නවකතාවකින් ටෙලිනාට්‍යක් කරන එක බරපතළ වැඩක්

0
75

ගිරිදේවි නම් විසල් නිර්මාණයෙන් ප්‍රේක්ෂක හරසර නොමඳව ලබා ගත් මේ නිර්මාණකරුවා, අඳුන්ගිර නම් තම ටෙලිනාට්‍ය නිර්මාණය හරහා ටෙලිවිෂනයේ මීට පෙර නොදුටු වර්ණ රසායනයකින් දස්කම් පෑවේ ඉතිහාසයේ යුග කිහිපයක් එකට එක තබා පුපුරවා හරිමිනි. අද වන විට ඒ ගමන නාගරික ගෙන්දගම් පොළොව හා කලතමින් ජීවිතයට මුසු කරන මෙම කලාකරුවා ටෙලිනාට්‍ය කලාවට නවමු මංපෙතක් විවර කළ පුද්ගලයෙකි. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලකයන්. මේ දවස්වල ඔබේ ජීවිතය ගෙවෙන්නෙ කොහොමද?

මේ දවස්වල ඉන්නේ ‘මැස්සා’ එක්ක. ‘මැස්සා’ ටෙලිනාට්‍යය පළමු රූගත කිරීම් සිදු කළේ ගොඩකාලෙකට කලින්. මේ වන විට රූගත කිරීම්වල දෙවැනි අදියර සිදුකරන්න පටන් ගන්න ඉන්නෙ. බොහෝ දුරට මේ මාසේ මැදක ඒක පටන් ගන්නවා. මේ දවස්වල මැස්සා ටෙලිනාට්‍ය සමඟ තමයි දවස් ගෙවෙන්නෙ.

‘මැස්සා’ ගැන කතාකරමු?

මේක අපේම කන්සෙප්ට් එකක්. මේකෙ ප්ලොට් එක සමීර පියරත්න කියන මගේ මිත්‍ර සංස්කරණ ශිල්පියාට හිතුණ දෙයක්. ඊට පස්සෙ අපි මේක ගැන අපේ නිෂ්පාදකවරයා වන ජනක සම්පත් තඹරවිල මහතා සමඟ කතා කළා. මැස්සා තිර පිටපත රචනා කළේ කෞශල්‍ය පතිරණ. මෙය ඔහු ඉතා සියුම් තැන් ගොඩනඟමින් ඉතා මහන්සි වී රචනා කළ පිටපතක්. ඉතින් අපි හතර දෙනා සාමුහිකව එකතු වෙලා තමයි මේ ටෙලිනාට්‍යය මේ තරමට ගොඩනැඟුවේ. මැස්සා ටෙලිනාට්‍ය සෙනසුරාදා සහ ඉරිදා දිනවල 7.30ට ඔබේ ආලින්දයට එනවා. මේ වෙනකොටත් එයට යහපත් ප්‍රතිචාර රාශියක් ලැබෙමින් පවතිනවා.

ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ විධිය ගැන කතා කළොත්?

මම සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස මේ ක්ෂේත්‍රයේ වසර 12ක් වැඩ කළා. ඉන් අනතුරුව තමයි මම ගිරිදේවි කියන මගේ කුලු¾දුල් ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නේ. මීට සති දෙකකට පෙර අවසන් වුණ අඳුන්ගිර කියන ටෙලිනාට්‍ය මම නිර්මාණය කරන්නෙ ඒ ලැබූ පන්නරය නිසාවෙන්. ඒක තමයි මගේ ජර්නි එක.

ඔබේ ගොඩක් නිර්මාණවලට නවකතාවක් පාදක වෙනව. ඒ ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

නවකතාව සහ ටෙලිනාට්‍ය කියන්නේ මාධ්‍යන් දෙකක්. නවකතාවක් විධියට මම ටෙලිවිෂනයට ගෙනාව මුල්ම නිර්මාණය වෙන්නෙ ගිරිදේවි. මේක ඉතා ප්‍රබල අභියෝගයක්. නවකතාවක් කියවා රසවිඳීම වෙන වැඩක්. ඒක රූපමය මාධ්‍යය මතින් විඳීම තවත් වැඩක්. සමහර විට නවකතාවකින් නිර්මාණය වෙන බොහෝ නිර්මාණවලින් නවකතාවේ රසය විඳින්න ලැබෙන්නෙ නැහැ. බොහෝ ප්‍රේක්ෂකයන් ඒවගේ නිර්මාණවලට ‍ෙදා්ෂාරෝපණ එල්ල කරන්න පුළුවන්. මේක බරපතළ වැඩක් වෙන්නෙ ඒකයි.

කියවීමේදී පාඨකයාට ලැබෙන රසයම ඊට එහා ගිය රූප මාධ්‍යයට ගේන එක හරහා ප්‍රේක්ෂක සිත ඇද බැඳ ගැනීම ලෙහෙසි පහසු නැහැ. මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ මම ඒ අභියෝගය ජය ගත්තා කියලා හිතනවා. ශාන්ති දිසානායක කියන සම්මානනීය කතුවරිය මට මේ සම්බන්ධයෙන් ප්‍රශංසා කළා. මම හිතන්නෙ මේ ටෙලිනාට්‍ය සමඟ කිහිපවරක්ම ගිරිදේවි නවකතාව මුද්‍රණවාරයන් පවා නිකුත් වුණා. ශාන්ති දිසානායක මහත්මිය කීව්වේ මෙය නවකතාවට එහා ගිය නිර්මාණයක් කියල. මේක මට ඉතාම සතුටක්. මේකට සිග්නීස් සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් පවා ලැබුණා. මේ සම්බන්ධයෙන් මට ඉතා සතුටුයි. මේ කාර්ය හරියට ඉටු කළේ නැත්නම් ප්‍රේක්ෂකයා වැලඳගන්නෙ නැහැ. මේක සැබෑ අභියෝගයක්.

ඔබ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. ඇයි රංගනය ඔබ අතින් ගිලිහුණේ?

මම මේ ක්ෂේත්‍රයට ආදරය කරන්න ගන්නෙ රඟපෑම කියන තැනින්. මේ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න 75% විතර පිරිසගෙන්, අධ්‍යක්ෂවරුගෙන් හෝ සහාය අධ්‍යක්ෂවරුන්ගෙන් අහල බැලුවොත් ඔවුන් පවසාවි ඔවුන්ට මේ ක්ෂේත්‍රය පිළිබඳ මුල්ම හැඟීම සහ ආශාව ඇවිත් තිබෙන්නේ රඟපෑම කියන තැනින් කියලා. මම කොළඹට එන්නේ සහ ඉගෙන ගන්නේ නළුවෙක් වීමේ ආශාව නිසා. මම මේ ගමනත් එක්ක මේ ක්ෂේත්‍රය පිළිබඳව පුළුල්ව දකිනවා. මේක ඉතා විශාල ක්ෂේත්‍රයක්. මේ දැක්ම එක්ක මම මගේ අරමුණ වෙනස් කරගනිමින් සහාය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. මින් අනතුරුව මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් වැඩකටයුතු කරමින් තමයි අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙන්නේ.

ලාංකික ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස?

ප්‍රේක්ෂක විඥානය කියන කාරණාව ගත්තම ඔවුන්ගේ රුචිකත්වය සාපේක්ෂයි. කෝටි දෙකක ජනතාවට තිබෙන්නෙ විවිධාකාරයේ රුචිකත්වයන්. ඔවුන්ගෙ රසවින්දනය එකිනෙකාට වෙනස්. අපි උදාහරණයක් විධියට පවුලක් ගත්තොත් රසවින්දනය සහෝදරයාගෙන් සහෝදරයාට වගේම මවගෙන් පියාටත් වෙනස්. අපේ ප්‍රේක්ෂකයාට ඉතා හොඳ රසවින්දනයක් තිබෙන බව පේන්න තිබෙනවා. හොඳ නිර්මාණකරුවෙක් බිහිවෙන්නේ හොඳ රසවින්දනයක් තිබෙන පුද්ගලයෙක්ගෙන්. අපි ගොඩක් දේවල් රසවිඳපු මිනිස්සු. සමහර නිර්මාණ ප්‍රේක්ෂකයාව හඳුනා ගෙන නැහැ. ඒ නිර්මාණකරුවන් හිතන් ඉන්නෙ ප්‍රේක්ෂකය ඉන්නේ වෙනත් අඩවියක කියල. ලාංකික ප්‍රේක්ෂකයව මම දකින්නෙ ඉතා හොඳ රසවින්දනයක් තිබෙන, රසවිඳීමට ආදරය කරන මිනිස්සු කොට්ටාසයක් විධියට.

පවතින අර්බුදය හමුවේ ලාංකේය කලා ක්ෂේත්‍රයට ඇති අභියෝ මොනවාද?

රටක අර්බුදය සෑම ක්ෂේත්‍රයකටම බලපානවා. ඒක කලාවට විතරක් නෙමෙයි. අර්බුදය ආර්ථික වශයෙන්, මානසික වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් සියලු දේටම බලපා තිබෙනවා. නමුත් මගේ ක්ෂේත්‍රය ගැන කතා කරනව නම්, අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ ප්‍රේක්ෂකයාට හොඳම දේ දෙන්න. අපිට නිර්මාණයකට විශාල පිරිවැයක් දරන්න වෙනවා. මේ අර්බුදය හමුවේ ආදායමට වඩා වියදම වැඩියි. නමුත් අර්බුදය හමුවේ වැඩ කරන එක තමයි කළ යුතුම දේ. ඒ ප්‍රශ්න මොනා තිබුණත් ප්‍රේක්ෂකයාගේ රසවින්දනය උදෙසා අපි කැපවීමෙන් කටයුතු කරන්න ඕනෙ.

අර්බුදයක් තිබෙනවා කියලා අපි නිකං බලාගෙන ඉඳල වැඩක් නැහැ. අර්බුදය අද හරියයි හෙට හරියයි කියල බලං ඉන්න එක අපි ප්‍රේක්ෂකයට කරන ලොකු අවැඩක්. මේ අර්බුදයට කොහොමද විසඳුම් සොයන්නෙ සහ මේ අර්බුදය හමුවේ කොහොමද අපි වැඩ කරන්නෙ කියන එකයි වැදගත් වෙන්නෙ. අපේ ක්ෂේත්‍රය පමණක් නෙවෙයි සියලුම ක්ෂේත්‍රවල, පිරිස එකාවන්ව වැඩ කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නෙ. එහෙම නොවුණොත් අපි තවත් අගාධයට යනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කරනව නම්?

ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත් රැහැයියෙක් කියල ටෙලිනාට්‍යක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒක වෙනස් හැඩයක නිර්මාණයක් වෙයි. රැහැයියෙක් ළඟදීම ටෙලිවිෂනයේ විකාශය වීම සිදුවෙයි. ඒ වගේම යාදින්නී කියල නිර්මාණයක් ඉදිරියට ටෙලිවිෂනයේ විකාශය වීමට නියමිතයි. එයත්  සම්මානනීය කතුවරියක වන ශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කළ ටෙලිනාට්‍යක්. යාදින්නී ටෙලිනාට්‍යයෙත් පළමු අධියරේ රූගත කිරීම් සිදුකරල අවසන්. යාදින්නී ගොඩක් දුර බැහැර ලොකේෂන්වල රූගත කිරිම් සිදුකරන නිසා පොඩ්ඩක් පස්සට ගිහින්.  විශේෂයෙන්ම මේවගේ නිර්මාණවලට බරපැන දරන අපේ නිෂ්පාදකවරුන් වගේම කාර්යමණ්ඩලය මතක් කළ යුතුයි. ඉස්සරහටත් ප්‍රේක්ෂක්‍ෂයෝ වෙනුවෙන් කැපවීම තමයි මගේ එකම සතුට.

ගිහාන් සචින්ත