දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා නොසිටි වයිකිං දෙවිවරු

0
593

8 වැනි ශත වර්ෂයේ සිට 11 වැනි ශත වර්ෂය දක්වා වසර 300ක් පමණ ඉහතින් වර්තමාන නෝර්වේ, ස්වීඩන් සහ ඩෙන්මාර්ක් යන රාජ්‍ය ප්‍රදේශ කොටගෙන කෘෂිකර්මය, සංස්කෘතිය, ඉහළ ශිල්පීය ඥානය ආශ්‍රය කරගෙන දිවි ගෙවූ “නෝර්ස්” එහෙමත් නැත්නම් පැරණි “නෝර්වේජියානු” ජනතාව සිටි ශිෂ්ටාචාරය  හා බැඳුණු දේව සංකල්ප රැගත් විවාදයට මෙන්ම නව තාක්ෂණයට මඟපාදන වයිකිංවරු ගැන වෙනස් දෙයක් වෙනස් විධියට කතා කරන්නයි යන්නේ. මේ නෝර්ස් ජනයා නිකන්ම නිකන් ශිෂ්ටාචාරයක මිනිසුන් නොවූ අතර ගවේෂණය කිරීම අතින් ඉහළ දියුණුවක් ළඟා කර ගත්ත පිරිසක්. ඒ සඳහා ඉතා උසස් මට්ටමේ ඔවුන්ටම ආවේණික විශේෂ බෝට්ටු පවා නිර්මාණය කරගෙන ලෝක සවාරි ගිය දක්ෂ සටන්කරුවන් සිටි අයවලුන් වූහ.

ඇයි වයිකිංවරු මෙතරම් සුවිශේෂී???

ඔවුන් සමඟම බැඳී පවතින නූතනයේ පවා ඉතා ආකර්ෂණීය පැරැණි භාරතයේ මෙන්ම ප්‍රසිද්ධ දේව සංකල්ප ලෙස පැවැතීම ඉදිරියේදී ඔබට දැන ගැනීමට ලැබේවි මේ කවුරු ගැනද කියන්නෙ කියලා. මොකද වයිකිංවරු අතහරින්න නූතන ලෝකය පවා සූදානම් නෑ. ඒක පුරාවෘත්තයකට එහා ගිය දෙයක් නිසා.

ග්‍රීසිය, රෝමය හෝ මිසරය වැනි අනෙකුත් පෞරාණික සංස්කෘතීන් හා සැසඳීමේදී මොවුන්ව හ¾දුන්වන්නේ ගුප්ත ජනතාවක් විධියටයි. ඉතුරු වෙලා පවතින සුළු ලිඛිත ලියවිලි හෝ ශිලා ලේඛනවලට අනුව නෝර්වේජියන්වරු දියුණු ජාතියක් කියලා. නමුත් ඒ අයගේ නව ශිල්ප ක්‍රම ගැන සලකා බලන විටදී ඔවුන් අතිශයින් දියුණු ජාතියක් වුණා. නැව් තැනීම, පාලම් ඉදිකිරීම, බලකොටු ඉදිකිරීම. මෙතැනදී ප්‍රධාන අවධානයක් ඩෙන්මාර්ක්වල පිහිටලා තිබෙන කවාකාර බලකොටුවලට යෙදවෙනවා. මොකද ඒවා පරිපූර්ණ ලෙසම කවාකාරයි. ඒවා තුළ අමතර කානු වගේම ආරක්‍ෂිත පවුරක් පවා අඩංගු වුණා. දිශා හතරෙන්ම ප්‍රධාන ද්වාර ඉදි කරලා තිබෙනවා. කොහොම වෙතත් ඔවුන්ගේ ශිෂ්ටාචාරය බෙදිලා තිබුණේ නොයෙකුත් රාජ්‍යයන් අතරෙයි. නෝර්ස් වයිකිංවරු ඔවුන්ගේම ඇදහිලි පද්ධතියක් යටතේ සහ එක් නායකයෙක් යටතේ එකමුතුව ජීවත් වුණා.

වයිකිංවරු තියෙන දෙයක් කාලා ඔහේ හිටපු ජාතියක් නෙමේ කියලා කිව්වනෙ. ඔවුන්ගේ යුරෝපීය සගයන්ට වඩා අවුරුදු සිය ගණනකට පෙරදී වයිකිංවරු “ස්කැන්ඩිනේවියාව“ මූලික කරගෙන දේශ ගවේෂණයන් කරමින් ඒ වගේම යුරෝපයේ සහ මැදපෙරදිග පවා විශාල භූමි බාග ආක්‍රමණය කෙරුවා. ඔවුන් තමයි නැව් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඒ අය තමයි අෑත දකුණේ වාසය කරපු අනෙකුත් ජර්මන් ගෝත්‍රවලටත් වඩා පුළුල් විධියට දේශ ගවේෂණ සිද්ධ කරපු අය වුණෙත්. නෝර්වේජියානුවන් ඔවුන්ගේ “දිගැටි බෝට්ටු”වලින් ලෝකයෙන් භාගයක් පමණ දුරට යාත්‍රා කෙරුවා. ඒවායේ සැකිලි අදටත් කෞතුකාගාරවල පවතී. පෙරදිග පැත්තෙන් ගත්තොත් ඔවුන් “රුසියන්” ගංගා ඔස්සේ “කළු මුහුද” සහ “කැස්පියන් මුහුද” වෙතට යාත්‍රා කෙරුවා. බටහිරින් ගත්තොත් ඔවුන් “යුරෝපයේ වෙරළ බඩ” කලාපයට යාත්‍රා කරමින්  “ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධිය” හරහා “මධ්‍යධරණී මුහුදට” ගමන් කෙරුවා. එතැන ඉඳන් ඊට පස්සේ ඔවුන් නන්නා¾දුනන “අත්ලාන්තික්” සාගරයට පිවිසුණා. ඒක ඉතිහාස ගවේෂකයන් පවා අමාරුවේ දාපු වාර්තාවක් වුණා. පෘථිවියේ සමස්තයෙන් 60%ක් පමණ සංචාරය කළා වගේම 25%ක් පමණ ආක්‍රමණය කළා ඒ අතරින්. ඔවුන් ඔවුන්ට අවශ්‍ය කරන සෑම තැනකටම වගේ යාත්‍රා කෙරුවා.

 කැනඩාවේ නිව් ෆවුන්ඩ් ලෑන්ඩ්වලින් 1960දී සොයාගෙන තිබුණා ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටත් පෙර වසර 500කට පමණ පෙරදී උතුරු ඇමරිකාවට මුලින්ම පය ගැසූ යුරෝපීයන් වුණේ වයිකිංවරු බව. මේ පිළිබඳ පර්යේෂණ කළ පර්යේෂකයෙක් කිව්වෙ මෙහෙම.

“එහේ තිබිලා අපිට ඔවුන්ගේ ජනපදයක් හමුවෙලා තිබෙනවා. එය ක්‍රි.ව. 1,000 තරම් පැරැණියි. ඉතින් ඉතාම පැහැදිලියි ඔවුන් උතුරු ඇමරිකාවේ උතුරුදිග ප්‍රදේශයට ඇවිත් තිබෙනවා. නෝර්ස්වරුන්ට තිබුණු ප්‍රධාන වාසියක් වුණේ නැව් තැනීමේ කර්මාන්තයෙන් ඔවුන් ඉතාමත් ඉහළ තැනක සිටීමයි. ඇත්තෙන්ම නෞකා වයිකින්වරුන්ගේ යුගය පිළිබඳ සංකේතයක් වෙනවා”.

වයිකිංවරුන්ගේ නෞකාවල ආකෘති මඟින් පර්යේෂණ කරපු අය ප්‍රකාශ කළේ ඒවා මුහුදු ගමන් සඳහා ඉතාම සුදුසු ඒවා වගේම ඉතාම වේගවත් ඒවා කියලයි. ඔවුන්ට මේ තරම් දුරකට යාත්‍රා කරන්න හැකි වුණේ ඔවුන්ගේ නෞකා නිසයි. ඒවා ඉතාම සැහැල්ලු සහ අතිශයින්ම ශක්තිමත් යාත්‍රා. ඒවායේ හැඩය නිසා ගංගා හා මුහුදුවලදී කුණාටු තත්ත්ව යටතේ වුණත් ලේසියෙන්ම ගමන් කරන්න පුළුවන්කම ලැබුණා. ද්‍රවගතික විද්‍යාව පිළිබඳව ඔවුන්ට ඉහළ අවබෝධයක් තිබුණා. ඇතැම් යාත්‍රා තුළ දියුණු ශිල්පයක් වෙන ලෝහ කර්මය, ලෝහ උණු කිරීම වගේම ඔවුන් භාවිත කරපු විවිධ මිශ්‍ර ලෝහත් සොයා ගැනීමට හැකිවුණා. ඒ වගේම ඔවුන් අන්තර් සබඳතා පැවැත්වූවා යැයි පෙනෙන අනෙක් සංස්කෘතිත් එක්ක බලන විටදී මේ සෑම දෙයකම කිසි සම්බන්ධයක් නෑ.

එංගලන්තයේ ලින්ඩ්ස්ෆාන් හි ක්‍රි.ව. 793දී වයිකිං ආක්‍රමණිකයන් සිය දෙනෙක් පමණ නොතම්බි්‍රයාවේ වෙරළ තීරයේ මේ කුඩා උදම් දිවයිනට ගොඩ බැස්සා සුවිශාල ධන නිධානයක් තිබෙන බවට කට කතාවලින් කියැවුණු දේවස්ථානයක් කොල්ලකෑම වෙනුවෙන්. ලින්ඩිස්ෆාන් වාර්තාවලින් කියැවෙන ආකාරයට මේ පහරදීමත් එක්කම අහඹු ලෙස අසාමාන්‍ය සුළි සුළඟක් හමමින්, අකුණු ගසමින් ගින්දර පිටකරන මකරුන් අහස හරහා ගමන් කර තිබෙනවා.”

දැන් කතාව පොඩ්ඩක් වෙන පැත්තකට ගෙනියන්නම්. මාවල් ස්ටුඩියෝස් (Marvel Studios) ආයතනය යනු ලෝකයේ ප්‍රසිද්ධම චිත්‍රපට සමාගමකි. ඔවුන් මාවල් චිත්‍ර කතා (Marvel Comics) ආශ්‍රයෙන් වීර චරිත පදනම් කරගෙන අපූරු ගලා යෑමක් සහිතව චිත්‍රපට හා රූපවාහිනි කතා මාලා නිර්මාණය කරන සමාගමකි. ඔවුන් විසින් තවත් චිත්‍රපට මාලාවක් ලෙස 2011 වර්ෂයේදී ඊඩධප ආරම්භ කරනවා. එහිම දිගුවක් ලෙස ඉන් වසර 2ක් ඉක්ම ගිය තැන 2013 වර්ෂයේදී Thor : The Dark World නමින් තවත් සිනමා පටයක් එළිදක්වනවා. තම මාවල් සිනමා විශ්වයේ තවත් වීර චරිතයක් ඒ අනුව කරළියට ගේනවා. ඒ තමා “තෝර්”.

කවුද මේ තෝර්???

එම කතා මාලාවේ මුල් කතා දෙක නැරඹූ කෙනෙක් නම් තෝර් සහ බැඳී පවතින අනෙක් කාරණා බොහෝ සෙයින් දන්නවා ඇත. තෝර් කියන්නේ “දෙවියෙක්”. තෝර් තමයි “අකුණු”වලට අධිපති දෙවියෝ. තෝර්ට අරුම පුදුම “මිටියක්” තියෙනවා. ඒකෙ නම තමා “මියොල්නියර්” “(Mjolnir). තෝර් ජීවත් වෙන්නෙ “ඇස්ගාඩ්” කියන රත්තරන් පැහැයට ගොඩනැඟිලි තිබෙන ලෝකයක. තෝර්ගෙ පියා තමයි “ඔඩින්”. ඔඩින් තමා  ඇස්ගාඩ්හි පාලකයා. ඔහුට තිබෙන්නේ එක ඇසයි. තෝර්ගෙ මල්ලි තමා “ලොකී”. ඔහු ඉතාම කපටි වෛරී සිතුවිලිවලින් පිරි පාපකාරී දෙවියෙක්.

ඇස්ගාඩ්වල තිබෙනවා “ජීවයේ වෘක්ෂය”. ඇස්ගාඩ්වලට අමතරව තව ලෝක 8ක් එක්ක සම්බන්ධයි.

  මිඩ්ගාඩ් – මධ්‍ය පෘථිවිය (පෘථිවිය)

  යොටුන්හයිම් –  යෝධයන්ගේ ලෝකය.

  මුස්පෙල් – ගිනිගන්නා ලෝකය.

  නිෆ්ල්හයිම් – අමනුෂ්‍යයන්ගේ ලෝකය.

  ඇල්ෆයිම් – පිසාචයන්ගේ ලෝකය.

  වැන්හයිම් – දේව මණ්ඩලවල ලෝකය.

  නිඩ්වෙලිර් – කුරු වාමනයින්ගේ ලෝකය.

  හෙල් – මළවුන්ගේ ලෝකය.

   ඇස්ගාඩ්වල තිබෙනවා “දේදුනු පාලම” (Bifrost). ඒකෙන් ලෝක අතර කෙටි කාලයක් ඇතුළත ගමන් කරන්න  පුළුවන්. ඉතින් මේ චිත්‍රපට දෙකේ අන්තර්ගතය තුළ මේ කරුණු පෙන්වනවා. මොකද මේ හදිසියේ චිත්‍රපට ගැන කිව්වෙ. මේවාට මූලාශ්‍ර සපයන්නෙ මේ වයිකිංවරුන්ගේ දේව කතා. ඔබට ඉදිරියේදී සඳහන් කරුණුවලදී මේ කතා මාලාවල කොටස් මතක් වේවි.

එසේම නෝර්ස් දෙවිවරුන්ගේ නැත්නම් වයිකින් දෙවිවරුන්ගේ මූලාරම්භය ගැන සබඳතාවක් දක්වන කුඩා තොරතුරු ප්‍රමාණයක් විනාශයට පත් නොවී සුරක්‍ෂිතව පැවතුණු නිසා තමා අද මේවා දැන ගන්න පුළුවන් වුණේ. නූතන විද්වතුන් සියල්ල සොයන්නේ මේ වයිකිංවරුන්ගේ යුගයක් වෙන “එඩාස්”වලින් අවුරුදු සිය ගණනකට පසුව රචනා කර තිබුණු අයිස්ලන්ත පොත් යුගලයක් පදනම් කරගෙනයි. ඔවුන් විශ්වය හැඳින්වූයේ “ඉග්ඩ්‍රෙසිල්” ලෙසයි.ඒ වගේම මේ ලෝක 9ම ඇතුළත් රාජ්‍යය “නෝඩික්” මිථ්‍යාමය රාජ්‍යය ලෙස නම් වුණා. එමෙන්ම මේ දෙවිවරු “නෝර්ස්” නමින් හැදින්වුණා.

ඔඩින්

එක ඇසක් පමණක් හිමි දෙවියන්ගේ නායකයා ලෙස සලකන දෙවියා. ඔහු සත්‍යයේ ජලය පානය කිරීම වෙනුවෙන් තමන්ගේ ඇසක් ගාස්තුව හැටියට ලබා දුන් බවක් සඳහන් වේ. ඔහු ඉතාම ඥානාන්විත පාලකයෙක්. ඔහු තමන්ගේ සතුරන්ට දරුණු විදිහට සලකපු  රණශූර දෙවි කෙනෙක්. ඊට අමතරව ඔඩින් කියන්නේ මිනිස්සුන්ට ලිඛිත භාෂාවක් ලබා දුන්නු තැනැත්තායි. “රුනෙන් භාෂාව“ (පැරැණි ජර්මන් භාෂාව) සහ ඔවුන්ට කාව්‍යමය මධු පානය ලබාදුන් දෙවියා වන්නේ ඔහුයි. ඔවුන්ට එක්තරා විදිහක උතුම් යැයි සලකන ජීවන ක්‍රමයක් ගත කිරීම සඳහා නොයෙකුත් දේවල් ලබා දුන් දෙවියා වන්නේ ඔහුයි. ඔඩින් ගත්තොත් එයාට චර පුරුෂයෝ දෙන්නෙක් හිටියා. ඒ කාකයන් (කපුටන්) දෙදෙනෙක්.

ඔවුන්ගේ නම් “හ්‍යුගන්” සහ “ම්‍යුනින්”. හ්‍යුගන් සහ ම්‍යුනින් නියෝජනය කරන්නේ “සිතුවිලි” සහ “මතකයයි.” ඉතින් ඔඩින්ගේ මේ ඔත්තුකරුවෝ දෙදෙනා පිටතට ගිහිල්ලා එදා දවසේ ඔහුගේ අධ්‍යයනයට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරනවා. මේ ගැන ගැඹුරින් සොයා බලපු පාරභෞමික සංකල්ප විශ්වාස කරන විද්වතුන්ගේ අදහස මේක. “නෝර්ස් පුරාවෘත්තවලට අනුව සෑම උදෑසනකම ඔඩින් තමාගේ මායාමය ද්‍රෝන (Maya Drores) කාකයන් දෙදෙනා පිටත්කර හරිනවා. ඉතින් රාත්‍රි කාලේදී ඒ කපුටෝ නැවත ආවම ඔහු ඔවුන්ට ඇහුන්කම් දෙනවා. ඔවුන් මුළු දවස පුරාම නිරීක්‍ෂණය කරපු සෑම දෙයක් ගැනම ඔහුට කියනවා.”

මේක ටිකක් අමුතුයි වගේ නේද? විද්වතුන් විශ්වාස කරන්නේ සිතුවිලි සහ මතකයන් පරිවර්තනය කරන ඔඩින්ගේ ද්‍රෝන කාකයන් දෙදෙනා ගැන ඇති විස්තරය හුදෙක්ම මිථ්‍යාමය නිර්මාණයක් කියලයි. නමුත් හ්‍යුගන් සහ ම්‍යුනින් කියන්නේ ඇත්තෙන්ම කිසියම් වෙනස් දෙයක් වෙන්න ඇතිද? ඇතැම් වඩාත්ම නව ශිල්පීය දෙයක් වෙන්න ඇතිද??? ඔවුන් හරියට ඔත්තු බලන ඩ්‍රෝන යානා වගේ වැඩක් කරන්නේ. හ්‍යුගන් හා ම්‍යුනින් කියන්නේ ඇත්තට ඔත්තු බලන ඩ්‍රෝන යානා දෙකක් වෙන්න බැරිද??

“ඔඩින් තමන්ට අවශ්‍ය ප්‍රදේශයට කාකයන් යවනවා.”

“ඔඩින්ට එදිනෙදා අවශ්‍ය නිරීක්ෂණයන් කරනවා.

රාත්‍රි වෙන විට කාකයන් පැමිණෙනවා.”

“තමන් දැකපු ඇහිච්ච හැම දේම ඔඩින්ට කියනවා”. මේක අද කාලෙ ඔත්තු බලන ඩ්‍රෝනයකින් කරන දේම නේද වෙන්නෙ. ඇත්තටම ඒ කපුටන් නොව ඩ්‍රෝන යානා දෙකක්ද? අපි දන්නෙ නෑනෙ කියන්න. මේක පිරිසකගේ මතයක්. හැබැයි ඒ මතය සාධාරණයි කියලත් හිතෙනවා. තමන් අත් නොවිඳපු දෙයක් විස්තර කිරීමේදී වයිකිංවරු ලේඛනගත කළ ආකරයද ඒක. මොකද ගුවන් යානා නිර්මාණය කිරීමේ  මූලිකම අඩිතාලම දමා ගත්තේ නූතන ලෝකය “කුරුල්ලන්” ආදර්ශයට ගනිමින්ය. මෙතැනින් පසු අපට සිතා ගැනීමට විශාල කතන්දරයක් තිබේ. එනම් අතීතයේ හැඳින්වූ මේ මිථ්‍යාමය දෙවිවරු ඇත්තෙන්ම දෙවියන් නොව වෙනත් සක්වළක භෞතිකමය ජීවීන්ද යන වග. ඔවුන් සතුවූ අද්භූත හැකියා හා ඔවුන්ගේ අමුතු ආයුධ නිසා ඔවුන්ව දෙවියන් ලෙස හැඳින්වීමට පෘථිවිවාසීන් යොමු වූවාද?

ප්‍රශ්නය වෙන්නේ නෝර්ස්වරුන් ඇත්තෙන්ම මොවුන් කපුටන් විදිහට හැඳින්වුවත් නැත්නම් ඔවුන් ඒවා වෙනස් විදිහකට හැඳින්වුවත් කොහොමහරි ඒවා පියාඹන වස්තූන් වෙනවා. ඉතින් මෙතැනදී අපි සතුව තිබෙන මේ විස්තරයේ ඉන්න මිථ්‍යාමය “ද්‍රෝන කාක සත්ත්වයන්ට” “දෙවියන්” සමඟ “කතා කිරීමේ හැකියාව“ තිබිලා තිබෙනවා. අපි දන්න විධියට නම් කපුටන්ට අපිත් එක්ක කතා කරන්න බෑ කාක් කියනවා ඇරෙන්න. නැත්නම් මේ කපුටන් එක්තරා විදිහක ඔත්තු බලන ඩ්‍රෝන යානා. ඒවායෙන් ඔඩින්ට තොරතුරු ලබාගන්න හැකි වෙලා තිබෙනවා. එහෙම වෙන්න ඇත්තේ ඔඩින් කියන්නේ ඇත්තෙන්ම පිටසක්වළ ගවේෂකයෙක් නිසාද? පියාසර යන්ත්‍ර යැවීමේ හැකියාවක් තිබුණු කෙනෙක්ද?? හරියට වර්තමානයේ භාවිත කරන ඩ්‍රෝන යානා වගේ. පෞරාණික ස්කැන්ඩිනේවියාවේ බුද්ධි තොරතුරු එක්රැස් කරන්න ඇතිද?

අද වන විට මෙවන් මිථ්‍යාමය කතන්දර තවදුරටත් අතීත මිථ්‍යා හෝ සංකල්පවලින් බැහැරව වෙනස්ම මාවතකට ගෙන යන්න ලෝකයේ සැලකිය යුතු පිරිසක් සූදානම්. ඒක නම් ටිකක් වෙනස් විදිහක් නේද? ආයෙත් ඔඩින් ගැන බලමු. ඔඩින් ඇස්ගාඩ්වල ඉන්නැද්දි බොහෝ දුරට ඔහුට අවට සිදුවෙන දේවල් ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණා වගෙයි පේන්නේ. ඔහුට කපුටෝ දෙන්නෙක් හිටියා. මොවුන් හැම දවසකම පිටතට ගිහිල්ලා ආපහු ඇවිත් ලෝකයේ සිද්ධ වෙන දේවල් ඔහුට කියනවා. නමුත් මේ අතරවාරේදීම ඔහු ඔහුගේ සිංහාසනය මතත් ඉඳගෙන ඉන්නවා. ඔඩින්ගේ උස් අසුන ඒකට කියන නම පරිවර්තනය කරොත් පුරාවෘත්තවල සඳහන් අන්දමට එයින් අදහස් වෙන්නේ “මුර අට්ටාලය” විධියටයි. දෙවිවරු අට්ටාලයක් උඩ ඉඳීවිද? මෙතැන ඉඳන් ඔහුට මුළු ලෝකයේම තිබෙන සියලුම නිර්මාණ නිරීක්‍ෂණය කරන්න පුළුවන් වුණා වගේම ලෝකයේ සිදුවෙමින් පැවතුණු සෑම දෙයක්ම දකින්න හැකි වුණා. මේක ඇත්තටම අට්ටාලයක්ද නැත්නම් ඩ්‍රෝන පාලන මැදිරියක අසුනක්ද? මේ උස් ආසනය, නැත්නම් මුර අට්ටාලය දියුණු පිටසක්වළ නව ශිල්ප ක්‍රමයක් ගැන පවතින තවත් එක  උදාහරණයක් වෙන්න පුළුවන්ද? වෙනස් විධියට හිතන ලෝකයේ ඉන්න මිනිස්සු හදන මතයක් තමා මේක.

පිටසක්වළ ජීවී සාක්ෂි පිළිබඳ ඉහළ මට්ටමේ ගවේෂකයන් වන එරික් වොන් ඩෙනිකන් හා ට්වසකලෝ පළ කරලා තියෙනවා.

එරික් කියන්නෙ මෙහෙම

“ඇත්තෙන්ම මිඩ්ගාඩ්වලට ඉහළින් ඉන්න ගමන් නැත්නම් පෘථිවියට ඉහළින් ඉන්නැද්දි විශාල දුරක තිබෙන සෑම දෙයක්ම දකින්න හැකි වෙලා තිබෙනවා. මේවා ඇත්තෙන්ම පූර්ණ මිථ්‍යා කතා වෙන්න බැරි බව අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. නමුත් ඉ¾දුරාම මේවා නව ශිල්පීය දේවල්. මට නම් මේකෙන් තේරෙන්නේ ඔඩින් කියන්නේ පෘථිවියට ඉහළින් තිබුණු අභ්‍යවකාශ යානයක නියමු ආසනයක ඉඳපු කෙනෙක් වගේ කියලයි. ඒකෙන් ඔහුට මෙවැනි දේවල් දකින්න ඉඩකඩ ලබා දෙන්න ඇති.”

ට්වසකලෝ කියන්නෙ මෙහෙම

“ඉතින් එක අවස්ථාවකදී අපිට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා සොයලා බැලීම වෙනුවෙන් විවිධ උපකරණ වුවමනා කරන දෙවි කෙනෙක් ගැන කතන්දර අහන්න ලැබෙනවා. අන්න ඒකෙන් මට කල්පනා කරන්න සිද්ධ වුණේ අපි මේ කතා කරන්නේ සැබෑම දෙවි කෙනෙක් ගැන නෙවෙයි කියලයි. නමුත් අපි මේ කතා කරනවා ඇත්තේ නවීන ශිල්ප ක්‍රම භාවිත කරපු අභ්‍යවකාශ තරණය කරන පුද්ගලයෙක් ගැනයි. ඒ වගේම අපේ මුතුන් මිත්තන්ට මේ හැමදේම දකින්න ලැබුණා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කළේ “හොඳයි, කිසිම සැකයක් නෑ මේ අය නම් දෙවිවරුම තමයි“ කියලයි. ඔඩින්ගේ උස් ආසනය යනුවෙන් හ¾දුන්වන්න ඇත්තේ ඇත්තෙන්ම පෘථිවි කක්‍ෂයේ තිබුණු එක අභ්‍යවකාශ යානයක් වෙන්න ඇති. ඒ තුළ ඉඳන් ප්‍රධාන දෙවියන්ට පෘථිවිය නිරීක්‍ෂණය කිරීමේ හැකියාව තිබෙන්න ඇතිද?”

ඔන්න දැන් එනවා ආයෙත් අර කලින් කියපු ලින්ඩිස්ෆාන්වල මකරු අහසේ පියාඹපු කතාවට.

“ලින්ඩිස්ෆාන් වාර්තාවලින් කියවෙන ආකාරයට මේ පහරදීමත් එක්කම අහඹු ලෙස අසාමාන්‍ය සුළි සුළඟක් හමමින්, අකුණු ගසමින්, ගින්දර පිට කරන මකරුන් අහස හරහා ගමන් කර තිබෙනවා.” මේ මොහොතේ තමා වයිකිංවරු දේවස්ථානයක් මංකොල්ලකන්න යන්නේ. ඉහත ඔඩින්ගේ සිදුවීම් අනුව ගත් කළ මේ මොහොතේදිත් දේව සහයක් ඔවුන්ට ලැබුණාද?

“අසාමාන්‍ය සුළි සුළඟ”

“අකුණු”

මේ ටික දැක්කාම අපේ මතකයට එන දෙවියා කවුද? ඔන්න ඔය ආකාරයෙන් Thor චිත්‍රපට මාලාවේ හඳුන්වපු “තෝර් ඔඩින්සන්”. (Thor Oddinson) අකුණුවලට සහ ගිගුරුම් හඬට අධිපති දෙවියන් වෙන තෝර්ට කුණාටු ඇති කිරීමේ හැකියාව තිබුණා වගේම ඔහුගේ මායාමය මිටියෙන් “යෝධයන්” එක්ක යුද්ධ කිරීමේ හැකියාව තිබුණා. තෝර්ව නිතරම පෙන්නුම් කරල තිබෙන්නේ “එළුවන් විසින් ඇදගෙන යන විශාල කරත්තයකින් ආකාශයේ සැරිසරන දෙවි කෙනෙක්” විදිහටයි.

ඔඩින් ප්‍රධාන දෙවියන් නම් තෝර් අපි හැමෝගෙම ප්‍රධාන දෙවියන් වෙනවා. “තන්ඩර්” කියන ඉංග්‍රීසි වචනය පැවැතගෙන එන්නේ තෝර්ගෙන්. ස්වීඩනයේ තන්ඩර් කියන වචයෙන් අදහස් කරන්නේ “තෝර්ගේ රථය අහස කුස පුරා පදවාගෙන යනවා” කියන එකයි. ඒ වගේම ඔබට වුණත් එක්තරා විදිහකින් හිතාගන්න පුළුවන් වේවි විශාල ලෙස ශබ්ද නැඟෙමින් ගිනිගෙන දැවෙමින් පවතින රථයක් ආකාශය හරහා ගමන් කරමින් කුණාටුවක් තුළින් අපිට අත්විඳින්නට ලැබෙන අකුණු සහ ඝර්ජනා වැනි දේවල් ඇති කරන ආකාරය ගැන. ඔහු ඉතාම ශක්තිමත් කෙනෙක් ඒ වගේම ඔහු ආරක්ෂකයෙක්.

ඔහු පිටතට ගිහිල්ලා මූලිකවම ඔහු යෝධයන්ට පහර දෙමින් මරා දමනවා. දෙවිවරුන්ව ආරක්ෂා කරගන්න විතරක් නෙවෙයි. නමුත් එක්තරා අත්වැරැදීමක් විදිහට ඔහු මිනිසුන් වෙන අපිව ආරක්ෂා කරනවා. නෝර්ස් මිථ්‍යා කතාවලට අනුව තෝර් තමන්ගේ බලය ලබාගන්නේ පේන විධියට කිසියම් මායාමය උපකරණ කීපයක් තුළින්. එකක නම “මියොල්නිර්” (Mjolnir) මේක මිටියක්. තමන්ට ඕන දිහාට අධි වේගයෙන් විසි කරලා ආයෙ තමන්ගෙ අතටම අධි වේගයෙන් ගෙන්වා ගන්න පුළුවන්. හරියට භූමරංගයක් වගේ. ඒ වගේම මේකට ඕනෑම දෙයක් විනාශ කිරීමේ හැකියාවත් තිබෙනවා. ඊළඟ එක “ශක්ති බඳ පටිය” (Power Belt). මේ බඳපටියෙන් තෝර්ගේ අසමසම ශක්තිය දෙගුණයක් කරන්න පුළුවන් කියනවා.

නැවතත් අද කාලේ කතාවක් කියන්නම්. වර්තමානයේදී ඇත්තෙන්ම මොළයෙන් ලබාදෙන විධානයන්ට ඇහුන්කම් දීමට හැකි කෘත්‍රිම ශරීර උපාංග පිළිබඳව එක් උදාහරණයක් පෙන්වා දෙන්න පුළුවන්. ඒ තමයි ඇමරිකානු යුද සෙබළෙක් සඳහා අත්හදා බැලුණු බාහිර සැකිල්ලක්. මෙය සාමාන්‍ය රොබෝ සැකිල්ලක් පැලඳ ගැනීමක් වෙනවා. නමුත් ඒකෙන් අසාමාන්‍ය අමතර ශක්තියක් පැලඳ සිටින පුද්ගලයාට ලැබෙනවා. පහත දේවල් කරන්න පුළුවන් ඒවා.

1. බොහොම පහසුවෙන් යුද ටැංකි උණ්ඩයක් පවා රැගෙන කන්දක් ඉක්මනින් නැඟීම හෝ දිවීම. සරලව මිනිසාට තනිව එස්විය නොහැකි අධික ස්කන්ධයක් මෙම සැකිල්ල ආධාරයෙන් ඔසවන්න පුළුවන්.

2. පහසුවෙන් අතින් පහරදී ඝනකම් ලෑල්ලක්, ගඩොල් බිත්තියක් කුඩු කිරීමේ හැකියාව ලැබෙනවා.

ඉතින් ඇත්තෙන්ම අපි මෙතැනදී නැවත නිර්මාණය කරලා තිබෙන්නේ එක්තරා විධියක බාහිර සැකිල්ලක් කියන කෘත්‍රිම සංවේදක පද්ධතියක්. ඒ මඟින් මොළය අපේ අවයවවලට විධාන ලබා දෙනවා. ඒ අනුව තෝර්ගේ ශක්ති බඳපටිය කියන්නෙත් මෙවැනිම වූ සත්‍ය උපකරණයක් විනා තවත් මිථ්‍යාමය උපකරණයක් නොවන බවද? මෙයයි ගවේෂකයන් පළ කරන මතය. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියා බැහැර කළ නොහැක. මොකද අතීත මිනිසා මේවා චිත්‍රයට නැඟුවේ, ලේඛනගත කළේ, මුඛ පරම්පරාවෙන් පුරාවෘත්ත ලෙස ඉදිරියට ගෙනාවෙ තමන් දැකපු දේ අවට පරිසරයේ තමන් දන්නා දෙය උපමා කිරීමෙන්. එසේ හෙයින් නෝර්ස් දෙවිවරුන් සම්බන්ධ කතා කියන්නෙත් වයිකිංවරු විසින් වැරැදියට වටහා ගත් විස්මිත තාක්ෂණික උපකරණ සතු බලවත් පිටසක්වළ ජීවී කාණ්ඩයක් විනා ඔවුන් දේව කාණ්ඩයක් නොවන වගද? මතු සම්බන්ධයි.

රවිඳු බණ්ඩාර