ප්‍රේක්ෂකයෝ මගේ කොණ්ඩෙට ආදරෙයි

0
95

ඇයට හිමි සුවිශේෂ කේශ කලාපය නිසාම මේ වනවිටත් ක්ෂේත්‍රය තුළ ඇයටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනැඟී හමාරය. පැහැසරා, බ්‍රෝ සහ හේලී තුළින් පුංචි තිරයෙන් ඔබ සමීපයට පැමිණි ඇය සුදීක්ෂා සමාධිය. වැටෙන්න වැටෙන්න හිත හයිය කරගෙන කෙසේ හෝ අභියෝග ජය ගැනීමට මහත් රුචිකත්වයක් දක්වන ඇය ක්ෂේත්‍රය තුළ සංසුන් ගමනක් යන තරුණ නිළියක් ලෙස හඳුන්වාදීම වැරදි නොවේ. මෙවර හදගැස්මේ කතාබහට අපි සුදීක්ෂා සමාධිව සම්බන්ධ කරගත්තේ ඇයගේ වැඩකටයුතු ගැන දැනකියා ගැනීමටයි. කොහොමද මේ දිනවල වැඩකටයුතු සකස් වෙන්නේ?

මේ දිනවල නාට්‍ය දෙකක රූපගත කිරීම් කරගෙන යනවා. අවුරුදු එකහමාරකට පෙර ආරම්භ කළ වැඩක් මේ දිනවල රූපවාහිනියේ විකාශය වෙනවා. එහි ප්‍රේක්ෂක ප්‍රතිචාරත් විඳින ගමන් සිටිනවා.

ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ කොහොමද?

මම ළමා වැඩසටහනකින් පසුව තමයි  ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ. එවිට මම පහ වසරේ ඉගෙන ගන්නවා. ඉන්පසුව මම නළු නිළියන් තෝරන තිර පරීක්ෂණයක සහභාගි වෙලා තමයි ටෙලි නාට්‍ය කලාවට ප්‍රවේශ වුණේ.

ඔබ පාසල් අවධියේ සිටම වේදිකාවේ රඟදැක්වූ කෙනෙක් නේද?

ඔව්. මට රඟපාන්න පුළුවන්. මගේ ඇඟේ කලාව තිබෙනවා කියලා මුලින්ම හඳුනා ගත්තේ පාසල් වේදිකාවෙන්. මම බොහොම ආසාවෙන් ඒ කාලයේදී පාසල් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා.

වේදිකා නාට්‍ය කලාව පාසල් අවධියෙන් පසුව අත්හැරියේ ඇයි?

ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් සම්බන්ධ වූ නිසා වේදිකා නාට්‍යවල රඟපෑම අතපසු වුණා. නමුත් අදටත් මම බොහොම කැමැතියි වේදිකා නාට්‍යයක රඟපාන්න. ලංකාවේ එක විධියක් තිබෙනවා ටෙලි නාට්‍ය කලාව හෝ වේවා සිනමා නිර්මාණයක හෝ වේවා සම්බන්ධ වුණාම ඒ නළුවාට හෝ නිළියට ආරාධනා ලැබෙන්නෙත් ඔහු හෝ ඇය පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ වර්ගයටමයි. ඉතින් මටත් මේ තාක් ආරාධනා ලැබුණේ ටෙලි නාට්‍ය සඳහා. ඉතින් මම ඒ දේ සතුටින් කරනවා වගේම වේදිකාවට සහ සිනමාවටත් ප්‍රවේශ වෙන්න ආසාවෙන් සිටිනවා.

ක්ෂේත්‍රයේ වැඩ කරන විට සිදුවන විවිධ අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්න ශක්තිය ගොඩනඟා ගත්තේ කොහොමද?

මෙහෙමයි, කලාවේ ඇතුළේ් රැස්වෙලා සිටින්නේ කලාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම විවිධාකාරයේ මිනිස්සු සමඟ වැඩකරන්න අපිට සිද්ධ වෙනවා. මිනිස්සු පිටතින් බලන තරම් මෙහි ඇතුළ ලස්සන නැහැ. ඒ නිසා ෆීල්ඩ් එක ඇතුළේ සිටින විට ඕනෑ තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෙනෙහෙලිකම් සිද්ධ වෙනවා. අවතක්සේරුවට ලක්වෙනවා. නමුත් තමන් ඒ කිසි දෙයක් මායිම් නොකර තමන්ගේ විශ්වාසයට අනුව වැඩ කරනවානම් අපට ඉදිරියට යන්න පුළුවන්.

ඔබටත් එවැනි ප්‍රශ්න පැමිණියා නේද?

ඔව්. ප්‍රශ්න නැති ජීවිත නැහැ. අපි හැමෝගෙම ජීවිතවලට ප්‍රශ්න එනවා. නමුත් මම ප්‍රශ්නවලට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඒ නිසා මම ප්‍රශ්නවලින් පැනලා දුවන්නේ නැහැ. කෙසේ හෝ ඒ ප්‍රශ්නය ඇතුළෙම නැඟිටනවා.

ප්‍රේක්ෂකයා අතරට යන්නේ කොයි නිර්මාණය හරහාද?

මම සිරස නාළිකාවේ විකාශය  වූ පැහැසරා ITN නාළිකාවේ විකාශය වූ බ්‍රෝ සහ හේලී නාට්‍යයේ නටාෂා යන චරිතය හරහා තමයි මාව අඳුරගත්තේ. ඉතින් මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කිරීමට උත්සාහ කරන නිසා මට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් මගේ වටේට එකතු වී සිටිනවා.

මේ දිනවලදී විකාශය වන මීනු ටෙලි නාට්‍යය ගැන යම් අදහසක් ඉදිරිපත් කළොත්?

මීනු ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ ස්වාධීන රූපවාහිනියේ. එය අධ්‍යක්ෂණය කරන්නේ හර්ෂ උඩකන්ද විසිනුයි. ඇත්තටම “රෙහානා” කියන චරිතය ප්‍රේක්ෂකයාට ගොඩක් දැනිලා තිබෙනවා. කොයිතරම් දුරට එය ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගෙන තිබෙනවාද කියනවා නම් මම මේ දිනවලදී මඟතොටේ යන්නෙත් ටිකක් බයෙන්. මොකද ‘මීනු’ ටෙලි නාට්‍යයේ රෙහානා කියන්නේ විවාහ වූ පුරුෂයකුට ආදරය කරන තරුණියක්. ඉතින් ඇයට ළමයිනුත් නැහැ. ඒ නිසා දරුවන්ටත් ටිකක් නපුරු විධියට සලකනවා. ඒ නිසා ප්‍රේක්ෂකයා රෙහානාට ගොඩක් වෛර කරනවා. චරිතයකට ප්‍රේක්ෂකයා ආදරය හෝ වෛර කරනවා කියන්නේ ඒ චරිතය සාර්ථකව සිදුකරනවා කියන එකයි. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මම සමාජ මාධ්‍යවල රෙහානිට බැනලා කමෙන්ට් කරන ප්‍රේක්ෂකයාටත් බොහෝ සෙයින් ආදරය කරනවා.

ලංකාවේ කලාකරුවන්ට නිසි වටිනාකමක් දීලා අවශ්‍ය පහසුකම් සැපයුවා නම් මීට වඩා හොඳ නිර්මාණ බිහි වීමට ඉඩ තිබෙනවා නේද?

අනිවාර්යයෙන්ම කලාව ඇතුළේ නළුවා සහ නිළියට පමණක් නොවෙයි නිර්මාණයකට සම්බන්ධ වන සෑම අයකුටම නිසි වටිනාකමක් සහ පහසුකම් ලබා දෙනවා නම් මීට වඩා හොඳ නිර්මාණ බිහි වෙන්න ඉඩ තිබෙනවා. නමුත් තවමත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ. අපි ඉන්දියාව දෙස බැලුවම තත්ත්වය මීට වඩා හාත්පසින් වෙනස්. ඉන්දියාවේ නළුවෙක් එක් නිර්මාණයක් භාර ගත්පසු තවත් නිර්මාණයක් භාර ගන්නේ නැහැ. මොකද ඔහු යම් කාලවකවානුවක් තම නිර්මාණය සඳහාම කැප කරනවා. එයාලා එහෙම කරන්නේ නිසි වටිනාකමක් ඔවුන්ට කර්මාන්තය තුළින් ලැබෙන නිසයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ මෙය මුල සිට නිවැරදිව ගොඩනැඟෙන්න ඕනෑ.

ලංකාවේ කලාකරුවකුට ක්ෂේත්‍රයේ වෘත්තීයමය වශයෙන් ස්ථාවර වෙන්න පුළුවන්ද?

රංගන ශිල්පියකුට අවශ්‍ය නම් වෘත්තීයමය වශයෙන් ස්ථාවර වෙන්නත් පුළුවන්. නමුත් මේ සෑම දෙයක්ම තාවකාලිකයි. අපිට ප්‍රේක්ෂකයෝ සිටිනතාක් පැවැත්මක් තිබෙනවා. නමුත් ජීවිතයේ වෙනස් වෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. ඒ නිසා අපි වෙනත් අමතර ආදායමක් ගැන සිතනවා නම් හොඳයි කියලා සිතනවා.

ඔබට ලබා දෙන චරිතයට අනුව ඔබ ඒ චරිතය ගැන අධ්‍යයනයක් සිදුකරනවද?

අපි රංගනයේදී සිද්ධ කරන්නේ වෙනත් පුද්ගලයෙක්ගේ ජීවිත කතාවක එක් චරිතයක් වන එකයි. ඒ නිසා අපට ලැබෙන චරිතයට අනුව ඒ ගැන අධ්‍යයනයක් කරන්නම වෙනවා. උදාහරණයක් විධියට මම ‘රෝස්’ කියන චරිතය නිරූපණය කරන විට ආදරය නිසා ඩිප්‍රෙෂන් සෑදුණු යුවතියකගේ හැසීරීම, ඇඳුම් පැලඳුම් කතාබහ ආදිය ගැන සොයා බැලුවා. මොකද ඒ චරිතයෙන් පෙන්වන්න තිබෙන්නේ බොළඳ උමතු ආදරවන්තියක්.

ඔබ රංගනයට ආසාවෙන් සිටින චරිතයක් තිබෙනවාද?

මම ආසයි රෙද්ද සහ හැට්ටය ඇඳලා ගැමි චරිතයක් රඟපාන්න. මට ඒ අවස්ථාව දැනටමත් ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ප්‍රේක්ෂකයාට ඒ චරිතය දැකබලා ගන්න හැකි වේවි.

කොණ්ඩය සඳහා කෙතරම් වියදම් කරනවාද?

ඇත්තටම මම විශේෂයෙන් කොණ්ඩයට වියදම් කරන්නේ නැහැ. මට තිබෙන්නේ ස්වාභාවික කොණ්ඩයක්. ඒ නිසා මම මේ කොණ්ඩයට ආදරය කරනවා. මට අනන්‍යතාවක් ගොඩනැඟිලා තිබෙන්නෙත් කොණ්ඩය නිසාමයි. ඇතැම් නිර්මාණවලට ආරාධනා ලැබුණම මුලින්ම අසන්නේ කර්ලි හෙයා එක නේද තවමත් තිබෙන්නේ කියලා. ඒ තරමටම ප්‍රේක්ෂකයා සහ ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් මගේ කොණ්ඩයට ආදරය කරනවා.

අතීත සහ වර්තමාන නිර්මාණ අතර නිර්මාණාත්මකභාවය සහ ගුණාත්මකභාවය අතර වෙනසක් දකිනවාද?

අතීතයේදී ගුණාත්මක නිර්මාණ සොයාගෙන මිනිස්සු ඒවා නැරඹුවා. නමුත් වර්තමානය වනවිට ප්‍රේක්ෂකයාගේ රසවින්දනය වෙනස් වී තිබෙනවා. අද කාලයේ අධ්‍යක්ෂවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් ගුණාත්මක නිර්මාණයක් සිදු කළත් එම නිර්මාණ විකාශය කරගැනීමේදී යම් යම් දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වනවා. ඒ නිසා ප්‍රේක්ෂකයා ඉල්ලන ෆැන්ටසිය තිබෙන නිර්මාණය සිදුකිරීමට වර්තමාන නිර්මාණකරුවා බෙහෙවින් උනන්දු වෙනවා.

දුමිඳු ලංකා බණ්ඩාර