ඩුබායි ඉඳන් මිනී මරපු හරක්කටා ඇස් දෙකෙන් ඇල්ලූ හැටි

0
108

සංවිධානාත්මක ප්‍රබල අපරාධකරුවකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ නඳුන් චින්තක නොහොත් හරක් කටා ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට කොටු වූයේ ඔහු සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඇස්දෙකේ පුංචි වෙනසක් නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් කීය.

හරක්කටා මෑතකදී සකසන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක ඡායාරූප සහිත විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් පසුගියදා ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව ඩුබායි ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් වී තිබේ.

මේ බව නොදන් හරක්කටා සිය බිරිය සමඟ ඩුබායි ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ මැලේසියාවට ගොස් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව බලා යෑමට බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ්‍යය වී තිබේ. එහෙත් ඔහුගේ ගමන් බලපත්‍රයේ සටහන් රූපය හොඳින් නිරීක්ෂණය කළ ඩුබායි ආගමන විගමන නිලධාරින්ගේ එහි ඇති හරක්කටාගේ ඡායාරූපයේ ඇති ඇස්වල තිබූ වෙනස්භාවය දැක ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව අනාවරණය කරගෙන තිබේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ හරක්කටා සහ බිරිය ඩුබායිවල අත්අඩංගුවට පත්වුවද ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව ඒ බව ලිඛිතව මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම් දී නැති බවය.

එහෙත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉන්ටර්පෝල් ශාඛාව පැය 24 පුරාම අවදියෙන් සිටිමින් හරක්කටා නමැත්තා මෙරටට ගෙන්වා ගැනීමේ දැඩි උත්සාහයක නිරතවන බව රහස් පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දකුණු පළාතේ මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන කිහිපයක්ම හරක් කටාගේ මෙහෙයවීම මත සිදුවූවක් බවට අනාවරණය වී ඇති අතර මෙරට අධිකරණය මඟින් ඔහුට රතු වරෙන්තුද නිකුත් කර තිබිණි. එමෙන්ම ඔහු ජාත්‍යන්තරය සමඟ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට මෙවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද ඩුබායි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත දැනුම් දී තිබිණි.

කීර්ති මෙන්ඩිස්