ගෝඨාභය සිංගප්පූරුවෙන් තායිලන්තයට යැව්ව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ සැඟවුණු රහස්

0
378

රනිල් මුරුංගා අත්තේ තබා ස්තෝත්‍ර ගායනා කරන වජිර

එජාපයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයකට පත්ව ශීඝ්‍රගාමීව ඉහළ දේශපාලන තනතුරු ලබා ගැනීමට වාසනාව තිබූ රනිල් දැන් රටේ ජනාධිපතිය. ඔහු එම තනතුරට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරයට පත් වූයේ එජාප සභාපති වජිර අබේවර්ධනයි. ඔහුත් රනිල් මෙන් ශීඝ්‍රයෙන් දේශපාලන තනතුරු ලබා ගන්නට වාසනාව තිබෙන අයකුදැයි දන්නේ නැත. තව සතියක් දෙකක් ඇතුළත පත්කරන්නට යන නව කැබිනට් මණ්ඩලයේ වජිරට හිමිවන්නේ මොන ඇමැති ධුරය දැයි කියන්නටද දන්නේ නැත.

වජිර මේ දිනවල ඔහුගේ දේශපාලන න්‍යායපත්‍රයේ ප්‍රධානම විෂය කරගෙන තිබෙන්නේ කලින් මෙන් රනිල් මුරුංගා අත්තේ තබමින් ස්තෝත්‍ර කීමයි. ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ පැවැත්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ ඉහළින් වර්ණනා කරන වජිර පසුගිය අඟහරුවාදා එම ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී, පෙර සූදානමක් ලෙස සජබ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රි පිරිසක් මුණගැසුණේ පාර්ලිමේන්තු ලොබියේදීය. විවාදය ආරම්භ වීමට පෙර එම මන්ත්‍රි පිරිස සමඟ සතුටු සාමීචියේ යෙදුණු වජිර කියා සිටියේ රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීම සඳහා පුළුල් හා විධිමත් වැඩපිළිවෙළක් ජනාධිපති විසින් රට හමුවේ තබා ඇති මේ අවස්ථාවේ එම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවා රට මුහුණ පා ඇති අභියෝගය ජයග්‍රහණය කරවීම මහජන නියෝජිතයන් වශයෙන් අපි හැමෝගේම වගකීම වන බවයි. ඒ නිසා ජනාධිපතිතුමාගේ එම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට එම මන්ත්‍රිවරුන්ගේ සහයෝගය  අවශ්‍ය බව කියන්නට පටන් ගත්තේය.

සජබ බහුතර මන්ත්‍රි පිරිසක් ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගය කරමින් සිටින අවස්ථාවක එයින් වාසිය ලබාගන්නට උත්සාහ කළ වජිරට එම මන්ත්‍රි පිරිස ජනාධිපතිගේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන බව පැවැසීය. සමගි ජන බලවේගයේ බහුතර මන්ත්‍රි පිරිසක් ඒ මතයේ සිටින බවද ඔවුහු වජිරට පැවැසූහ. සිස්ටම් චේන්ජ් එකට වෙලාව මේක. සාමාන්‍යයෙන් දේශපාලන ඩීල්වලට දක්ෂයකු බව පැවැසෙන වජිර මෙහිදී එම මන්ත්‍රි පිරිසට දේශපාලන දේශනයක්ද කළේය. “රට පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ගැනීමට නම් සියලුම දෙනා එකට එක්ව පොදු ප්‍රතිපත්තියකින් වැඩ කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වැනි වගන්තිය අනුව රාජ්‍ය ප්‍රතිපත්තිය හා මූලධර්ම කියන පිටු දෙක වෙනස් කරන්න දැන් කාලේ හරි. එතකොට එක එක්කෙනාට ඕනෑ විධියට දේශපාලන පක්ෂවලට ඕනෑ විධියට ප්‍රතිපත්ති මාරු කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. මෙන්න මේ වැරැද්ද දැකලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ අපි වසර 25කට වෙනස් කරන්න බැරි ප්‍රතිපත්ති රාමුවක් හදමු කියලා.

එහෙනම් ශ්‍රී  ලංකාවට දැන් අවශ්‍ය වෙලා තියෙනවා “සිස්ටම් චේන්ජ්” එකක්. තරුණයෝ කියපු විධියට ඒ සිස්ටම් චේන්ජ් එක තමයි දේශපාලනඥයන්ගේ බොරු හඬ නවත්තලා රටට පිළිගත හැකි ක්‍රියාදාමයට, එය ක්‍රියාත්මක කළොත් තමයි අපිට දැන් වැරැදිලා තියෙන තැන නිවැරැදි කරන්න පුළුවන් වන්නේයි වජිර මන්ත්‍රි පිරිසට කීවේය.

ජූලි 9 සිදුවීම්වල මන්ත්‍රි වින්දිතයන්ට සහන

පසුගිය 8 වැනිදා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසු, එහි මෙවැනි රැස්වීමක් පැවැතියේ මාස තුනකට පසුව වීමද විශේෂත්වයකි. කණ්ඩායම් රැස්වීම පැවැතියේ ජනාධිපතිගේ හා අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි.

අරගලකරුවන්ගේ නීච පහරදීමකට ලක්ව මියගිය පොහොට්ටු මන්ත්‍රි අමරකීර්ති මහතාගේ ඝාතනය සිදුව තුන්මාසයේ පින්කම යෙදී තිබුණේද මෙදින බැවින් ප්‍රසන්න රණතුංග මහතා එය සිහිපත් කළේය. ඒ වන විටත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විසිදෙනකු පමණ එම පින්කමට සහභාගි වන්නට පොළොන්නරුවට ගොස් සිටි බවද ප්‍රසන්න මෙහිදී ප්‍රකාශ කළේය. අමරකීර්ති මන්ත්‍රිවරයාගේ දු–ඛදායක මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු බවත්, එම ඝාතනයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත්. මන්ත්‍රිවරුන් ලෙස ඔහු වෙනුවෙන් යම් දායකත්වයක් දැක්වීමේ ඇති අවශ්‍යතාව ගැනද ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කරුණු දක්වා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මෙම සිද්ධිය මෙන්ම මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට හා දේපළවලට හානි කිරීම ගැන අදහස් දක්වමින් පීඩාවට පත්වූ අයට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරගෙන යන බවත්, දැනටමත් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට බටගොඩ කමිටුව පත්කර තිබෙන බවත්, මන්ත්‍රිවරුන්ගේ පමණක් නොව මේ සිද්ධිවලදී වින්දිතයන් ලෙස හඳුනාගෙන තිබෙන අනෙක් අයටත් සහන සැලසීමට අවශ්‍ය කටයුතු යොදන බවත් පවසා තිබේ.

අමරකීර්ති ඝාතනයට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

අමරකීර්ති මන්ත්‍රිවරයා ඝාතනය ගැන ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත මන්ත්‍රිවරයා කියා තිබෙන්නේ මෙම ඝාතනය ඉතා බරපතළ සිද්ධියක් බැවින් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත්කොට නඩු විභාගය පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතු බවයි.

මධුර විතානගේ මන්ත්‍රිවරයා එය අනුමත කරමින් එම කටයුත්ත ඉක්මනින් සිදුවිය යුතු බව පෙන්වා දී තිබේ.

මේ අතර අමරකීර්ති මන්ත්‍රිවරයාගේ ඝාතනය නිට්ටඹුවේදී සිදුකළ අයට මෙන්ම ඝාතනය සිදුවීමට ඉඩදුන් අයට එරෙහිවද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ පෙන්නා දී තිබේ. නිට්ටඹුවේ ප්‍රධාන පෙළේ රෙදි සාප්පුවක ඉහළ මාලයේ කාමරයකට ආරක්‍ෂාව සඳහා ගෙනගොස් අමරකීර්ති මන්ත්‍රිවරයා රඳවාගෙන පොලිසිය ඇතුළු අදාළ අංශවලට හා පුද්ගලයන්ට දැනුම් දුන්නත්, මන්ත්‍රිවරයාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට පැය භාගයක් ගතවනතුරුත් කිසිවකු නොපැමිණීම හා අවශ්‍ය ආරක්‍ෂක කටයුතු නොකිරීම ගැන දැඩි වේදනාවකින් කතා කළ මන්ත්‍රිවරයා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ගැනද කරුණු දක්වා ඇත.

චීන නෞකාවේ හබය දුරදිග  යයිද

චීන නෞකාව ශ්‍රී  ලංකාවට පැමිණීම සම්බන්ධව තිබෙන ප්‍රශ්නය ගැන සරත් වීරසේකර මන්ත්‍රිවරයා මතුකළ කාරණය ගැන විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර කියා තිබෙන්නේ නොබැඳි පිළිවෙතට අනුව අවශ්‍ය කටයුතු කරන බවයි.

මේ වන විට තෙල් පෝලිම අඩු කිරීමත්, රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමත් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් කුමාර මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාටත්, කංචන විජේසේකර ඇමැතිවරයාටත් විශේෂ ස්තූතියක් පළකොට තිබේ. තෙල් පෝලිම් තිබෙන තැන්වලින් මන්ත්‍රිවරුන් ලෙස අපි ගියේ මරණ බියෙන්. අද ඒ තත්ත්වය පහව ගිහින් තියෙනවා. අද තෙල් ගහන්න එන පෝලිම් කෙටි වෙලා. ඒ තත්ත්වය රටේ ඇති කිරීම ගැන අපි ජනාධිපතිතුමාටත් බලශක්ති ඇමැතිතුමාටත් විශේෂ ස්තූතියක් පුදකළ යුතු බව ජගත් කුමාර මන්ත්‍රිවරයා පවසද්දී කණ්ඩායම් රැස්වීමේ සිටි මන්ත්‍රි පිරිස අත්පොළසන් දුන්හ.

රනිල්ගේ ගෙට ගිනි තිබ්බේ දිවුරුම් දීම වළක්වන්නලු

සිය පෞද්ගලික නිවෙසට ගිනි තැබීම ගැන විශේෂ සඳහනක් කළ ජනාධිපතිවරයා මගේ නිවෙසට ගිනි තිබ්බේ මම අගමැති ලෙස වැඩ භාර ගැනීම හා වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීම වළක්වන්නයි. මම ඒ අභියෝගය භාර ගත්තා. දැන් ජනතාව ඉල්ලන්නේ සර්වපාක්‍ෂික ආණ්ඩුවක්. ඒ සඳහා සියලු පක්‍ෂවලට මම ආරාධනා කරනවා ඒ සඳහා එකතුවෙන්න කියලා. පක්‍ෂ කීපයක් අතර සුළු මතභේද තියෙනවා. ඊළඟ සතිය ඇතුළත සාකච්ඡා අවසන් කර ඊළඟ වැඩපිළිවෙළ ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

සර්වපාක්‍ෂික ආණ්ඩුව ඇති කරන්න බැරිනම්, සමහරුන් ඇමැති තනතුරු නොගෙන උදවු කරන්න කැමැතියි. එහෙනම්  සම්පූර්ණ පාර්ලිමේන්තුව සර්වපාක්‍ෂික පාලනයක් ඇති කරමුයි ජනාධිපතිවරයා මෙහිදී පැවැසුවේය. ඒ සඳහා සියලු පක්‍ෂවල මන්ත්‍රිවරුන්ට ජනාධිපතිවරයා විවෘත ආරාධනාවක්ද කළේය. රටේ ජනතාව පත්කළ නියෝජිතයන් එකතුවී ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ඕනෑයි ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයාගේ කතාව අවසන් වන විටම නැඟී සිටි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අපි සර්වපාක්‍ෂික ආණ්ඩුවට එනවා. අනෙක් පක්‍ෂවල අය එකතු කර ගන්න අපි එකඟයි කීවේය.

පලාගිය ජනපති සිංගප්පූරුවේ දින 14ක්

අරගලකරුවන් පසුගිය ජූලි 09 වැනිදා ජනාධිපති මන්දිරයට කඩාවැදී එම ගොඩනැඟිල්ල අත්පත් කර ගැනීමත් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රජ මැඳුරෙන් පැනයෑම මේ වන විට ශ්‍රී  ලාංකිකයන්ට පුවතක් නොවේ. කිසිවකුට සොයා ගන්නට බැරි ස්ථානයක රහසේ සැඟවී සිටි ගෝඨාභය ඇමරිකාවට හෝ ඉන්දියාවට යෑමට අවසර නොලද තැන ඔහු ජූලි 11 වැනිදා ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගියේය. ඔහුට එහි නවාතැන් ගැනීමට හැකිවූයේ දින දෙකකටත් අඩු කාලයකි. එසේ වූයේ එරට ජන කොටස් මෙන්ම එරට වෙසෙන ශ්‍රී  ලාංකිකයන්ද ඔහුගේ පැමිණීමට විරෝධය පෑම නිසාය. ඒ නිසා මාලදිවයින රජයේද මැදිහත්වීම මත ඔහු විශේෂ ගුවන් යානයකින් ජූලි 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුවට පැමිණියේය.

ඔහුට සිංගප්පූරුවේ නවාතැන් ගැනීමට අවසර ලැබුණේ දින 14ක කාලයක් පමණි. ඒ කාලය තුළ ඔහුට නවාතැන් ගන්නට වෙනත් රටක් සොයා ගන්නට වූ අපහසුතාවය මැද සිංගප්පූරුව තවත් දින 14කට ඔහුගේ වීසා කාලය දීර්ඝ කළේය. එම කාලයට අමතරව තවදුරටත් ඔහු රඳවා ගැනීමට සිංගප්පූරුව කැමැත්තක් නොදැක්වූයේ ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. සිංගප්පූරුවේ දෙමළ ජනතාව වැඩිපුර ජීවත් වන රටක් බැවින් ඔහුට දෙමළ ඩයස්පෝරාවෙන් අනතුරක් වන්නට ඉඩ ඇති බවට එරට ආරක්‍ෂක අංශවලින් තොරතුරු ලැබී තිබුණු බවටද වාර්තා විය.

හිටපු ජනපතිට රටක් සොයා දෙන්න රනිල් අත ගසයි

මෙවැනි තත්ත්වයක් යටතේ ගෝඨාට වෙනත් නවාතැන් ස්ථානයක් සොයාදීමට ශ්‍රී  ලංකා ආණ්ඩුවටද මැදිහත් වීමට සිදුවිය. ගෝඨාට තායිලන්තයේ නවාතැනක් ලබා දෙන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහද මැදිහත් වූ බවට වාර්තා වෙයි. ඒ තත්ත්වය මත සිංගප්පූරුවෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ මේ මස 14 වැනිදාටය. ඊට පෙර තායිලන්ත ආණ්ඩුව ගෝඨාට එරට තාවකාලික නවාතැන් ලබාදීමට එකඟ වීමට අනුව ඔහු බැංකොක් වේලාවෙන් 11 වැනිදා රාත්‍රි 8.00ට පමණ Don Mueong ගුවන්තොටුපොළෙන් තායිලන්තයට පැමිණියේය.

වෙනත් රටක ස්ථිර පදිංචිය ලැබෙන තෙක් තායිලන්තයේ රැඳී සිටීමට ඔහුට අවසර ලැබිණි. එසේ අවසරය දී ඇත්තේ තායිලන්ත අගමැති Prayut Chan Ocha විසිනි.

තායිලන්තයේ කොන්දේසි පිට දින 90ක්

ඒ අනුව දින 90ක කාලයක් එරට රැඳී සිටීමට ඔහුට අවසර ලැබිණි. එසේ අවසර ලැබුණේ කොන්දේසිවලට යටත්වය. ගෝඨා තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ දේශපාලනය නොකරන බවට තායිලන්ත රජයට පොරොන්දුවීම එක් ප්‍රධාන කොන්දේසියකි. එසේම තායිලන්තයට ප්‍රශ්නයක් ඇති නොවන විධියට හැසිරෙන්නට පොරොන්දු වීම තවත් කොන්දේසියකි. රැඳී සිටින කාලය තුළ ඔහුට පූර්ණ රැකවරණය ලබාදීමටද එරට පොරොන්දු වී තිබේ.

විශේෂයෙන් ගෝඨාට දින 90ක කාලයක් තායිලන්තයේ විසීමට අවසරය දී තිබෙන්නේ ඔහුට රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමිව තිබීම නිසාය.

විදේශ මාධ්‍ය පවසන අන්දමට ගෝඨාභයට මෙවැනි අවසරයක් ලැබී තිබෙන්නේ ඔහු තායිලන්තයෙන් කළ ඉල්ලීමකට අනුවය. ශ්‍රී  ලංකාව හා තායිලන්තය අතර තිබූ දිගුකාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන මේ ප්‍රතිචාර දක්වා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයෙන් දේශපාලන රැකවරණයක් ඉල්ලා නැති බවද වාර්තා වේ.

ගෝඨා බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගන්න අවසර ඉල්ලයි

ආරංචි මාර්ග සඳහන් කරන්නේ තායිලන්තයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානවලට යෑමට ඔහු අවසර ඉල්ලා තිබෙන බවය. මාස තුනක කාලය තුළ ඔහුට බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගන්නට වාසනාව ලැබෙන්නේ නම් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ හා සිදුකළ වැරැදිවලට පව් සමාකර ගැනීමට අවස්ථාවක් ලැබේ නම් එය පූරුවේ කළ පිනක් ලෙස සලකන්නට පුළුවන.

ගෝඨාභයගේ තායිලන්ත ගමනට බී.බී.සී. ප්‍රවෘත්ති සේවය විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි.

මාසයක් තරම් කාලයක් තුළදී රටවල් තුනක නවාතැන් ගන්නට සිදුවූ ගෝඨාගේ අවසන් නවාතැන ශ්‍රී  ලංකාව වන්නට බැරි නැත. මෙරට දැනට පවතින දේශපාලන තත්ත්වය සමනය වන විට ඔහුට යළි මවුබිමට පැමිණ සාමකාමීව ජීවත්වන්නට අවස්ථාවක් සැලසේවායි පතමු.

ආණ්ඩුවට යන්න බලාගෙන ඉන්න සජබ මන්ත්‍රිවරු

සමගි ජන බලවේගය මන්ත්‍රිවරුන් පිරිසක් සර්වපාක්‍ෂික ආණ්ඩුවට එකතුවී අමාත්‍ය ධුර ලබා ගන්නට සූදානමින් සිටින බවට පසුගිය දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ ලොකු ප්‍රචාරයක් පැතිර ගියත්, පසුගිය 09 වැනිදා එම පක්‍ෂයේ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එසේ යන බවට නම් ප්‍රචාරය වී තිබූ මන්ත්‍රිවරුන්ගෙන් එක් අයකු තමන් එවැනි තීරණයක් නොගන්නා බවට ඍජුවම ප්‍රකාශ කළේය.

මේ රැස්වීමේදී සර්වපාක්‍ෂික ආණ්ඩුව ගැන යම් තීරණයක් ගනු ඇතැයි මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු දැඩි උනන්දුවකින් සිටියත්, ආරම්භයේ සිට ටික වේලාවක් යන තුරු බොහෝ මන්ත්‍රිවරුන් සිටියේ නිහඬවය. පක්‍ෂ නායකයා පවතින දේශපාලනයට අදාළ යම් කරුණු දැක්වීමක් කළද ඔහුද සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ගැන වචනයක්වත් කීවේ නැත.

එවැනි තත්ත්වයක් රැස්වීම තුළ පවතිද්දී එකවරම කට අවදි කළ හර්ෂ ද සිල්වා “හැම තැනම කථා වෙනවා මම ආණ්ඩුවට යන්න හදනවා කියලා. මගේ වචනය විශ්වාස කරන්න. මම ආණ්ඩුවට යන්නේ නෑ” යි ස්ථිරවම මන්ත්‍රි කණ්ඩායමට ප්‍රකාශ කළේය. “මම ආර්ථික කමිටුවේ කටයුතු කරගෙන ඉන්නම් යැයි ඔහු ආණ්ඩුව තුළ කරන්න යන්නේ කුමක්දැයි පැහැදිලි කළේය.

වෙනදා මෙන් නොව සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තලතා අතුකෝරළ හැර අනෙකුත් මන්ත්‍රිවරු පැමිණ සිටියහ.

ආණ්ඩුවට එකතු නොවන බව හර්ෂ කියයි

ආණ්ඩුවට එක්වීමට ආරාධනා ලැබ ඇති මන්ත්‍රිවරුන් කියන්නේ මොකක්දැයි දැනගැනීමට සියලු දෙනාටම අවශ්‍යව තිබිණි. විහිළු තහළු කතා අතර කෙළින්ම මාතෘකාවට බැස්සේ හර්ෂයි. ඔහු කීවේ මගේ කථාව විශ්වාස කරන්න. මම ආණ්ඩුවට යන්නේ නෑ කියායි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි කබීර් හෂීම් පාඩු ලබන රාජ්‍ය ආයතන වහාම පෞද්ගලීකරණය කළ යුතු බවත් එසේ නැතිනම් රටට අනාගතයක් නෑයි කීවේ තිස්ස අත්තනායකගේ පැනයට පිළිතුරු දෙමිනි. අපේ ප්‍රතිපත්තිය පාඩු ලබන ආයතන, පාඩු ලබන රාජ්‍ය ආයතන කෙසේ හෝ ලාභ ලබන තැනකට ගෙනැවිත් ආණ්ඩුවේ වියදම අඩු කිරීම යැයි කබීර් හෂීම් පැවැසුවේ දීර්ඝ විශ්ලේෂණයක් ද කරමිනි.

තිස්ස අත්තනායක කබීර්ගේ කථාවට විරෝධය දැක්වීය. ලංකාවේ ඔය කියන සමාජවාදයක් නෑ. ලෝකය වෙනස් වෙනවා සමාජවාදයෙන් දිනපු රටක් නෑ කියායි.

දිගම්බරම්ලා ආණ්ඩුවට එකතු වෙන කතා

වතු දෙමළ ජනතාව නියෝජනය කරන මනෝ ගනේෂන්, දිගම්බරම් හා උදය කුමාර් සර්වපාක්‍ෂික ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවත්, මේ වනවිට එම සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් වාර්තා වේ.

යම් ලෙසකින් කබීර් සර්වපාක්‍ෂික ආණ්ඩුවට එක්වන්නේ නම් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනකුද ආණ්ඩුවට එක්වන්නට සූදානමින් සිටින බවක්ද වාර්තා වේ. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු, පොළොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරයකුද ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා පවත්වමින් සිටින බවටද ආරංචි පැතිර යයි. සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකුද සර්වපාක්‍ෂික ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවක්ද දැන ගන්නට ඇත.

කණ්ඩායම් රැස්වීමේදී කිරිඇල්ල මන්ත්‍රිවරයා කියා තිබෙන්නේ අපි විපක්‍ෂයේම ඉන්න ඕනෑ කියායි. මුලදී කටකතා පැවැතියේ සජබෙන් මන්ත්‍රිවරුන් 8 දෙනකු සර්වපාක්‍ෂික ආණ්ඩුවට එකතු වෙන්නට සිටින බවයි. දැන් ඒ සංඛ්‍යාව පහළට වැටී තිබේ.

සර්වපාක්ෂික ආණ්ඩුවක්ද වැඩපිළිවෙළක්ද

රට ගොඩනඟන සර්වපාක්ෂික ඒකාබද්ධ වැඩසටහනට පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ යුතු විධායක කමිටු ක්‍රමයක් රජයට යෝජනා කිරීමට ඒකමතිකව තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. මේ හරහා රට ගොඩනැඟීම වෙනුවෙන් සහයෝගය දෙන්නට තීන්දු කළ බවද ඔහු කීවේය.

සජබ නායකයා කියන්නේ තමා හා තම පක්ෂය සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු නොවන බව හා එම ආණ්ඩුවේ ඇමැති තනතුරු නොගන්නා බවයි.

අද පවතින්නේ බංකොලොත් භාවයට පත් ශ්‍රී  ලංකාවකි. ඒ බව මුළු ලෝකයටම ප්‍රකාශ කර තිබේ. මේ අවස්ථාවේ තමන්ගේ පක්ෂ දේශපාලනය තවදුරටත් කරගෙන යනවාද නැත්නම් රටත් ජනතාවත් වැටී සිටින මේ අනතුරෙන් බේරාගෙන අනාගත පරපුරට සංවර්ධනය වූ අගහිඟකම්වලින් තොර රටක ජීවත්වීමට පරිසරය සකස් කර දෙනවාදැයි  රටට ජනතාවට ආදරය කරන දේශපාලනඥයන් හදවතට එකඟ තීරණයක් ගත යුතුව තිබේ. මේ අවස්ථාවේ කිසිවකුට ආඩපාලි කියන්නට අපට අවශ්‍යතාවක් නැත.

රට මේ තරම් බරපතළ තත්ත්වයකට වැටුණේ පසුගිය ආණ්ඩුව ගෙනගිය වැරැදි ප්‍රතිපත්ති නිසා ඒක වහන්න කාටවත් බෑ. ඒකට මේ රටේ ඉන්න හැමෝම වගකියන්න ඕනෑ නෑයි රාජිත මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පවසා තිබිණි.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර     සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කීවේ ජනාධිපතිවරයා කතා කරලා තිබෙන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සම්බන්ධ වෙන්න කියලා. කවුරුත් මතක තියාගන්න ඕනෑ. ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවෙයි. මේ වෙලාවේ තනතුරු අරගෙන කරන නාඩගම්වලට රටේ මිනිස්සු කැමැති නෑ කියායි.

පොලිසියද, පොලීසියද පොලිස්පතිට ප්‍රශ්නයක්

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගිය සතියේ පොලිස්පතිවරයා ප්‍රමුඛ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරි පිරිසක් හමුවී පොලිසියේ ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කර තිබේ.

මේ සාකච්ඡාවේදී ඇමැතිවරයා පොලිස්පති වෙත ඔහුවත් අපේක්ෂා නොකළ ප්‍රශ්නයක් යොමු කර තිබේ. ඇමැතිවරයාගේ ප්‍රශ්නය වූයේ හරි වචනය පොලිසියද නැත්නම් පොලීසියද යන්නයි. පොලිස්පතිගේ පිළිතුර වූයේ හරි වචනය “පොලිසිය” යන්නයි.

ටිරාන් අලස් ඇමැතිවරයා එහෙනම් බලන්නකෝ ඔයගොල්ලන්ගේ බැජ් එකේ තියෙන්නේ මොකක්ද කියලා. බැජ් එකේ තියෙන්නේ “පොලීසිය” කියලායි පෙන්නා දුන්නේය. එම තත්ත්වය පෙන්නා දුන් ඇමැතිවරයා අපි ඒ වගේ වැරැදිත් හදාගන්න ඕනෑයි කීවේය.

ඉදිරියේ එන 159 වැනි පොලිස් සංවත්සරය ගැනද මතක් කළ ඇමැතිවරයා එය චාමෙට පවත්වන්න කටයුතු යොදන්නැයි උපදෙස් දෙමින්, පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නිලධාරීන්ට අවශ්‍ය ආධාර උපකාර කරන ලෙසත් නඩත්තු නොකිරීම නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන පොලිස් වාහන නඩත්තු සඳහා යොදවන ලෙසත් දැනුම්දීමත් කළේය.

රනිල්ගේ නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂවරු නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කරන්නට යන නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ පවුලේ කිසිවකු පත් නොකරන බව රනිල්ගේ පාර්ශ්වයේ ප්‍රබලයෙක් කැබිනට් එකට පැවැසුවේය.

පත්කරන්නට යන කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන්නේ කවුරුන්දැයි කිසිවකුට දැනගන්නට නොලැබෙන ලෙසට රහස ආරක්ෂා කර ගන්නට රනිල් කටයුතු කරමින් සිටියදී රාජපක්ෂ කෙනකු කැබිනට් මණ්ඩලයට පත් නොකරන බවට තොරතුරක් පොහොට්ටුවේ මන්ත්‍රිවරයකුට ලැබී තිබේ. ඔහු පොහොට්ටුුවේ තවත් මන්ත්‍රිවරුන් කීපදෙනකු සමඟ නාමල් රාජපක්ෂ හමුවන්නට ගොස් මේ තොරතුරු ඔහුට දැනුම් දී ඇත.

ඇමැතිකම් ඉල්ලා පස්සෙන් යන්න බැරි බව නාමල් කියයි

ඔවුන් පවසා තිබෙන්නේ ඇමැති තනතුරක් නොලැබුණහොත් මේ ආණ්ඩුව විසුරුවන තුරු ඔහුට මන්ත්‍රිවරයකු ලෙස සිටින්නට සිදුවන බවත් පැවැත්වෙන මැතිවරණයකදී අසුනක් දිනා ගන්නට බැරි වුණොත් දේශපාලන ඉදිරිය අවිනිශ්චිත විය හැකි බවත්ය.

ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් ඇමැති තනතුරක් ඉල්ලා මට බලපෑම් කරන්නත් බෑයි නාමල් පිළිතුරු දුන් බව දැනගන්නට ඇත.

රට දිනවූ අහිංසා දැරිය  රැවටූ වංචනිකයෝ

ශ්‍රී ලංකාව ‍ෙදාම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය  ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය සඳහා පැමිණෙන්නට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.

ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය.  ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මඟහරවා නෙත්මිව  නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමැතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමැති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස්  දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.

දුරකථන නිහඬ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබිණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවැසූ විට සියල්ලෝම කනගාටුවටත් කලකිරීමටත් පත්වූහ.

දිනේෂ් පාර වැරදී පරණ පුරුදු සභානායක කාර්යාලයට යයි 

දිනේෂ් ගුණවර්ධන වර්තමාන අග්‍රාමාත්‍යවරයායි. එහෙත් තවමත් සිතන්නේ ඔහු පාර්ලිමේන්තුවේ සභානායකවරයා කියායි. දිනේෂ් අගමැති පදවියට පත්වීමෙන් පසු ඔහු දැරූ සභානායක පදවිය දැන් ඔහුට හිමි නැත.

එසේ වුවත් පසුගිය දින කිහිපයේදී ඔහු පාර්ලිමේන්තුවේ සෝපානයෙන් දෙවැනි මහලේ පිහිටි අග්‍රමාත්‍ය කාර්යාලයට යද්දී, දින දෙක තුනක්ම සෝපානය නතර කෙළේ පළමුවැනි මහලේ ‍ෙදාරටුවේයි. දිනේෂ් සභානායක ලෙස කටයුතු කරද්දී ඔහුගේ කාර්යාලය පිහිටියේ පළමුවැනි මහලේයි. අගමැති ධුරය ලැබුණත් ඔහුට පරණ මතකය අමතක කරන්නට බැරි වූ වගයි.

එසේ සෝපානය පළමු මහලේ ‍ෙදාරටුව පිහිටි තැන නතර කර බහින්න හදද්දී අයියෝ වැරැදුණානේ. පරණ තැන තමයි මතකයේ තියෙන්නේ කියමින් දිනේෂ්ට දෙතුන් වරක්ම බහින තැන වැරැදී ඇත. 

මූ හොඳ එකා මූව රනිල් ලොක්කා ළඟට ඇදගෙන යනවා

පසුගිය බ්‍රහස්පතින්දා (11දා) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයට ගියේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි යාපා බණ්ඩාර පදිංචි නිල නිවෙස අසල ඔහු විසින් පවත්වාගෙන ගිය එළවළු කොරටුව බලන්නටය. බෝංචි, මෑ, වම්බටු, ගෝවා ඇතුළු එළවළු වර්ග කිහිපයක් එම කොරටුවේ සරුවට වැවී තිබිණි. කෘෂිකර්ම ඇමැතිට එම කොටුව බලන්න බණ්ඩාර මන්ත්‍රිවරයා ආරාධනා කළේ එහි වැවී තිබූ පළමු බෝග තොගය නෙළීමටය. බෝග නෙළා ඇමැති ඉදිරියට එද්දී චාමර සම්පත් දසනායක මන්ත්‍රිවරයා ඔහුගේ නිවෙසින් එළියට ආවේ උඩුකයද ආවරණය කර නොතිබියදී.

මහින්ද අමරවීර ඇමැතිවරයා දුටු චාමර සම්පත් ආ අයියා කොහොමද කියමින් බණ්ඩාර මන්ත්‍රි දෙසට හැරී “මූ හොඳ එකා වගා කරන්නත් දක්ෂයා. මම මූව රනිල් ලොක්කා ළඟට උස්සලා අරගෙන යන්න හැදුවා. ඒත් මේකා ආවේ නෑ. මම බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ හරි මූව රනිල් ළඟට ඇදගෙන යන්න. හැබැයි මූ අකැමැත්තකුත් නෑ. කියද්දී අසල සිටි අයකු ඔබතුමා දැන් හොඳ සතුටෙන්නේ ඉන්නේ කීය.

ඔව්. ඔව්. මම හොඳ සතුටින් තමයි ඉන්නේයි කී චාමර මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණාට පස්සේ එතුමාගේ ආණ්ඩුව යටතේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය යන්න ඕනෑයි මුලින්ම කිව්වේ මමයි. මම තමයි අඹ ගහට පොල්ල ගැහැව්වේ. හැබැයි ගෙඩි වැටෙනකොට නිමල් ඇමැතිතුමයි මහින්ද අමරවීර ඇමැතිතුමයි තමයි ඔඩොක්කු ඇල්ලුවේ. චාමරගේ ඒ කියමනට මහින්ද අමරවීර උත්තරයක් දුන්නේය. ඒකනේ චාමර කියන්නේ පොල්ල ගැහුවට ගෙඩි අල්ලන ක්‍රමයත් දැනගෙන තියෙන්න ඕනෑ.  

බෙනට් රූපසිංහ