මසට ඌරෙක් විකුණන මුවාවෙන් උෟරු මුදලාලි මරපු රහස

0
110

මිනීමැරුමක් සිදුකරන පුද්ගලයකු පොලිසියට හසු නොවී සිටීම සඳහා නොයෙකුත් බොරු රඟපෑම්වල යෙදෙන බව රහසක් නොවේ. සමහරු මිනීමැරුම සිදුකළ ස්ථානයේ ඇති සාක්කි පවා වෙනස් කිරීමට කටයුතු කරති. තවත් අපරාධකරුවෝ පොලිසියෙන් බේරීමට ගේ ‍ෙදාර, අඹු දරුවන් අතහැර පලා යති. ගෙදරින් පැන ගියොත් පොලිසිය තමන් ගැන සැකයක් ඇතිකර ගනිතැයි සිතන තවත් සමහරු ගමෙන් පැන නොගොස් කිසිදු දෙයක් නොදත් අය මෙන් ගම තුළම සැරිසරති. ඒ අතරින් තවත් අය මරා දැමූ පුද්ගලයාගේ නිවෙසට ගොස් කාටත් පෙනෙන ලෙස මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතුවලටද සහාය දෙති. එසේත් නැතිනම් පොලිසියට නිර්නාමික ඇමැතුම් දෙමින් තමා සිදුකළ මිනීමැරුම වෙන අයකුගේ පිට පැටවීමට පවා යුහුසුළු වෙති. මේ හැම උපක්‍රමයක්ම ඝාතකයා සිදුකරනුයේ හිරේ විලංගුවේ නොවැටී සිටීම සඳහා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙවන් මිනීමැරුමක් පසුගියදා ක¼දාන පොලිසියටද වාර්තා වී තිබිණි. ඒ අතපය ගැටගසා වගුරු බිම තුළ මරා දැමූ පුද්ගලයකුගේ මළසිරුරක් නිලධාරීන් විසින් සොයාගැනීමත් සමඟිනි. මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා එම ඝාතනය සිදුකළේ තම මිතුරා බව පවසමින් පොලිසිය නොමඟ යවා ඇඟ බේරා ගැනීමට දැරූ උත්සාහයක් නිලධාරීන් විසින් සිදුකරන ලද සාර්ථක විමර්ශනයකින් පසුව අනාවරණය කර ගත හැකිවිණි. ඒ මිනිස් ඝාතනය සිදුකොට පැය 24ක් යන්නටද මත්තෙනි.

තැරැව්ගොඩගේ ‍ෙදාන් නසරේනු 61 හැවිරිදි තිදරු පියෙකි. ක¼දාන පොලිස් වසමේ පල්ලිය පාරේ පදිංචි ඔහු වසර හතළිහකට ආසන්න කාලයක සිට උෟරු බේ‍රා්කර්වරයකු ලෙස අතමිට සරු කරගත් අයෙකි. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ උදවියද උෟරු මස්  ව්‍යාපාරයට සම්බන්ධවූවෝ වෙති.

සිය පාපැදියෙන් ගමෙන් ගමට ගොස් උෟරන් මිලදී ගන්නා නසරේනු පාපැදියේ පිටුපස සතා ගැටගසා ගෙන රැගෙනවිත් මස්කඩවලට විකිණීම සිදුකරන්නේය. වසර කිහිපයක් තිස්සේ මෙම ව්‍යාපාරයේ යෙදීම නිසා ඒ අවට ඔහු නොදන්නා කෙනෙක් නැති තරම්ය.

චමින්දද එවන් මිතුරෙකි. 39 හැවිරිදි ඔහු ජාඇළ තුම්මෝදර පන්සල පාරේ පදිංචිකරුවෙකි. චමින්දට වඩා නසරේනු වයසින් මුහුකුරා ගිය අයකු වූ බැවින් චමින්ද ඔහු හඳුන්වනුයේ නසරේනු මාමා නැතහොත් ක¼දානේ මාමා යන නම්වලිනි.

උෟරන් විකිණීම සඳහා චමින්ද ද නසරේනු මාමාට කිහිප වතාවක්ම සහාය දුන් නිසා දෙදෙනා අතර ඇයි හොඳයියක්ද තිබිණි.

චමින්ද විසින් උෟරෙකු විකිණීමට ඇති බව නසරේනුට දන්වන අවස්ථාවලදී නසරේනු රුපියල් හැට හැත්තෑදාහ රැගෙන චමින්ද හමුවට පැමිණි අවස්ථාද බොහෝ තිබිණි. ඒ අවස්ථාවලදී ඔහු මුදල් රැගෙන එන්නේ සරම යටින් අඳින කලිසමක සාක්කුවේ දමාගෙන බවද චමින්ද හො¼දාකාරවම දනී.

ස්ථීර රැකියාවක නිරත නොවූ චමින්ද කුලී වැඩ කරමින් කීයක් හෝ උපයාගත් තැනැත්තෙකි. ඔහු මත්පැනට ඇබ්බැහිවූවෙකි. එමෙන්ම නෝන්ජල් චරිතයක් ඇත්තෙකි. ඔහු හැමදේටම බියක් දක්වයි. වරෙන්තුවක් ඇති නිසා ඔහු ඉකුත් දිනවල සිටියේ පොලිසියට බියෙන් සැඟවය. ඒ දුටු තැන පොලිසිය ඔහු අල්ලාගෙන යන බව දන්නා නිසාය.

කසිප්පු නඩුවක් සඳහා වරෙන්තු නිකුත් කර තිබුණත් ඊට අදාළ නඩුව ඉදිරි  දිනකදී කැඳවීමට නියමිතව තිබිණි. ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් දඩයක් ලෙස ගෙවීමට චමින්දට සිදුව තිබුණත් ඔහු එය නොගෙවා අධිකරණය මඟහැරීම මත වරෙන්තු නිකුත්ව තිබිණි.

කෙසේ වෙතත් එම දඩය ගෙවීමට රුපියල් ලක්ෂයක් සොයා ගැනීමට චමින්දට නොහැකිවිය. ඒ නිසා ඔහු සිටියේ දස අතේ කල්පනා කරමින්ය. නසරේනු මාමා චමින්දගේ මතකයට ආවේ ඔය අතරය. නඩුවෙන් බේරීමට කෙසේ හෝ ලක්ෂයක් සොයාගත යුතු බව දත් චමින්ද නසරේනු මාමා රවටා එම මුදල කඩාගත හැකි යැයි සිතන්නට විය. ඔහු ඒ සඳහා කිසියම් උපායක් කල්පනා කරන්නට විය.

“නසරේනුවට ගේමක් ගහන්න ඕන” ඔහු තීරණය කළේය. නසරේනුව බොරුවක් පවසා ගෙන්වා ගත යුතු බව ඔහු සිතුවේය. ඒ සඳහා සැලසුමක්ද ඔහුගේ මතකයට ආවේය.

ඒ ඉකුත් මස 31 වැනිදාය. චමින්ද නසරේනු මාමාට දුරකථන ඇමැතුමක් දුන්නේය.

“මාමේ… හොඳ උෟරෙක් ඉන්නවා. ගෙනියන්න එනවද?”

“කීයක් කියනවද?”

නසරේනු චමින්දගෙන් විමසන්නට විය.

“ලක්ෂයක් ඕනලු”

“හරි. මම හෙට උදේට උඹලගේ ගෙදරට එන්නම්. බිස්නස් එක හෙට කරමු.”

චමින්දගේ සිතට කිසියම් සතුටක් දැනිණි.

පසු දින උදෑසන වන විටම නසරේනු චමින්ද සොයා සිය පාපැදියෙන්ම ජාඇළ ඇළබැම්ම ප්‍රදේශයේ පිහිටි චමින්දගේ නිවෙසට ආවේය. මිලදී ගැනීමෙන් පසු උෟරා සයිකලේ පිටුපස බැඳගෙන යෑම සඳහා ලණුවක්ද සයිකලේම ගැටගසාගෙන පැමිණි නසරේනු මාමාව චමින්ද සතුටින් පිළිගත්තේය.

“කෝ… බඩු… කොහේද තියෙන්නේ.” නසරේනු චමින්දගෙන් විමසන්නට විය. ඒත් ඊට පිළිතුරක් දීමට චමින්දට නොහැකි විය. උෟරා මිලදී ගැනීමට නසරේනු අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂයක් රැගෙන පැමිණ ඇති බව චමින්ද හො¼දාකාරවම දැන සිටියේය. ඒ නිසා නසරේනු හිස් අතින් යළි යැවීමටද නොහැකිය. ඊට කිසියම් උපායක් කළ යුතු බව සිතූ චමින්ද වහා සිය මිතුරෙකු වූ පැතුම්ට දුරකථන ඇමැතුමක් දුන්නේය. පැතුම් තිස් හැවිරිදි වියේ පසුවූවකු වූ අතර ඔහු ජල්තර, කපුගස් ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු විය.

“පැතුම් කෝ බං… උෟරා… ක¼දානේ මාමා ඇවිල්ලා ඉන්නේ උෟරව ගෙනියන්න.”

චමින්ද කිසියම් රඟපෑමක නිරත වුවද නසරේනු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැත.

“මාමා විනාඩි දහයක් ඉන්න. උෟරා ඉන්නේ වගුරේ ගැටගහලලු. මම ගිහින් අරගෙන එන්නම්.” එසේ කී චමින්ද නසරේනු සිය නිවෙසේ නතර කොට පැතුම්ගේ ගෙදරට ගියේය. පැතුම් ඒ වන විටත් සිටියේ මර නින්දේය.

“එයා තවමත් නිදි චමින්ද”

බිරිය චමින්දට කීවාය.

“මාර වැඩේනේ. කොන්ක්‍රීට් එකක් දාන්න තියෙනවා. මම බැලුවේ නිකන් ඉන්න එකේ පැතුමත් එක්කගෙන යන්න. උෟටත් ගාණක් ගන්න පුළුවන්නේ. පැතුම්ව නැඟිට්ටවන්නකෝ. මම ඇවිත් කියලා කියන්න.”

බිරිය පැතුම්ව අවදි කළේ ඉන් පසුවය.

“ඇයි… මොකක්ද වැඩේ කාගේද කොන්ක්‍රීට් එකක්ද දාන්නේ.” මඳ දුරක් යද්දී පැතුම් චමින්දගෙන් විමසුවේය.

මොන කොන්ක්‍රීට් එකක්වත් නෑ බං. මං බොරුවක් කිව්වේ. නසරේනු මාමා ඇවිල්ලා ඉන්නවා. උෟරෙක් ගෙනියන්න. මම කිව්වා උෟරෙක් ඉන්නවා ලක්ෂයක් ඉල්ලනවා කියලා.”

“ඒ වුණාට කෝ උෟරෙක් ඉන්නවද?”

“ඒක තමයි මම මාමාට මර්සියක් දැම්මේ. මාමා ලක්ෂයකුත් ගෙනැල්ලා තියෙන්නේ.”

“ඉතින් දැන් මොකද කරන්නේ”

“අපි පොඩි ගේමක් ගහමු. උඹ කියපන් උෟරෙක් ඉන්නවා. වගුරේ ගැටගහලා ඉන්නේ. රුපියල් ලක්ෂයක් නැන්දා ඉල්ලනවා කියලා පොරට වගුරට යන්න කතා කරපන්. යන ගමන්…”

චමින්දගේ කීමට පැතුම්ද එකහෙළා එකඟ විය. ඒ ඔහුට මත්කුඩු පානය කිරීම සඳහා ඒ මොහොතේ අතේ කිසිදු මුදලක්ද නොතිබීම නිසාය. මොහොතකට පසු පැතුම්ද සමඟ චමින්ද නිවෙසට ගොඩවූහ.

“මාමේ මෙයා ළඟ තමයි උෟරා ඉන්නේ.” එසේ කියමින් චමින්ද පැතුම්ව නසරේනු මාමාට හඳුන්වා දුන්නේය.

“ඔව්, අපේ නැන්දගේ උෟරා… වත්තේ තියාගන්න බැහැ කරදරයක් නිසා වගුරේ ගැටගහලා තියෙන්නේ. නැන්දා උෟරට ලක්‍ෂයක් ඉල්ලනවා. ඕන නම් වගුර පැත්තට යමු. මම අරන් දෙන්නම්…”

පැතුම්ගේ කීම විශ්වාස කළ නසරේනු උෟරා මිලදී ගැනීමට මුතුරාජවෙල ආසන්නයේ ඇති වගුරු බිමට යෑමට එකඟ විය.

“එහෙනම් මගේ බයික් එකේ උඹ වරෙන්. මම මාමත් එක්ක එන්නම්”

නසරේනු සිය පාපැදියට චමින්දව ගොඩකරගත් අතර චමින්දගේ පාපැදියට පැතුම් ගොඩවිය. තිදෙනාම ඉඳිපිටිය ක්‍රීඩාංගණය පසුකොට හමුවන වගුරු බිම අසලදී පාපැදිවලින් බැස උෟරා බැඳ සිටි වගුර තෙක් ගියේ බයිසිකල් තල්ලු කරගෙනය.

“කොහේද බං  මූව ගැටගහලා තියෙන්නේ” නසරේනු චමින්දගෙන් විමසීය.

“තව පොඩ්ඩක් ඉස්සරහ… වගුර කෙළවරේ ඉන්නේ” පැතුම් ඊට පිළිතුරු දුන්නේය.

“මාමෙ ලණුවත් අතට ගමු. උෟරව ගැටගහගෙන එන්නත් එපැයි…” චමින්දගේ කීමට බයිසිකලේ ගැටගසා තිබූ ලණුවද අතට ගත් නසරේනු ඔවුන් පසුපසින් ගමන් කරන්නට විය.

මෙලෙස ගමන්ගත් නසරේනු එදා සවස් වනතුරු ගෙදර ගියේ නැත. මෙය නසරේනුගේ නිවෙසේ අයට මහත් ප්‍රහේලිකාවක් විය. උෟරෙක් මිලදී ගැනීම සඳහා ජා-ඇළ ඇළ බන්ට් එක පැත්තට යන බව නසරේනු යන්නට කලියෙන් ගෙදර අයට කියා තිබිණි. එය ගෙදර අයගේ මතකයට නැඟිණි. ඒ අනුව නසරේනුගේ පුතකු ඔහු සොයා ජා-ඇළ බන්ට් එක දෙසට ගියේය. ඔහු දන්න කියන අයගෙන්ද තාත්තා ගැන විමසීය.

“මම දැක්කා උදේ චමින්දත් එක්ක කතා කර කර ඉන්නවා…” දෙතුන් දෙනෙක්ම නසරේනුගේ පුතාට මේ බව කීවද එදින රාත්‍රිය වනතුරුත් නසරේනු සොයා ගැනීමට ඔහුට නොහැකි විය.

නසරේනුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ක¼දාන පොලිසියට පැමිණිල්ලක් ලැබෙනුයේ ඉන් පසුදා උදෑසනය. මේ වන විට නසරේනුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියටද තොරතුරු ලැබී  තිබිණි.

“සර්… තාත්තා උදේ අර චමින්දත් එක්ක කතා කර කර ඉඳලා තියෙනවා.” ඒ තොරතුරු  මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් චමින්ද සොයා ඇළ බැම්ම දෙසට ගියහ. ඒ, චමින්දට වරෙන්තුවක්ද ඇති බව දැනගෙනය. වැඩි මොහොතක් යන්නට  මත්තෙන් චමින්දට මේ බව දැනගන්නට ලැබිණි. පොලිසියට හසුවුවහොත් වන දේ චමින්දට හොඳින් වැටහී තිබිණි. චමින්ද වහා අපරාධ විමර්ශන අංශය භාර  ස්ථානාධිපතිවරයා ඉදිරියට ගියේය.

“සර්… ක¼දානේ මාම උෟරෙක් ගන්න කියලා පැතුම් එක්ක වගුරට ගියා” ස්ථානාධිපතිවරයා විමසන්නටද කලියෙන් කියාගෙන ගියේය.

“අපි ආවේ ඔය මඟුලක් ගැන අහන්න නෙමේ… උඹට වරන්ට් එකක් තියෙනවා නේද…”

චමින්ද හිස සැලුවේය. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේය. ඒ වරෙන්තුව සඳහා කියමින්ය. පොලිසියට රැගෙන ගිය චමින්දගෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

“කෝ නසරේනු…”

“මම දන්නේ නැහැ සර්…”

“ඇයි බං උඹ උදේ මිනිහත් එක්ක කතා කර කර ඉඳලා  තියෙන්නේ…”

චමින්ද ස්ථානාධිපතිවරයාගේ මුහුණ දෙස බලා සිටියේය.

“ඇත්ත කියපන්… කෝ ඒ මිනිහා”

“සර් මම ඇත්තම කියන්නම්. ක¼දානේ මාමා උෟරෙක් සල්ලිවලට ගන්න ආවා. මමයි පැතුමයි මාමායි වගුර පැත්තට ගියා. පොඩි දුරක් ගිහින් මම හැරිලා ආවා. පැතුම් තමයි උෟරා දෙනවා කිව්වේ… ඇයි සර්  මාමට මොනව හරි කරදරයක් වෙලාද..”

“ඒක අපි දන්නේ නැහැ. නසරේනු තවමත් ගෙදර ගිහින් නැහැ… උඹලා මිනිහට මොනව හරි අනතුරක් කළාද…”

පොලිස් ස්ථානාධිපතිවරයා චමින්දගෙන් විමසුවේය.

“අනේ මම නම් මුකුත් දන්නේ නැහැ සර්… පැතුමත් එක්ක තමයි මාමා වගුර පැත්තට ගියේ. සමහර විට පැතුමා මාමට මොනව හරි කළාද දන්නේ නැහැ…”

චමින්ද අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කීවේය. නෝන්ජල් චරිතයකින් හෙබි චමින්ද එසේ පැවැසුවේ නසරේනු මාමාගේ ඥාතීන්ගෙන් ඔහුට තර්ජනයක් එල්ල වෙතැයි යන බිය නිසාය. නසරේනු අතුරුදන් වීමට පැතුම්ව පොලිසියට හසුකරදී තමා නිර්දෝෂී පුද්ගලයෙක් බව සමාජයට පෙන්වීමට චමින්දට අවශ්‍යවිය. එහෙත් පොලිසිය මොහු කී දේ විශ්වාස කළේ නැත. ඒ වන විටත් නසරේනු ගැන කිසිදු තොරතුරක් නොවීමද නිලධාරීන්ට මහත් ගැටලුවක් විය. කෙසේ වෙතත් චමින්ද මුදානොහල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නැවත ඇළ බැම්ම දෙසට ගොස් නසරේනුගේ අතුරුදන් වීම ගැන සොයා බලන්නට විය.

ඒ අතරතුර උප පොලිස් පරීක්‍ෂක ජයලත් ඇළ බැම්ම අවට ඇති සී.සී.ටී.වී. කැමරාද සෝදිසි කිරීමට පියවර ගත්තේය.

“එක් සී.සී.ටී.වී. කැමරාවක තියෙනවා චමින්දයි, පැතුම් කියන කෙනයි නසරේනුයි පුෂ් බයිසිකල් දෙකකුත් තල්ලු කරගෙන වගුර කෙළවරට යනවා.”

“ඒත් ඊට පැයකට විතර පස්සේ ඒ කැමරාවලම තියෙනවා චමින්දයි… පැතුමුයි විතරක් වගුරේ ඉඳලා බැම්ම පැත්තට එනවා. ඒකෙ නසරේනු නැහැ. ඒ නිසා අපි සැකකළා නසරේනුට මොනව හරි මුන් දෙන්නා කරලා කියලා…”

අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් කීවේය.

ඒ සැකය මත ස්ථානාධිපතිවරයා යළි චමින්දගෙන් ප්‍රශ්න කරන්නට විය. එහෙත් ඔහු දිවුර දිවුරා  කීවේ තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත්, නසරේනු මාමා සමඟ වගුර කෙළවරට ගියේ පැතුම් බවත්ය.

චමින්ද නසරේනුගේ අතුරුදන් වීම ගැන කිසිවක් සඟවන බව දත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සිය උත්සාහයන් අත්නොහැරියේය. ඔහු චමින්දගෙන් තව තවත් ප්‍රශ්න කරන්නට විය.

“හරි… උඹ පෙන්නපන්කෝ උඹ කොතනට වෙනකම් ගියාද කියලා…”

උප පොලිස් පරීක්‍ෂක ජයලත් එසේ පැවැසීමත් සමඟ චමින්දගේ මුව ගොළු විය. ඇඟපුරා දහඩිය ගලන්නට විය.

චමින්දගේ ඉරියව්වලින් සහ හැසිරීමෙන් චමින්ද ගැන තිබූ සැකය තවදුරටත් තහවුරු කරගත් උප පරීක්‍ෂක ජයලත් ඔහුවද වාහනයක දමාගෙන මුතුරාජවෙල ඇළ බැම්ම දෙසට ගියේය.

“උඹ කොතැනට යනකම් ගියාද කියලා පෙන්නපන්…”

වැඩේ වරදින්නට යන බව චමින්දට සිතුණේය. තවත් බොරු කීවොත් බඩකට පුරා ගුටි කන්නට වෙතැයිද චමින්ද දැනගත්තේය.

“සර්.. මෙන්න මේ පැත්තට ගියේ සර්…” එසේ කී චමින්ද නිලධාරීන්ද සමඟ වගුරු බිමේ ඉදිරියට ගියේය.

“මෙන්න මේ හරියේ…”

චමින්ද ගොත ගසමින් කුමක්දෝ කියන්නට විය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට ඒ අවට සෝදිසි කරන ලෙස උපදෙස් දුන්නේය.

“සර්… මේ… මේ…” නිලධාරියකු වගුරු බිමේ වැටී සිටි නසරේනුව ස්ථානාධිපතිවරයාට පෙන්වා සිටියේය. නිලධාරීහු වහා එතැනට පැමිණියහ. නසරේනු ඒ වන විටත් මියගොසිනි. ඔහුගේ දෑත් ලණුවකින් ගැටගසා තිබිණි. ඔහු ඇඳ සිටි සරම කීතුවලට ඉරා දමාය. නසරේනුගේ සිරුරේ හිසේ සිට දෙපා දක්වා වෙළා තිබිණි. ඒ සතකු බඳින විලසින්ය.

නිලධාරීන් ඊළඟට හැරුණේ චමින්ද දෙසටය.

“උඹ මේ සේරම කරලා මුකුත් දන්නේ නැහැ වගේ හිටියනේ…” ස්ථානාධිපතිවරයා චමින්දට ‍ෙදාස් පවරමින් කියන්නට විය.

“ඇත්තමයි සර්… මම මේ මුකුත් දන්නේ නැහැ. පැතුම් තමයි ක¼දානේ මාමව මෙතනට එක්කරගෙන ගියේ. මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. අනිවාර්යයෙන්ම පැතුමා තමයි සර් ඕක කරන්න ඇත්තේ. පව් අහිංසකයා… හෙණ ගහනවා ඕකට…” චමින්ද පොලිස් නිලධාරීන් ඉදිරියේ එසේ කීවේ පොලිසිය ඔහුව විශ්වාස කොට මුදාහරීවි යැයි සිතාය.

“හරි හරි.. කෝකටත් මූව තියා ගනිමු. පැතුම්ව අරන් එන්න ටීම් එකක් යවන්න.”

සියල්ල අසා සිටි උප පොලිස් පරීක්‍ෂක ජයලත් නිලධාරීන්ට කීවේය. නිලධාරීන් චමින්ද සිය භාරයේ තබා ගනිමින් පැතුම් සොයා ඔහුගේ නිවෙසට ගියේ නසරේනු ඝාතනයට ඔහුව අල්ලා ගැනීමේ අදහසින්ය. ඒත් පැතුම් නිවෙසේ නොවීය. නිලධාරීන් හිස් අතින් පොලිසියට ආවේය.

“අන්න  තමුසෙව හොයාගෙන පොලිසියෙන් ආවා” ඒ අතරතුර බිරිය පැතුම්ට කීවාය. ඉන් අනතුරුව පැතුම් යළි නිවෙසට පැමිණියේ නැත. මුතුරාජවෙල වගුර දෙසට පැනගිය පැතුම් ඒ අවට දන්න කියන ගෙයකින් කෑම ඉල්ලාගෙන කා වගුරේ හැංගී සිටියේය.

කෙසේ වෙතත් පොලිසිය පැතුම් ගැන ඇහැ ගහගෙන සිටි බැවින් පැතුම්ට වැඩි කාලයක් මුතුරාජවෙල වගුරේ සැඟව සිටිය නොහැකි විය. පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකු ඒ අවට සැරිසරනු දුටු පැතුම් හීන්සැරේ දෑලතුරට පැමිණියේ වෙනත් ප්‍රදේශයකට පලායෑමේ අදහසින්ය. ඒත් පොලිසිය ඔහුට වඩා ඉක්මන් විය. පලායෑමට සැරසුණු පැතුම් නිලධාරීන්ට කොටුවිය.

“ඇත්ත කියපන්. ඇයි උඹ නසරේනුව මැරුවේ…” ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විමසීය. ඔහු උඩබිම බැලීය.

“මම විතරක් නෙමේ සර්… ඇයි චමින්දයා උගේ වුවමනාවට තමයි මාමා ආවේ උෟරෙක් ගන්න කියලා. මම ගෙදර නිදාගෙන හිටියේ. උෟ තමයි මාව එක්කගෙන ගියේ…”

“හරි හරි චමින්ද මඟට ඇවිත් ගියානේ.. ඉන් පස්සේ උඹ නේද…”

“පිස්සුද සර්… උෟ කියන්නේ බොරු. අපි තුන්දෙනාම උෟරා ගේන්න කියලා වගුර දිගේ ගියා. චමින්දයා තමයි මට කිව්වේ උෟරෙක් වගුරේ ගැටගහලා ඉන්නවා කියලා නසරේනු මාමට කියපන් කියලා…”

පැතුම් එකක් නෑර සියල්ල හෙළි කරන්නට විය. ඒ චමින්ද ඔහු පාවාදී ඇති බව නිලධාරීන් පැවැසීම නිසාය. චමින්ද කියා ඇත්තේ බොරු බව නිලධාරීන්ට වැටහිණි.

“එදා අපි දෙන්නම වගුර දිගේ උෟරා ගේන්න යමු කියලා නසරේනු මාමා එක්කරගෙන යනකොට චමින්ද කිව්වා ඕකගේ ඔළුවෙන් අල්ල ගනින් කියලා. පස්සේ මම නසරේනුගේ ඔළුව හයියෙන් අල්ල ගනිද්දී චමින්ද නසරේනු මාමා උෟරා බඳින්න ගෙනාපු ලණුව අරගෙන නසරේනු මාමාගේ කකුල් දෙක ගැටගැහැව්වා…”

පැතුම් සියල්ල හෙළි කරන්නට පටන් ගත්තේය. නසරේනු වගුරේ ඇදගෙන වැටුණේ ඉන් පසුවය. අනතුරුව මොවුන් නසරේනු ඇඳ සිටි කමිසයේ සාක්කුව සුද්ද කළේය. එහි තිබුණේ රුපියල් තුන්සියයක් පමණි.

“මූ ගාව මීට වඩා සල්ලි තියෙන්න ඕන” චමින්ද පැතුම්ට එසේ කියමින් නසරේනු ඇඳ සිටි සරම ගලවා විසිකොට යටට ඇඳ සිටි කලිසම් සාක්කුවට අත දැමීය. එහි රුපියල් ලක්‍ෂයක මුදලක් තිබිණි. ඒ සමඟම චමින්දගේ මුහුණේ සිනහවක් මතුවිය. පැතුම්ගේ යටි සිතද සතුටින් ඉපිල ගියේය.

“මූට යන්න දුන්නොත් මූ අපිව පාවලා දේවි. මූව ගැටගහලා මෙතැන දාලා අපි යමු…”

රුපියල් ලක්‍ෂය සියතට ගත් චමින්ද මිතුරා වූ පැතුම්ට කීවේය. ඉන් අනතුරුව නසරේනුගේ සරම කීතු කීතුවලට ඉරා දැමූ චමින්ද සහ පැතුම් එම සරම් කැබැලිවලින් සහ නසරේනු ගෙනා ලණුවෙන් ඔහුගේ මුළු සිරුරම වෙළන්නට වූහ.

“අනේ බං… මාව මරන්න එපා… උඹ මාව දන්නවනේ… උඹ කියපු හින්දනේ බං මම උෟරා ගන්න ආවේ. මාව මෙතැන දාලා යන්න එපා මං මැරේවි…”

නසරේනු ජීවිතය යදිමින් චමින්දගෙන් ඉල්ලා සිටියද ඔහු නසරේනු මාමාගේ කීම තඹ සතේකටවත් මායිම් කළේ නැත. පසුව ලණුවෙන් ගැටගසන ලද නසරේනුව ඊට යාබදව ඇති අධිවේගී මාර්ගයට ආසන්න වතුපාළුවලින් ගහන ලඳු කැලෑ කොටසකට ඇදගෙන ගොස් අතහැර දැමීය. ඒ වන විටත් නසරේනුට පණ තිබුණද ඔහු සිටියේ පහර කෑම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයකින්ය. ඉන් අනතුරුව නසරේනුගේ ජංගම දුරකථනයද වගුර දෙසට වීසිකළ මොවුන් ඔහුගේ පාපැදියද වතුරේ ඔබා දැමීය. නසරේනුව කිසිදා කිසිවකුට සොයාගත නොහැකි වෙතැයි ඔවුහු සිතූහ.

“ඉන් පස්සේ චමින්ද නසරේනු මාමාගෙන් ගත්ත ලක්‍ෂයෙන් මට රුපියල් හතළිස් අටදහසක් දුන්නා. එයා රුපියල් පනස් දෙදහක් ගත්තා. මම ඒ සල්ලිවලින් කුඩු පැකට් දෙකකුත් අරගෙන ගෙදර ගියා…” පැතුම් පොලිසිය හමුවේ කීවේය. මත්කුඩු පැකට්වලින් සතුට ලබාගත් පැතුම් එදින සවස්වරුවේ යළි චමින්ද හමුවීමට ගිය අතර ඒ වන විටත් චමින්ද සිටියේ හොඳහැටි මත්පැනින් සප්පායම් වෙමින්ය.

“නසරේනුට මොනව වුණාද දන්නේ නැහැ නේද”

“පොඩ්ඩක් ගිහින් බලලා එමුද…”

එසේ කතිකා කරගත් දෙදෙනා යළි වගුර කෙළවර නසරේනු ඇදගෙන ගොස් දැමූ තැනට ගියහ. ඒ වන විට නසරේනු මියගොස් සිටියද ඒ ගැන එතරම් තැකීමක් නොකළ ඔවුහු කිසිවක් නොදන්නවුන් සේ යළි නිවෙස්වලට ගියහ.

“උඹ මූව මාට්ටු කරලා ඇඟ බේරගන්න නේද ගියේ… හොඳ වෙලාවට අපි උඹව අතහැරියේ නැත්තේ…”

ස්ථානාධිපති ජයලත් චමින්ද දෙස බලමින් කීවේ උඹලට පොලිසිය අන්දවන්න බැරි බව කියමින්ය.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළි වූයේ නසරේනු මරණයට පත්ව ඇත්තේ ගෙල සිරකර උගුර දණ්ඩ කැඩී වෙන්වී යෑමෙන් පසුවය.

පෑලියගොඩ අපරාධ ස්ථානීය පරීක්‍ෂණාගාරයේ පොලිස් පරීක්‍ෂක සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමක් මුතුරාජවෙල වගුරට ගොස් නසරේනුගේ සිරුර පිළිබඳ සොකෝ පරීක්‍ෂණ පැවැත්වූහ.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි, ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත ක¼දාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් කහඳවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සාගර ජයලත් ඇතුළු සැරයන්වරුන් වන තිලකරත්න (36589), අධිකාරි (61279), කොස්තාපල්වරුන් වන සුදුසිංහ (18663), සඳරුවන් (69815) සහ කාන්තා කොස්තාපල් ඉනෝකා (10918) ඇතුළු සොකෝ අංශයේ උප පොලිස් පරීක්‍ෂක ජයලත් ලියනගේ (76549) සහ පෙරේරා (84475) යන නිලාධාරීහු මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් සකස් කෙරිණි.

කීර්ති මෙන්ඩිස්