මම පෞද්ගලිකව අඳුරු ගතියට කැමතියි

0
73

මේ දිනවල වැඩකටයුතු සකස් වෙන්නේ කොහොමද?

මේ දිනවල ගීත කිහිපයකම නිර්මාණ කටයුතු අවසන් වී තිබෙනවා. ඒ ඇතැම් ගීතවලට වීඩියෝ නිර්මාණය කිරීමට නියමිතව තිබෙනවා. නමුත් රටේ තිබෙන අයහපත් තත්ත්වය මත ඒ වැඩකටයුතු මඳකට පමා කරලා තිබෙනවා. නුදුරු අනාගතයේ දී එම නිර්මාණ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සීමිතව වුණත් තිබෙන ප්‍රසංගවලට සහභාගි වෙනවා.

හුස්ම live in concert ගැන අදහසක් දැක්වුවොත්?

2019 අවුරුද්දෙන් පසුව සජීවී ප්‍රසංගයක් සඳහා කුරුණෑගලට යන පළමුවැනි වතාව. කුරුණෑගල කියන්නේ ගීත ක්ෂේත්‍රයට බොහෝ කලාවේදීන් ප්‍රමාණයක් දායාද කළ නගරයක්. මෙම ප්‍රසංග සඳහා සංගීතය සපයන්නේ සරිත් සුරිත් ප්‍රමුඛ නිවුස් සංගීත කණ්ඩායම. මේ සඳහා සේනානායක වේරලියද්ද, රූනී සහ තවත් ගායකයන් කිහිපදෙනකුම සහභාගි වෙනවා. විශේෂත්වය වන්නේ මෙම ප්‍රසංගය සඳහා පරම්පරා තුනක් සහභාගි වීමයි.

පරම්පරා අතර තිබෙන පරතරය ඔබ දකින්නේ කොයි විදිහටද?

මම ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ සංගීත කණ්ඩායමක් හරහා. ඉතින් අපිව ක්ෂේත්‍රයට පිළිගන්න කියලා විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඇතැම් පිරිසක් සිටියා අපට සහයෝගය ලබා දුන්නා. ඇත්තටම ක්ෂේත්‍රයට පැමිණෙන විට දක්ෂතාවට අමතරව සම්බන්ධතා තිබීමත් වැදගත් වෙනවා. මොකද අපි ගීතයක් කළත් ප්‍රසංගයකට හෝ නාළිකාවකට අපිට ආරාධනා කරන්නේ අපිව දැනගෙන සිටියොත් පමණයි. ඉතින් මම ක්ෂේත්‍රයට පැමිණෙන විට daddy සංගීත කණ්ඩායම් විරේෂ් අයියලා, බිලි අයියා ලොකු සහයෝගයක් ලබා දුන්නා.

කටහඬ පුහුණු පාඨමාලා පන්ති තවමත් සිදුකරනවාද?

මම විදේශගත වීමට ප්‍රථමව නම් කටහඬ පුහුණු පාඨාමාලා පන්ති පැවැත්වුණා. නමුත් නැවත ලංකාවට පැමිණි පසුව පන්ති තවමත් ආරම්භ කළේ නැහැ. මොකද ප්‍රවාහන අපහසුතා නිසා සිසුන්ට පන්තිවලට සහභාගි වීමටත් අපහසු නිසා. නමුත් රටේ තත්ත්වය යහපත් වූ වහාම පන්ති ආරම්භ කරනවා. ඒ ගැන මගේ සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම් දෙනවා. ඒ අතරතුර යම් කෙනකුට හදිසි අවශ්‍යතාවක් සඳහා කටහඬ පුහුණු වීමට අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

කන්‍යාවී, අරගලයට පෙම් හසුනක් වැනි ගීත මඟින් දෙන්න උත්සාහ කළේ දේශපාලනික පණිවුඩයක්ද?

කන්‍යාවී ගීතය නිර්මාණය වුණේ ලංකාවේ නීතියේ තිබෙන බෙලහීනතාව නිරූපණය කිරීමට. අපි දන්නවා ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු පසුබෑමක් තිබෙනවා. ඉතින් නීතියේ දෙවඟන ඉතාමත් පිරිසුදුව පැමිණ සමාජයේ සැරිසරන විට කිලිටි වෙනවා. නීතිය මරණාසන්නයට පැමිණ තිබුණත් නීතිය තවමත් සජීවීව තිබෙනවා. අපි එය පසුගිය දිනවලත් හොඳින් දුටුවා. ලංකාවේ තමයි නීතිය මේ විදිහට ක්‍රියාත්මක නොවෙන්නේ. නමුත් විදේශ රටවල නම් එහෙම නැහැ. ඒ අය නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. කොහොම වුණත් යුක්තිගරුක සමාජයක් බිහි වෙන්න නම් රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි.

ඒ ගීතවලට ලැබුණු රසික ප්‍රතිචාර කොහොමද?

කන්‍යාවී, අරගලයෙන් පෙම්හසුනක්, සොරුන් නොවැද යන ගීත තුනටම හොඳ රසික ප්‍රතිචාරයක් ලැබුණා සහ තවමත් ලැබෙමින් පවතිනවා. විශේෂයෙන් අරගලයට පෙම් හසුනක් ගීතය ගොඩක් දෙනාට දැනිලා තිබුණා. මොකද ඇතැම් අය නිවෙස්වලට පවා නොගිහින් අරගලයට සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ අයට නිවෙස්වල අය සමඟ සමීපව සිටීමට නොහැකි වුණා. ඒ නිසා ඒ අයට ගීතය ගොඩක් ළංවෙලා තිබුණා. කවුරු කෙසේ පැවැසුවත් අරගලය ඇතුළේ ගොඩක් ප්‍රබුද්ධ පිරිසක් වගේම මුළු රටේම ජනතාව නියෝජනය කළා කිසිම භේදයකින් තොරව. ඒ සියලු දෙනාම සිට ගත්තේ රට වෙනුවෙන්.

ඔබගේ සංගීත වීඩියෝවල බටහිර ආරක් ගත් අඳුරු ස්වභාවයක් තිබෙනවා. එවැනි වෙනසක් කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මගේ සංගීත වීඩියෝවල වෙනසක් තිබෙනවා නම් එහි ගෞරවය ලැබිය යුත්තේ වීඩියෝවේ නිර්මාණකරුට. මගේ සංගීත වීඩියෝ අධ්‍යක්ෂණය කළේ විවිධ අධ්‍යක්ෂවරු. යන තැනක ගීතය අයේශ් විජේරත්න, අනාවැකියක් ලක්ෂාන් එදිරිසිංහ වැනි අය අධ්‍යක්ෂණය කළා. මගේ කටහඬෙහි තිබෙන අඳුරුභාවයට අනුව අධ්‍යක්ෂවරුන්ට එවැනි නිර්මාණ සඳහා අදහසක් ලැබෙන්නට ඇති. මම කැමැති ජීවිතයේ වේදනාවත් සමඟ ජනිත වන හැඟීම් අනුව නිර්මාණය කරන්න. මම පෞද්ගලිකවම අඳුරු ගතියට ආසයි. මම ඇඳුම් අඳින්නෙත් බොහෝවිට කළු හෝ අඳුරු වර්ණයට. මගේ කටහඬෙහි සහ වීඩියෝවේ තිබෙන අඳුරු ගතිය නිසා ඒ නිර්මාණවල වෙනසක් දකින්නට පුළුවන් ඇති.

ගීතයක් සිදුකරලා සල්ලි හොයන්නේ කොහොමද?

මේ දක්වා ලංකාවේ පැවැතියේ ගීත ගායනා කරලා වක්‍රාකාරයෙන් මුදල් උපයන මාර්ග. නමුත් වර්තමානයේ වනවිට ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වී තිබෙනවා. ලංකාවේ රසිකයන් තේරුම් අරගෙන තිබෙනවා නොමිලයේ ගීත අසනවට අමතරව නිර්මාණකරුට වාසියක් වෙන විදිහේ ක්‍රමයක් භාවිත කළා නම් හොඳයි කියලා. ඒ නිසා apple music, sportyfy වැනි platformවල ගීත ශ්‍රවණය කිරීමට ඔවුන් පෙලඹී සිටිනවා. ඇත්තටම ක්ෂේත්‍රයක් රඳා පවතින්න එය වැදගත් වෙනවා සේම එමඟින් නිර්මාණකරුටත් යහපතක් වෙනවා. ඊට අමතරව ගීත සංචාර, ප්‍රසංගවලින් සහ වෙනත් වක්‍රාකාර ක්‍රම මඟින් මුදල් උපයන්න පුළුවන්.

ඔබ ගීත නිකුත් කරන කාල පරතරය වැඩියි කියලා සිතෙන්නේ නැද්ද?

මම සැලසුම් කරලා ගීත ප්‍රමාද කරන්නේ නැහැ. මගේ ගීතය, වීඩියෝව සහ ගීතයට අදාළ සියලු කාරණා මට හරියටම හරිගියාම තමයි ගීතය නිකුත් කරන්නේ. ඒ වගේම ගීතයක් රසවිඳින්න රසිකයාට සුදුසු වාතාවරණයක් තිබෙන්නටත් ඕනෑ. ඒ ගැන සිතලා තමයි මම ගීත නිර්මාණය කරන්නේ.

ඉදිරිවැඩ කටයුතු ගැන අදහසක් දැක්වුවහොත්?

මට යුරෝපීය සංචාරයක් සහ තවත් විදේශ සංචාර කිහිපයකට සහභාගි වීමට නියමිත වෙලා තිබෙනවා. ඊට අමතරව දැනට නිර්මාණ කටයුතු අවසන් වී තිබෙන ගීතවලට වීඩියෝ නිර්මාණය කිරීමටත්, දේශීය ප්‍රසංග සඳහා සහභාගි වීමටත් තිබෙනවා.

දුමිඳු ලංකා බණ්ඩාර