පොහොට්ටු-අලි සන්ධානයකින් ජනපති සටනට රනිල් එන හැඩ

0
144

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියැවේ. මේ පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතින නමුත් එහි අවසන් තීරණයකට තවමත් පැමිණ නොමැති බවද දැන ගන්නට ඇත.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකළේ අත්හදා බැලීමකට බවත් එම අත්හදා බැලීම මේ වන විට සාර්ථක වී ඇති බවත් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකුම පවසා තිබේ.

මෙම යෝජනාව පිළිබඳව අදහස් මේ වන විට පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙතද ඉදිරිපත්වී ඇති නමුත් ඔවුන් තවමත් අවසන් තීරණයක් ප්‍රකාශ කර නැතැයිද වාර්තා වේ.

කෙසේ වුවද මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතව සිටි පක්ෂ කිහිපයක් මේ වන විට පක්ෂයෙන් ඉවත් වී ඇති නිසා නව පක්ෂ එක් කරගනිමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳවද මේ වනවිට අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් සිදුකර ඇත.

මෙම සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණ පිළිබඳවද සාකච්ඡා වී ඇතැයිද එහිදී වත්මන් ජනාධිපතිවරයා මේ වන විට රටේ අර්බුද විසඳීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු බහුතරයක් අනුමත කර ඇත.

එම නිසා එළැඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම සුදුසු බව එම මන්ත්‍රිවරු පවසා ඇත. කෙසේ වුවද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ඉදිරියේදී පොදුජන පෙරමුණ සූදානමින් සිටින බවද වාර්තා වේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය