“නැති බැරි-බඩගිනි ඕනෑම කෙනෙක් ඇවිත් කාලා යන්න. රුපියලක්වත් අපිට එපා.”

0
117

පිළියන්දල, මාවිත්තර ‘ආයුබෝවන් රෙස්ටුරන්ට්’. එහි හිමිකරු තිලක් කුමාර ගමගේ මහත්මයා මුද්‍රිත මාධ්‍යකින් මුල්වරට අදහස් දක්වන්න “මව්බිම” සමඟ එක්වුණේ ඉතාම සතුටින්.

“මම කරන්නේ මුදල මුල්කර නොගත් මානුෂිකත්වය මූලික කරගත් ව්‍යාපාරයක්. අද ඊයෙක ඉඳලා නෙවෙයි දැන් අවුරුදු 15 විතර තිස්සේ කරගෙන එන සමාජ සත්කාරයක්.

ඒත් මේ දේවල් කරන්නේ රජ වෙන්න, ගෞරව ලබන්න බලාගෙන නෙවෙයි. අවංකවම මට ඕනේ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න මගෙ ශක්ති ප්‍රමාණයෙන් යමක් කරන්න.

 මගෙ ගම හංවැල්ල දිද්දෙනිය. පුංචි කාලේ ඉඳල මම හැදුණේ මගෙ ආච්චි අම්මාගේ ඇසුරේ. එතුමිය පුංචි පහේ වෙළෙඳාමක් කරගෙන හිටිය ගුණවත් මාතාවක්. ඇයගෙන් බත්වේලක් නොකාපු කෙනෙක් අපේ ගමේ ඒ කාලේ හිටියේ නෑ. ‘කපුගොඩ ආච්චි’ කිව්වම නොදන්නා කෙනෙක් නෑ.  

‘දීම’ කියන දේට මට පුරුද්ද ඇති වුණේ් ඒ විදිහට ‘දේවතාවියක්’ වගේ දැක්ක මගෙ ආච්චි අම්මගෙන්.

 දිද්දෙනිය කනිෂ්ඨ විද්‍යාලය සහ හංවැල්ල රාජසිංහ ම.ම.විද්‍යාලය මම ඉගෙන ගත්ත පාසල්. කොළඹ ආසිරි රෝහලේ අවුරුදු ගණනාවක් සේවය කරලා ඊට පස්සෙ එක එක බිස්නස් වැඩ එහෙමත් කරා. ඔය අතරෙ නාරාහේන්පිට ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකක් කරන්න පටන් ගත්තා. ඒ අවට ගොඩක් හිටියෙ ‘වතු’ ආශ්‍රිත පැල්පත්වාසී මිනිස්සු. මම එතනදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා දවසට 30 දෙනෙක්ට විතර නොමිලේ කෑමදෙන වැඩසටහනක් පටන් ගත්තා. අවුරුදු 12ක් විතර එහෙම කරලා දැනට අවුරුදු කීපයකට කලින් තමයි පිළියන්දල මේ රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ. කොහොමත් මේ අවට ඉන්න හ¾දුන්කූරු ,ස්වීප්, බොම්බයි මොටයි විකුණන මනුස්සයගේ ඉඳල ජංගම වෙළෙඳාම කරන මිනිස්සු, නැති බැරි මිනිස්සු ඇවිත් මෙතැනින් කාලා බීලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්.

ගමේ සමිති සමාගම්, ප්‍රජා සත්කාර, පෙරහර, සීල සමාදාන වැඩසටහන්වලට අවස්ථාව ලැබුණු ගමන් නොමිලේ කෑම ටික දෙනවා. පහුගිය කාලේ නම් ගෑස් හා ඉන්ධන පෝලිම්වලට කීප වතාවක් කෑම බීම දුන්නා. මේ කිසි දෙයක් ප්‍රසිද්ධිය         බලාගෙන නෙවෙයි කරන්නේ. මට මේ සේවයට අවස්ථාව ලැබිලා තියෙන්නේ පෙර පිනකින් කියලා විශ්වාස කරනවා. මම කෙනෙක්ගේ කුසගින්න නිවලා අප්‍රමාණ සතුටක් ලබනවා.

කොරෝනා තදබල විදිහට තිබුණු කාලේ මේ පැත්තෙන්ම විවෘතව තිබුණේ මේ රෙස්ටුරන්ට් එක විතරයි. අමාරු ලෙඩ්ඩු හිටිය ගෙවල්වලට මම කෑම ටික නොමිලේ ගිහින් දුන්නා. කොහොමත් ඩිලිවරි සර්විස් එකට යන්නේ මම.

ඒ ගියාම මට පේනවා ඇත්තටම ඒ මිනිස්සුන්ට කෑමක් ගෙන්නගෙන කන්න තරම් වත්කමක් තියෙනවද කියලා. වෙන සේවකයෙක් යැව්වොත් ඒ ගැන එයාට තීරණය කරන්න බෑනේ. ඉතින් මට දැනුණොත් ඒ මිනිස්සු මේ කෑම ගෙන්න ගන්නේ දරුවෙක්ගේ ඉල්ලීමකට හරි ලෙඩෙක් වෙනුවෙන් හරි වගේ බැරිම වෙලාවක කියලා කෑම ටික දීලා එනවා මුදල් ගන්නෙ නෑ. මම අයිතිකාරයා කියල ඒ මිනිස්සු දන්නේ නෑ. කොරෝනා කාලේ ඒ විදිහට අවශ්‍යතාව තිබුණු ගෙවල්වලට සීනි, තේ කොළ ටිකේ ඉඳලා හොයලා බලලා දුන්නා. මා ළඟ සේවය කරලා අයින් වෙලා ගිය අයට පවා ඒ කාලෙ හොයලා බලලා උපකාර කරා.

උද්ධමන තත්ත්වයත් එක්ක රටේ හෝටල් , ව්‍යාපාර බොහොමයක් වැහිලා ගියා කියලා අපි දන්නවනෙ. ඒත් මම ඒක ප්‍රශ්නයක් විදිහට නොගෙන අවස්ථාවෙ හැටියට හැඩ ගැහුණා. එහෙම කියලා මම ස්ටාෆ් එක අඩු කරේ නෑ. ඒත් අයින්වෙලා ගිය අයට යන්න දුන්නා. මගෙ නෝනා එක්ක, ස්ටාෆ් එකත් එක්ක කතාබහ කරලා වැඩ බෙදා ගත්තා. ගෑස් ප්‍රශ්නේ ලොකුවටම එන්න ගත්ත නිසා ‘ලී කුඩු ළිප්’වලට මාරු වුණා. මම මූලික වෙලා සේවකයන් ඊට හුරු කළා. මට වෙනදාට ගෑස්වලට මාසෙට ලක්ෂ 5ක් විතර වියදම් වුණත් මේ වැඩේට ගියේ 55,000/= වගෙ මුදලක්.

ඒ එක්කම මම තව වැඩක් කරා. ගමේ කොස් ,පොලොස්, නැවුම් එළවළු, පලතුරු, කොළ වර්ග අත්පිට මුදලට ගන්නවා කියලා බැනර් එකක් දැම්මා. ඒකෙන් වෙනදාට මාර්කට් එකෙන් ගන්න යන වියදමට වඩා අඩු මිලට රෙස්ටුරන්ට් එකට අවශ්‍ය දේවල් ටික ගමෙන්ම ලැබෙනවා. එතනත් මට මුදලක් ඉතුරුයි. ඉතින් මම ඒ වාසිය මගෙ පාරිභෝගිකයන්ට දෙනවා. ඒ නිසයි මේ තත්ත්වය යටතෙත් පැරණි මිල ගණන්වලටම වගේම මුදල් නැති කෙනෙක්ටත් නොමිලේ ආහාර පාන දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය හා කළමනාකරණය හදාරලා ලබාගත්ත පන්නරය වගේම මෙතෙක් කල් ගොඩනඟා ගත්ත යහපත් සමාජ සම්බන්ධතාවලින් මේ කටයුතුවලට ලොකු උදව්වක් ලැබෙනවා. කාලයක් මගේ රැකියා ස්ථානයෙ බොස්, ගමගේ මහත්තයගෙන් ලැබුණු ආභාෂය සහ සහයෝගය මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මගෙ නෝනා, දරුවෝ වගේම ස්ටාෆ් එකේ හැමෝමත් මේ හැමදේකටම මාත් එක්ක ඉන්නවා.

පෝය දවස හැර හැමදාම උදේ 10.00 ඉඳල රෑ 10.30 වෙනකම් අපේ සේවාව ඕන කෙනෙක්ට ලබා ගන්න පුළුවන්.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ

මගේ රටේ මිනිස්සුන්ගෙ කුසගින්න නැති කිරීම වෙනුවෙන් තවත් කැපවීමෙන් මේ සේවාවන් පුළුල් කිරීම මගේ අරමුණ සහ බලාපොරොත්තුව බවයි”

තිලක් ගමගේ මහත්මයා සද්භාවයෙන් කරන මෙම සේවාව,අරමුණු සාර්ථක වන ලෙසටද එතැනින් ඔබ්බට ආදර්ශයක්ව මේ සුන්දර රටේ ගම් නියම්ගම් හි දානපති ව්‍යාපාරික ප්‍රජාව වෙත මේ සද්ගුණවත් සංකල්පය බෝ වේවා යැයි ද මේ දුෂ්කර සමයේ පැතුමක් එක් කරමු.

වෙනත් රටවල මෙලෙස ආහාර පාන නොමිලේ සපයන අවන්හල් ඇති බව අපි අසා දැක ඇත්තෙමු. නමුත් තිලක් ගමගේ මහතා මීට අවුරුදු 15 ට පෙර මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේ දී හාංකවිසියක්වත් ඒ වගක් නොදැන සිටි බව අමුතුවෙන් සිතිය යුතු නොවේ යැයි කියන්නෙ මේ වන විටත් ඔහු ඒ ගැන හරි හැටි දැනුවත් බවක් නැති බව අප හා පැවසූ බවත් කියමිනි.

එහෙයින් මෙය නම් සසර පුරුද්දක්මය. උතුම් දාන පාරමිතාවක්මය.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ