත නිවැරදිව ග්‍රහණය කර ගැනීමයි. අපට ලැබෙන චරිතයට අපි සාධාරණයක් කරනවා නම් එතැන තමයි අපේ පැවැත්ම රඳා පවතින්නේ.

මේ කෙටි කාලය තුළ රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති නේද?

රංගන ජීවිතයේ හැම තත්පරයක්ම මට අමතක නොවන සිදුවීම් තමයි. දෙවැනි ඉනිමේ පින්තු, මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ රනා, අහස් මාලිගා ටෙලි නාට්‍යයේ තරි¾දු සහ ගුග්ලි ටෙලි නාට්‍යයේ චාමර කියන චරිත මට කවදාකවත් අමතක වෙන්නෙ නැහැ.  ඔය අතරේ එක දවසක් උඩවලව ප්‍රදේශයේ ගුග්ලි ටෙලි නාට්‍යයේ ෂූටින් වැටිලා තිබුණා. එදා වැස්ස දවසක්.  බයිසිකලය පදින ෂූට් එකක් තමයි එදා තිබුණේ. නමුත් වැස්ස නිසා මට  බයිසිකලය පාලනය කරගන්න බැරි වුණා. පසුව බයිසිකලය සමඟ  ලිස්සලා වැටිලා අනතුරක් සිදු වුණා. මම සමඟ තව දෙන්නෙක් බයිසිකලයේ සිටියා. මට අවශ්‍ය වුණේ වැටෙන වෙලාවේ බයිසිකලයේ හිටපු අනෙක් දෙන්නව බේරගන්න. ඒ අවස්ථාව ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.

වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ තිබෙන තරගකාරිත්වය පිළිබඳ ඔබට මොකද සිතෙන්නේ?

මම සිතන ආකාරයට රංගනය තුළ තරගකාරිත්වයක් තිබෙන්නට අවශ්‍යයි. අපි  දිනෙන් දින දියුණු විය යුතුයි. එසේ දියුණු වීමට නම් අපිට අභියෝගයක් වන පිරිසක් කලාව තුළ සිටිය යුතුයි. අප සතු දක්ෂතාවන් ඉස්මතු කොටගෙන දියුණු කරගත හැක්කේ එවිටයි. ක්ෂේත්‍රය තුළ මට වඩා දක්ෂයන් සිටිනවා. මම සෑම විටම උත්සාහ කරන්නේ ඒ දක්ෂයන් තරමටම මගේ හැකියාවනුත්  වර්ධනය කර ගන්න. ඒ වගේම මට ලැබෙන සෑම චරිතයක්ම මට අභියෝගයක්. ඒ නිසා මම සෑම චරිතයක්ම අධ්‍යයනය කරලා තමයි රඟපාන්නේ.

දෙනුවන්ගේ වැඩ කටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම පවුලේ සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔවුන් නැතිනම් මම මෙතන නැහැ. අදටත් මගේ පිටුපසින් සෙවණැල්ල වගේ මගේ අම්මයි තාත්තයි සිටිනවා. මගේ හොඳම ප්‍රේක්ෂකයෝ සහ ලොකුම ශක්තිය ඔවුන්. ඒ වගේම නිරුක්ෂාන් අයියා, දෙනුවන් අයියා සහ මම වැඩ කරපු සියලුම අධ්‍යක්ෂවරු සහ ටෙලි නාට්‍ය කාර්ය මණ්ඩලයට, මගේ රසිකයන් හට  විශේෂයෙන්ම ස්තූතියි කියන්න ඕනේ. ඒ හැමෝම නිසයි මම අද මෙතැන සිටින්නේ.

වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා ඇති ආකාරය කතා කළොත්?

ඒ ගැන කතා කරන්න හරිම කනගාටුයි. අනෙක් වෘත්තීන්වලට වඩා  තිබෙන අර්බුදය කලාවට විශාල වශයෙන් බලපෑවා. අපිට රූපගත කිරීම්වලට යන්න ප්‍රවාහන පහසුකම් නැහැ.  ඒ වගේම රූපගත කිරීම් කරන්න විදුලි පහසුකම් නැහැ. නමුත් මේ අමාරුකම් මැද සාර්ථක නිර්මාණයක් කරන්න නිෂ්පාදකවරුන් දරන වෙහෙස පිළිබඳව අපි සතුටු විය යුතුයි. කොපමණ ගැටලු තිබුණත් ඒ බාධක මැද ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය උදෙසා අපි නිරන්තරයෙන් කැප වෙනවා.

රංගන ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු කොහොමද?

මගේ ලොකුම ආශාව  දක්ෂතම නළුවා වීම. කවදාහරි දක්ෂතම නළුවා කියන සම්මානය ගන්න මගේ ලොකු ආසාවක් තිබෙනවා. ඒ සඳහා මම ඕනෑම කැපකිරීමක් කරන්න  සූදානම් වගේම දිවා රෑ නොබලා මම ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.

සචිනි බස්නායක