පොඩි මිනිහා නැත්තටම නැති කරන මණ්ඩලේ විදුලි බිල නැග්ගිල්ල

0
66

විදුලි බිල එක්වරම අහස උසට නැංගේය. ඒ ලක්‍ෂ 78ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ ඉහමොළ රත් කරමින්ය. ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු සහ ඉන්ධන මිල ඉහළ යෑම නිසා විදුලි ජනන පිරිවැයද ඉහළ යෑම මෙම මිල සංශෝධනයට බලපෑ ආසන්නතම හේතුව විය. එබැවින් මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍යම වූවක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ප්‍රකාශ කළේය. ඒ අනුව මිල ඉහළ යෑම සිදුවන්නේ මෙසේය. (වගුව අංක 01 බලන්න.) පසුගිය 10 වැනිදා සිට මෙම  ගාස්තු බලාත්මකය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරනුයේ මෙය 75%ක මිල වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතයක් බවය. සමස්ත මිල වැඩිවීම ප්‍රතිශතමය වශයෙන් ගත් කළ ඉහත ගණනය වීම නිවැරදිය. නමුත් විදුලි ඒකක කාණ්ඩ කර දක්වා ඇති ආකාරය අනුව එම ප්‍රතිශතයන් වඩාත් ඉහළ අගයක් ගෙන ඇත.

එම ගණනය කිරීම්වලට අනුව වඩා පැහැදිලිව දැකිය හැක්කේ පොඩි මිනිසා වැඩියෙන්ම තැළුම් කා ඇති බවයි. විදුලි ඒකක 30ක පරිභෝජනයක් සිදුවන්නේ විද්‍යුත් ගෘහ විදුලි උපකරණ අවම වශයෙන් භාවිත වන ගෘහ ඒකක තුළය. එවන් නිවෙස්හි වෙසෙන්නන් බොහෝ විට අඩු ආදායම්ලාභීන් විය හැකිය. “සේරම කුණු බේරෙ වැවට” කියන්නා සේ විදුලිබල මණ්ඩලයේ අරාජිකත්වයේ වැඩිම බර ඔවුන් මත පටවා ඇති ආකාරය නම් ඉතා පැහැදිලිය. අප කතා කරන සමාජ සාධාරණත්වය මෙයද? “ඇත්තෝ කති බොති නැත්තෝ හූල්ලති” යැයි කියන්නේ මෙවැනි දේවලටය.

ඒ කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ ගෘහස්ථ අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් ආරක්‍ෂා කිරීම සඳහා සමස්ත පිරිවැය බර ඔවුන් මත පටවා නොමැති බවය. ඔහු එය තවදුරටත් පැහැදිලි කර දෙන ආකාරය අංක 2 වගුවෙහි දැක්වෙයි.

ඒ අනුව සමස්තයක් ලෙස විදුලි පාරිභෝගිකයන්ගෙන් 75%ක් දෙනා තවමත් සහනාධාර ලබති. ඊට අමතරව විදුලි බිල ඉහළ නැංවීමට හේතු වූ කාරණාද පැහැදිලි කෙරෙයි. 75%ක සහනාධාරයක් පාරිභෝගිකයා ලබන්නේය යන්නෙහි අදහස සිය සේවාවට අදාළව විදුලිබල මණ්ඩලය තවමත් ආදායම් නොලබන බවයි. එනම් එය තවමත් පාඩු ලබන ආයතනයකි. එම අලාභය පියවා ගැනීමට ගත හැකි හොඳම විසඳුම වූයේ විදුලි බිල වැඩිකිරීම පමණමද?

2015දී මෙම ආයතනය ලාභ ලැබූ බව හිටපු ඇමැතිවරයා කියා ඇත. එය එසේ වූයේ නම් වර්තමානයේදී ආයතනය මෙලෙස පාඩු ලබන්නට හේතුවූ කාරණා සොයා බැලිය යුතුය. පසුගිය කෝප් කමිටු සභාවාරවලදී මෙම ආයතනය තුළ සිදුව ඇති වංචා සහ දූෂණ කොපමණදැයි යම්තාක් දුරකට ජනතාවට දැනගැනීමට අවස්ථාව උදා විය. ඒ අනුව ඩොලරයක් තබා එක රුපියලක්වත් ආයතනික පරිශ්‍රයෙන් සොරා නොගත් පාරිභෝගිකයා මත මෙවන් බර පැටවීම කෙතරම් අසාධාරණද?

දහවල් කාලයේ විදුලිය විසන්ධි කිරීමට අමතරව විදුලි බිල මෙලෙස ඉහළ දැමීම හේතුවෙන් සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ටද වැදී ඇත්තේ මරු පහරකි. ස්වශක්තියෙන් උපයා ගන්නා ඔවුහු රජයට බදු ගෙවති. රැකියා වියුක්තිකයන්ගේ ගැටලුවලටද යම් තරමක හෝ සහනයක් සලසති. විටින් විට මේ ආකාරයට ඔවුන් කබලෙන් ළිපට ඇද දැමීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා මිල ඉහළ යෑමය. ඒ අනුව එහි බර පැටවෙන්නේද පාරිභෝගිකයා මතය.

විදුලිය සහ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් රටේ සමස්ත නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලියේම මිල ඉහළ යයි. ඒ අනුව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා ඡායා පිටපත් සහ මුද්‍රිත පිටපත් ගාස්තු රුපියල් 5කින් ඉහළ දැමීමට සිදුවන බව පවසයි. ඒ අතර කල් තබා ගන්නා ශීත කරන ලද ආහාර මිලද ඉහළ දැමීමට සිදුවන බව වෙළෙඳ ප්‍රජාවද කියති. මෙයින් සිදු වන්නේ කර්මාන්ත හා සේවා ක්‍ෂේත්‍ර කඩාවැටීමට ලක්වීමය. එය පවතින ආර්ථික තත්ත්වයට තවදුරටත් අයහපත් ලෙස බලපාන්නකි. එබැවින් විධිමත් මිල සූත්‍රයක් අනුගමනය කිරීමත් ආර්ථික කළමනාකරණයක් තබා ගැනීමත් අතිශය වැදගත්ය. එය එසේ නොවන කල සිදුවන්නේ පාරිභෝගිකයා විකල්ප ක්‍රම වෙත ගමන් කිරීමය. මේ වනවිටද විදුලි පරිභෝජනය 25%කින් අඩුවී ඇති බව හිටපු විදුලිබල ඇමැතිවරයාම පෙන්වා දී තිබේ.

ඇතැම් රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයේ ණයකාරයෝය. මිලියන ගණන් වටිනා විදුලි බිල්පත් ගෙවීම තවදුරටත් මඟහරින මැති ඇමැතිවරුද වෙති. මේ ආකාරයට මාසිකව මණ්ඩලයට අහිමිවන ආදායම සුළුපටු නොවේ. සාමාන්‍ය විදුලි පාරිභෝගිකයා විදුලි සම්බන්ධතාව ලබාගන්නා තැනහි සිට පරිභෝජනය කරන සෑම විදුලි ඒකකයකටම අදාළ මුදල් මණ්ඩලයට ගෙවයි. එසේ නොකරන කල ඔවුන්ගේ විදුලි සම්බන්ධතාව විසන්ධි කෙරෙයි. එය නැවත යථාවත් කර ගැනීමට නම් යළි ගෙවීමක්ද කළ යුතුය.

එසේ නම් වරද ඇත්තේ කොතැනද? එය සොයා වහා නිවැරදි කරගත යුතුය. එසේ නොකර ඇස්කූඩෙන් වතුර අදින මිල ඉහළ නැංවීමේ න්‍යාය  හැම දෙයටම ඇති එකම විසඳුම නොවේ. නොඑසේ නම් සිදුවන්නේ මණ්ඩලයට පාරිභෝගිකයා අහිමිව යෑමය. විදේශ විනිමය උපයන සමාගම් රට හැර යෑමය. මේ වනවිටද බොහෝ ආයතන අප රට හැර ගොසින්ය. එයින් රැකියා වියුක්තිකයන්ගේ ප්‍රමාණය තව දුරටත් ඉහළ යනු ඇත. මේ සියල්ලේ ඍජු සහ වක්‍ර අයහපත් ප්‍රතිඵල අපට ලැබෙනුයේ අද නොව හෙටය.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟම මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට කොන්දේසියක්ද පනවා ඇත. ඒ මණ්ඩලය මූල්‍යමය වශයෙන් යම් ස්ථාවරත්වයකට පත්වනතුරු ප්‍රසාද දීමනා ලබාදීමෙන් වළකින ලෙසය. නමුත් එය එසේ වුවහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනයකට යොමුවන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෝ කියති. ඊට අමතරව මෙම මිල සංශෝධනය විද්‍යාත්මක ඇගැයීමකින් තොරව සිදුව ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්‍ෂණික ඉන්ජිනේරු අධිකාරි සංගමය චෝදනා කරයි.

ඒ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මෙම මිල සංශෝධනයට එරෙහිව නීතිය ඉදිරියට යෑමට සූදානමින් සිටියි. ඔහු පවසන්නේ නීති විරෝධී බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගැනීම හා විගණනය නොකළ ගනුදෙනුවල වගකීම ජනතාව පිට පැටවීමට ඉඩ දිය නොහැකි බවය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් එළැඹෙන 29 වැනිදා පැවැත්වේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

කෙසේ හෝ වේවා රාජ්‍ය ආයතනයන්හි බර ජනතාව මත පැටවීමේ අවසන් සටන මෙය නොවන බව නම් පැහැදිලිය. ඒ තවත් ආයතන කිහිපයක මිල වැඩිකිරීම් ඉදිරි දිනයන්හි කරළියට පැමිණීමට නියමිත බැවිනි.

තනූජා සූරියබණ්ඩාර