ජනපතිතුමනි, අරගලය චප්ප නොකර අරගලයට හේතු වුණු කාරණා චප්ප කරන්න

0
60

නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?

රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා සහ ඔහුගේ දේශපාලන ඉතිහාසය ගැන කතා කරන විට ඔහුත් සමඟ අපට තිබෙන්නේ ඉතාම දුර දේශපාලන බැඳීමක්. එකතු විය නොහැකි ආකාරයේ බැඳීමක්. වර්තමානය තුළත් ඔහුගේ දේශපාලන හැසිරීම සහ දේශපාලන භාවිතය 100% වෙනස් වෙලා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.

ඔහු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

ඔහු අනුප්‍රාප්තික ජනාධිපති වීමෙන් පසුව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යම් සාධනීය කාරණා ගණනාවක් තිබෙනවා. නමුත් ඒ කතා ක්‍රියාවන් බවට පත් කරන එක තමයි අපිට තිබෙන ප්‍රශ්නය. අපිට ඔහුව විශ්වාස කරන්න වෙන්නේ කතාව සහ ක්‍රියාව අතර තිබෙන පරතරය අනුව තමයි. ගෙවුණු කාලපරිච්ඡේදය ගැන කතා කළොත් මැයි 13 ඔහු වැඩ බලන අගමැතිවරයා බවට පත් වීමේ සිට මේ දක්වා කාලය තුළ සිදුවූ ඇතැම් සිදුවීම් ගැන අපිට එතරම් පැහැදීමක් නැහැ.

ඔබලා යෝජනා කරන සර්වපාක්ෂික වැඩපිළිවෙළ තවම යථාර්ථයක් නොවීම නිසාද ඔහොම කියන්නේ?

අප්‍රේල් මාසයේ සිට අපි සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ කතා කරන විට ඔහු ඒවාට සක්‍රියව දායක වුණා. ඒ යෝජිත වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරමින් සිටින අතරතුර තමයි ඔහු ජනාධිපති වුණේ. ඔහු අගමැතිව සිටියදීවත් තිබුණු අවස්ථා නිසි පරිදි භාවිත කළේ නැහැ.

නමුත් මැයි 15දා ඔහු සියලුම පක්ෂවලට නිර්පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට ආරාධනා කළා?

ඔව්. ඔහු ලිපියකින් ඒ බව දන්වා සිටියා. නමුත් ඔබත් මමත් මේ කතා කරන මොහොත දක්වාම එය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් ගැන ඔහු දන්වා නැහැ. විශේෂයෙන්ම පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හදන එක ගැන හෝ එය ඉදිරියට රැගෙන යන වැඩපිළිවෙළ ගැන සහ අනෙකුත් කාරණා ගැන සාධනීය ප්‍රවේශයක් තවමත් අරගෙන නැහැ. ඔහු කරන්නේ ඔහුගේ සාම්ප්‍රදායික උපක්‍රමය වන කල්මැරීම දිගටම කරගෙන යන එක.

ඇතැම් පක්ෂ දැනටමත් රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩුවට සහාය නොදෙන බව දන්වා තිබෙනවා?

ඡන්දයෙන් පත්වුණු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 18ක් තිබෙනවා. තවත් පක්ෂ සහ කණ්ඩායම් 30 ගණනක් තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක්  හදන්න නම් ඒ හැමෝම සම්බන්ධ විය යුතුයි. නමුත් ඔය හැමෝම නොඑන නිසා හදන්න වෙන්නේ බහුපාක්ෂික ආණ්ඩුවක්.

ඒ කියන්නේ, සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන එක වචනයට පමණක් සීමා වුණු එකක් වෙයිද?

සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ බහුපාක්ෂික  ආණ්ඩුවක් හදනවා නම් එය  කරන ක්‍රමවේදය කුමක්ද කියන දේ අපට ඉදිරිපත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික කාරණා පිළිබඳව අපි අපේ පක්ෂය විධියටත්, ස්වාධීන පක්ෂ එකමුතුව විධියටත් පැවැසුවා. ඒ සම්බන්ධව අදාළ අවම පොදු වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා නම් අපිට පුළුවන් එයට සහයෝගය දෙනවාද නැද්ද කියන එක තීරණය කිරීමට. නමුත් තවමත් එවැන්නක් සිදුවෙලා නැහැ. ඔහු සාමාන්‍ය පරිදි ආණ්ඩුව කරගෙන යනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමේ වුවමනාව නොපෙන්වමින්. ඒ නිසා ඔහු සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙන්වූ වුවමනාව ව්‍යාජ එකක්ද කියලා අපිට සැක පහළ වී තිබෙනවා.

ස්වාධීන පක්ෂ එකමුතුව තුළ පෙර තිබූ ඒකමතික බව ඒකාබද්ධ බව දැන් නැද්ද?

අපේ ස්වාධීන පක්ෂ එකමුතුව ලංකා දේශපාලනයේ අලුත් කියැවීමක්. 2/3ක බලයක් තිබෙන ආණ්ඩුවක් තුළ ජනපතිවරයෙක් පත්වීමත් සමඟ ඒ ආණ්ඩුවට හරි මඟ කියන සන්ධානයක් විධියටයි අපි කටයුතු කළේ. ඒ සන්ධානය ටිකක් වෙනස්. අමුතු සන්ධානයක්. මොකද මුල සිටම විවිධ මත තිබෙන පක්ෂ තමයි මෙයට එකතු වුණේ. ගෙවුණු වසර 2ම අපි තුළ විවිධ මත තිබුණත් අවසානයේ එකඟතාවකට ඇවිල්ලයි ඉදිරියට ගමන් කළේ. අපි තීන්දුවක් ගෙන තිබෙනවා මේ මාසයේ පක්ෂ එකමුතුව එක්වෙලා කාටත් වැඩ කළ හැකි සභාගයක් හැදීමට. අගෝස්තු 21දා අපේ රටේ ප්‍රශ්නවලට උත්තර සොයන නව සභාගයක් හදනවා.

රටේ ප්‍රශ්නවලට උත්තර දෙන සභාගයක් කිව්වේ?

පක්ෂ සහ පක්ෂ අරමුණුවලට අනන්‍යතාවක් තබාගෙන රටේ මේ මොහොතේ උද්ගතව තිබෙන මූලික ප්‍රශ්නවලට තමයි අපි මේ හරහා පිළිතුරු සොයන්නේ. උදාහරණයක් විධියට බලශක්ති ප්‍රශ්නය ගතහොත් අපේ යෝජනා, අදහස්, විසඳුම් මොනවාද කියලා අපි ඉදිරිපත් කරනවා. මේ සියලුම ප්‍රශ්න පිළිබඳව අපි වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. අගෝස්තු 21දා එය ලියාපදිංචි නිල සභාගයක් විධියට අපි එළිදක්වනවා. ඉදිරියේදී අපි සමඟ මේ අරමුණු වෙනුවෙන් එකතු වීමට කැමැති ඕනෑම දේශපාලන පක්ෂයකට එහි ‍ෙදාර විවෘත වෙනවා සහ දැනටමත් පක්ෂ කිහිපයක් ඒ සම්බන්ධව අප සමඟ කටයුතු කරනවා.

ශ්‍රී ලනිපයත් ඉදිරියේදී එයට එකතු වීමට නියමිතයිද?

ශ්‍රී ලනිපය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වුවත් අපිට එම පක්ෂය ගැන තිබෙන්නේ ඉතාමත් නරක දේශපාලන කියැවීමක්. ඒ අය ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමක් ලෙස අපි සමඟ වාඩි වුණා. දැනට එහි දෙදෙනෙක් ඇමැතිකම් දරනවා. තවත් අය ඇමැතිකම් ගන්න බලාගෙන සිටිනවා. ඒ නිසා ශ්‍රී ලනිපයේ 14 ප්‍රමාණය මේ වන විට විසිරිලයි තිබෙන්නේ. ඒ ප්‍රමාණයේ අඩු වැඩි බව බලාගන්න වෙන්නේ රාජ්‍ය ඇමැතිකම් එහෙම දීලා ආණ්ඩුවක් හැදුණට පසුව තමයි.

ඔය කියන කාරණාව හවුල්කාර පක්ෂ එකමුතුවටත් වලංගු නැද්ද? මොකද සමහරු ඇමැතිකම් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඇතැමුන් දැනටමත් ඇමැතිකම් කරනවා?

එවැන්නක් සම්බන්ධයෙන් අපි තවම අවසන් තීන්දුවකට පැමිණ නැහැ. ඇමැති ධුර දරනවා නම් පක්ෂ එකමුතුවෙන් ඉවත් වෙනවා. ටිරාන් අලස් මහත්මයා මුල සිටම අපි සමඟ සිටි ප්‍රබල සාමාජිකයෙක්. නමුත් ඔහු ඇමැතිකමක් දරන්න සූදානම් බව අපට වාර්තා කොට පක්ෂ එකමුතුවෙන් ඉවත් වුණා. ඒ හැර අතාවුල්ලා මහත්මයා පසුගිය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේදී ඩලස් අලහප්පෙරුම මහත්මයාට ඡන්දය දීම ප්‍රතික්ෂේප කළා. ඒ සමඟ ඔහුත් ඉවත් වුණා. නමුත් අපි දන්නේ නැහැ ඔහු ආණ්ඩුවට එකතු වෙලා ඇමැතිකම් ගනියිද නැද්ද කියලා.

ඉන්ධන ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් විමල් වීරවංශ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ගත් උත්සාහය පිළිබඳව ආණ්ඩුවේ වත්මන් ප්‍රතිචාර මොනවාද?

මේ රටේ මූලිකම ප්‍රබල ප්‍රශ්නයක් තමයි බලශක්ති ප්‍රශ්නය. ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහත්මයා ප්‍රමුඛව අප කණ්ඩායම කාලීනවත් වාසිදායක වූත් විසඳුමක් ඉදිරිපත් කළා. එහිදී රුසියාව සමඟ සම්බන්ධ වීම හැර වෙන විකල්පයක් අපිට පෙනෙන්නට නැහැ. නමුත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද කියන කාරණය තිබෙන්නේ ආණ්ඩුව සහ නායකයන්ගේ අතේ.

ගෝඨාභය රාජපක්ෂට තිබුණු ප්‍රධාන චෝදනාවක් තමයි ඔහු කිසිවකුට ඇහුම්කන් දෙන්නේ නැහැ තනි මතයට වැඩ කරනවා කියන එක?

ඔව්. එය ප්‍රධානව නැඟුණු චෝදනාවක් සහ සත්‍ය චෝදනාවක්.

අලුත් ජනපති ඊට වඩා වෙනස්ද, මම අහන්නේ ඔහු අන් මතය විමසන, ඇහුම්කන් දෙන කෙනෙක්ද?

මම කියන්නේ අතීත භාවිතය ගැන නෙවෙයි. මේ කෙටි කාලය තුළ ඔහු පෙන්වපු හැසිරීම ගැන. ඇත්තටම ඔහු ඉතා හොඳ සවන් දෙන්නෙක්. අපි මෙතෙක් ඉදිරිපත් කළ සෑම මතයක්ම වැඩි බරක් තබා පිළිගන්න බවකුත් පෙනෙන්නට තිබුණා. බොහෝ අදහස් අපට සමපාතයි. ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සාධනීය කාරණා ගණනාවක්ම තිබුණා. නමුත් ඔහුගේ ප්‍රායෝගික භාවිතය, හැසිරීම ගැන දැන්ම කියන්න බැහැ.

භූ දේශපාලන කාරණාවලදී ඔහු රටට සතුරු නොවී ස්වාධීනව කටයුතු කරයි කියලා විශ්වාසයක් තිබෙනවාද?

අපේ රටේ පිහිටීමේ ස්වභාවය අනුව අපේ රටට භූ දේශපාලනික වශයෙන් වාසි සහ අවාසි රැසක් තිබෙනවා. වාසිවලට වඩා අවාසි තමයි අපි එකතු කර ගන්නෙත්. අපේ විදේශ ප්‍රතිපත්තිය නිසා වාසි, අවාසි නිසියාකාරව තේරුම් ගත නොහැකිව තිබෙනවා.  

ඉතිහාසයේ අපි අනුගමනය කළේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්. නමුත් දැන් එය නිෂ්ක්‍රිය බවට පත්වෙලා. වර්තමාන කැබිනට් එකේ සිටින ඇතැමුන් විවිධ රාජ්‍යයන්ට ගැතිකම් කරමින් ඒවායේ න්‍යාය පත්‍රයන් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවක් පෙනෙනවා. මේවා හඳුනාගෙන නොබැඳි ප්‍රතිපත්තියකට යෑම තමයි සිදුවිය යුත්තේ. බටහිරට ගැතිවීම තුළ අපිට කිසිදු ප්‍රතිලාභයක් නැහැ.

නව ජනපතිවරයාගේ විදෙස් ප්‍රතිපත්තිය ගැන ඔබලාට යම් අවබෝධයක් තිබෙනවාද?

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් ප්‍රතිපත්තිය ගැන තවම අපිට නිසි අවබෝධයක් නැහැ. ඔහුගේ දේශපාලන ඉතිහාසය ගත්විට ඔහු තමයි කොන්සර්වේටිව් ජාත්‍යන්තරය තුළ සිටින මෙරට නියෝජිතයා. පසුගිය යහපාලන සමය තුළ ඔහුට හැකිවුණේ නැහැ ඔහු සමඟ මිත්‍රශීලී රටවල්වලින් උපකාර ගෙන එවක තිබූ ප්‍රශ්නවලට විසඳුම් ගෙන ඒමට. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඔහු 2019දී පරාජය වෙලා නිෂ්ක්‍රිය චරිතයක් බවට පත් වුණේ.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් නැවත පැමිණීමේ සිට මේ දක්වා වූ ගමන්මඟ තුළ තවමත් ඔහු අධිරාජ්‍යවාදී කඳවුරද නියෝජනය කරන්නේ, එහෙමත් නැතිනම් මේ වන විට ඔහුගේ උපාය, උපාය මාර්ග වෙනස් කරලද කියලා අපිට තවම කියවීමක් නැහැ.

අරගලයේ මූලාරම්භය සහ මේ දක්වා පැමිණි ගමන් මඟ ගැන ඔබේ නිර්වචනය කුමක්ද?

අප්‍රේල් 09දා තමයි අරගලයේ මූලාරම්භය. ඒ වන විට රටේ ප්‍රශ්න මීටත් වඩා උග්‍රව පැවතුණා. පැය 13, 14, 15 විදුලිය කැපුවා. ගෑස්, ඉන්ධන පෝලිම් විශාල වශයෙන් තිබුණා. ජනතාව විශාල පීඩාවකින් සිටියේ. ඒ පීඩාව නිසා තමයි ජනතාව එදා ගෝල්ෆේස් භූමියට එකතු වුණේ. එයට දහස් ගණනක් සාධාරණ හේතු තිබුණා. ඇත්ත අරමුණක් තිබුණා සහ එය නිර්පාක්‍ෂිකයි. නමුත් ක්‍රමිකව මේ ඇත්ත ජන සන්නිපාතයක් ඒකරාශී වුණු අරගලය විවිධ දේශපාලන කණ්ඩායම් අතට පත්වුණා. ඒ සමඟ ඇත්ත අරමුණු වෙනුවෙන් එළියට බැහැපු ජනතාව අරගලයෙන් ඉවත් වෙලා විවිධ දේශපාලනික අරමුණු තිබෙන පිරිස් අරගලය තුළ ඉතිරි වුණා. එවැනි වැරැදි කණ්ඩායමක් අතට මෙය පත්වීම තුළ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවාස 76ක් විනාශ වුණේ. අමරකීර්ති අතුකෝරල මන්ත්‍රිවරයා නිර්දය විධියට ඝාතනය වුණේ.

ඒ අතරතුර ජූලි 9දා අරගලයෙන් පසු ගෝඨාභය ජනාධිපතිවරයා රටින් පිටවුණා. නව ජනාධිපතිවරයෙක් පත්වුණා. නමුත් රටේ ප්‍රශ්න එතැනමයි.

රනිල් වික්‍රමසිංහ තෙල් ප්‍රශ්නය විසඳුවා, පෝලිම් නැති කළා කියලා ඇතැමුන් පවසනවා?

අද තෙල් පෝලිම් නැති බව ඇත්ත. ඒකට හේතුව තෙල් අර්බුදයට විසඳුමක් ලැබීම නොවෙයි. තෙල් පෝලිම් නැතිවුණේ ප්‍රධාන කාරණා 2ක් නිසයි. රටේ තෙල් ඉල්ලුම අඩුවීම සහ සපයන තෙල් ටික ගහගන්නත් මිනිස්සු අතේ සල්ලි නැතිවීම. මේ කාරණා දෙක නිසයි පෝලිම් නැත්තේ. අනෙක් ප්‍රශ්නය මේ විධියටම යටපත් වෙලයි තිබෙන්නේ. ඒ හැර කිසිම ප්‍රශ්නයක් විසඳිලා නැහැ.

අරගලයට සම්බන්ධ වුණු යාවජීව සක්‍රිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ මතය කුමක්ද?

ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා අපේ පක්‍ෂ 10ට ආරාධනා කළ වෙලාවේ මම එතුමාට ඍජුවම කියපු කාරණා 02ක් තිබුණා. මම එතුමාට පැවැසුවා ඔබ ඔතැන සිටින්නේ මේ ජන අරගලයේ ප්‍රතිඵලයක් විධියට බව. ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට පෙර අරගලයට සහයෝගය දෙන බවයි පැවැසුවේ. නමුත් ඔහු ජනාධිපති බවට පත්වීමෙන් පසුව හැසිරුණේ අරගලය චප්ප කරන අදහසින්. ඇතැම් විට එය ජනාධිපති වීමට පෙර දුන්නු පොරොන්දුවක් විය හැකියි. මම එතුමාට පැවැසුවා ඔබතුමා අරගලය චප්ප කරන්න හදන්න එපා. අරගලයට හේතුවුණු කාරණා චප්ප කිරීමයි විය යුත්තේ කියලා.

මන්ත්‍රි ගෙවල් ගිනි තබපු අරගලකරුවන්ට මම රිටර්න් එක දෙන්නම් කියන පොරොන්දුව මතද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ?

පාර්ලිමේන්තු සංයුතිය තුළ මන්ත්‍රිවරු 125-130ක පමණ ප්‍රමාණයක් අපි ඉදිරිපත් කරපු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාට ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට තිබුණා. නමුත් එතැන් සිට ගතවුණු පැය 24 තළ විශාල පරිවර්තන රැසක් සිදුවුණා.

125-130 පමණ බලාපොරොත්තු වුණත් අවසානයේ ලැබුණේ ඡන්ද 82යි. ඒ කියන්නේ මුලින්ම අපිට සහයෝගය දෙයි කියලා  හිතපු මන්ත්‍රිවරු යම් ප්‍රමාණයක් පැහැදිලිවම රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නා. ඒ ඇයි කියන කාරණාව ඉතිහාසය මඟින් විනිශ්චය කරාවි.

කෙසේ හෝ මේ මොහොතේ ජනාධිපති බවට පත්ව සිටින්නේ රනිල් වික්‍රමසිංහ. ඔහුට මේ මොහොතේ ලොකු අභියෝගයක් තිබෙනවා. අපිට පෙනෙනවා ඔහු ඇතැම් කණ්ඩායම්වල සිරකරුවෙක් බවට පත්ව සිටින බව. එයින් ගැලවීම තමයි ඔහුට තිබෙන විශාලම අභියෝගය. එතැනින් නොගැලවුණොත් මේ රට ඉදිරියට ගෙනයන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඇතැම් කණ්ඩායම් කියලා හඟවන්නේ කාවද?

පැහැදිලිවම මම කියන්නේ ශ්‍රී ල.පො.ජ. පෙරමුණේ ඇතැම් කණ්ඩායම් ගැනයි. හොඳම උදාහරණය තමයි හදිසි නීති විවාදය. එදා ලැබුණු ඡන්ද 134 එයට ලැබුණේ නැහැ. එළිපිට 113ක් අද වන විට නැහැ. ඒ නිසා යම් කණ්ඩායමක් ඔහුව නතු කරගෙන පාලනය කරන්න උත්සාහ දරනවා. මොකද ඔහුට පාර්ලිමේන්තුවේ සිටින්නෙත් එක් මන්ත්‍රිවරයයි.

ඔබ නොකියා කියන්නේ රාජපක්‍ෂවරුන්ගේ බලපෑමක් තිබෙනවා කියන එකද?

එසේ නොවන්නත් බැරි නැහැ. රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළේ රාජපක්‍ෂවරුන්ගේ ආශීර්වාදය මත. ඒකේ හංගන්න දෙයක් නැහැ.

විසර්ජන කෙටුම්පතෙන් මුදල් වෙන් කොට තිබෙන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් අප්‍රසාදය පළ කරන බව පෙනෙනවා?

මේක විසර්ජන කෙටුම්පතක්. මෙය අය-වැය යෝජනාවක් බවට පත්වෙනවා නම් ඉදිරි කාලයේ වෙනත් අංශයන් හා යෝජනාවන් වෙන් කරන්න වෙනවා. අපි ජනාධිපතිතුමාට පැවැසුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් එම ආණ්ඩුව හදන ගමන් එම යෝජනා ඉදිරිපත් කරන්න කියලයි. නමුත් එවැන්නකුත් පෙනෙන්නට නැහැ. සර්වපාක්‍ෂික කෙසේ වෙතත් ඒකපාර්ශ්වික දේවල් තමයි දැන් සිද්ධ වෙන්නේ.

විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය මිනිස්සු කුපිත කරවන, කබලෙන් ළිපට ඇද දමන තීරණයක් නොවෙයිද?

විදුලි බල මණ්ඩලය ආරක්‍ෂා කරන්න නම් විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලි ඉන්ජිනේරුවරුන්ගෙන් ඉල්ලීමක් තිබුණු බවත් එයට කිසිවිටෙක තමා ඇමැතිකමේ සිටින තෙක් ඉඩක් දෙන්නේ නැති බවත් ඇමැතිවරයා පැවැසුවා. නමුත් මේ වන විට විදුලි බිල වැඩි කරලා. මේක ඉතාම බරපතළ ඛේදනීය කාරණාවක්. විදුලි බිල යම් ප්‍රමාණයකින් වැඩි කළ යුතු බව ඇත්ත. නමුත් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ මේ හේතුව නිසාම පමණක් නෙවෙයි. අනෙක් කාරණා ගැනත් සොයා බැලීමක් කොට පිළියම් යෙදිය යුතුයි, ජනතාව මතම බර නොපටවා.

වතුකරයේ අහිංසක ජනතාවට, පැල්පත්වාසී ජනතාවට මේ බර දරාගන්න අපහසුයි. ඔවුන්ගේ දෛනික විදුලි පරිභෝජනය ඉතාම අඩු අගයකයි තිබෙන්නේ. මේ මිල වැඩිවීමත් සමඟ 264%ක් ඔවුන්ගේ විදුලි බිල වැඩිවෙනවා. මේ තත්ත්වයට වහාම සංශෝධන ගේන්න අවශ්‍යයි. සහන ලබාදිය යුතුයි. ලාභ ලබන, වැඩි ආදායම් උපයන සමාගම් සහ ආයතනවලට මෙය විශාල ගැටලුවක් නොවෙන්න පුළුවන්. ගිය ජූලි මාසය වන විට මෙරට ආහාර උද්ධමනය 90%ක්. අත්‍යවශ්‍ය ආහාර උද්ධමනය 150%ක්. මෙය මහ දැවැන්ත කඩාවැටීමක්. මෙවැනි ඛේදනීය තත්ත්වයන් අතරතුර විදුලි, ජල ගාස්තු වැඩි වෙනවා කියන්නේ ජනතාවට කරන විශාල අසාධාරණයක්.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූපය – මංජුල දයාවංශ