ගාල්ලේ ජනප්‍රිය පාසලක දරුවන්ගේ නිරුවත පිටරටට විකුණපු උණවටුණේ කෝටිපති කපුවාගේ පැටිකිරිය

0
118

විවිධ උපක්‍රම භාවිත කරමින් නොයෙකුත් තෑගි බෝග ලබාදෙමින් කාන්තාවන් සහ බාල වයස්කාර දරුවන් රවටා තම පහත් ආශාවන් ඉටු කරගන්නා වංචනිකයන් ගැන අප කොතෙකුත් අසා ඇත්තෙමු. මොවුන් මෙම ක්‍රියාවලිය සිදුකරනුයේ අත දිගහැර මුදල් වියදම් කරමින් හොඳ දානපතියකු බවට රටටද පෙන්නුම් කරමිනි.

ඇතැම් දේශපාලනඥයන්ගේ සහ පොලිස් ලොක්කන්ගේ සෙවණේ රැඳෙමින් ඔවුන්ගේද වුවමනා එපාකම් ඉටු කරමින් මොවුන් කරන මෙවන් අසික්කිත ක්‍රියාදාමයන්වලින් රටට හෙළිවන්නේ සිද්ධීන් එකක් දෙකක් පමණි. මිල මුදල් හෝ වෙනත් සැප පහසුකම් ලබාදීම තුළින් ඔවුහු එම ක්‍රියාදාමයන් සමාජයට වසන් කරගෙන සිටිති.

මෙලෙස කෝටි ගණනින් මුදල් වියදම් කරමින් පාසල්වලට, විහාරස්ථානවලට විවිධ උදවු සිදු කරමින් තම හාස්කම් නොයෙකුත් රූපවාහිනි නාළිකා තුළින් සමාජයට පෙන්නුම් කරමින් ඉතා සූක්‍ෂ්ම ලෙස පාසල් දරුවන් අපයෝජනයට ලක් කළ දකුණේ ජනප්‍රිය සතර මහදේවාලයක ප්‍රධාන කපුවකු ඉකුත්දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් අතර ඒත් සමඟම ඔහු මෙතෙක් කල් සමාජයට හොඳ මුහුණක් පෙන්වමින් කළ පහත් ක්‍රියාවන් රැසක් මුළු රටටම හෙළිදරව් විණි. රහස් පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගැනීමත් සමඟ කලබල වූ දකුණේ ඇතැම් දේශපාලනඥයන් සහ දකුණු පළාතේ පොලිස් ලොක්කන් මෙම කපුවා බේරා ගැනීම සඳහා නොයෙක් බලපෑම් කළද රහස් පොලිස් නිලධාරීන් ඒ කිසිවකුටත් අවනත නොවී ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කරන්නට පියවර ගෙන තිබිණි.

මීට සතියකට පෙර දකුණු පළාතේ පාසල් කිහිපයක අගතියට පත් මවුපියන් පිරිසක් විසින් නිර්නාමිකව සකස් කරන ලද ලිපියක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. ඒ පිළිබඳ සිය අවධානය යොමු කළ එහි අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතා එම ලිපියේ සඳහන් කරුණු කාරණා එකින් එක පිරික්සන්නට විය. දරුවන් අපයෝජනයට ලක් කරන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එම ලිපියේ අඩංගු කරුණු කාරණාවල බරපතළ බව දත් අධ්‍යක්‍ෂවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාර අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනාරත්න මහතා වෙත භාර දෙන්නට විය. ඒ අනුව එම ලිපියේ ඇති කරුණු කාරණා නිරීක්‍ෂණය කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු හඳුනා ගැනෙනුයේ මෙම දරුවන් අපචාරයන් සඳහා ගොදුරු කරගෙන ඇත්තේ ‘වට්ස් ඇප්’ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ බවය.

ඒ ඔස්සේ විමර්ශන සිදු කරද්දී නිලධාරීන් අනාවරණය කර ගත්තේ ගාල්ලේ පිහිටි ප්‍රධාන පාසල් තුනක ළමයින් කිසියම් පුද්ගලයකු විසින් ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගෙන ඇති බවය.

ඉන් අනතුරුව එම විදුහල් තුනේ විදුහල්පතිවරුන් හමුවීමට රහස් පොලිස් කණ්ඩායමක් දකුණු පළාතට ගිය අතර එහිදී එම නිලධාරීන් විදුහල්පතිවරුන් සමඟ කළ සාකච්ඡාවේදී මෙම ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනුණු ජංගම දුරකථන කිහිපයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

එම ජංගම දුරකථන කොළඹට රැගෙන ආ නිලධාරීන් එම දුරකථන දත්ත ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරය හරහා කිසියම් විශ්ලේෂණයකට ලක්කරන්නට පියවර ගත්තේය.

කිසිවකු විසින් ජංගම දුරකථනයකට එවනු ලබන දත්ත ඉන් අනතුරුව මකා දැමුවද එම දත්ත යළි මතු කර ගැනීමේ ක්‍රමවේදයක් ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය සතුව පවතී. ඒ නවීන ක්‍රමවේදය උපයෝගි කරගනිමින් එම ජංගම දුරකථනවල දත්ත මතුකරගෙන නිරීක්‍ෂණය කරද්දී එම අංශයේ නිලධාරීන් හඳුනාගනු ලැබුවේ දකුණේ එක්තරා දේවාලයක කපුවකු ඔහුගේ ජංගම දුරකථනයේ ඇති වට්ස් ඇප් ක්‍රමවේදය ඔස්සේ මෙම පාසල් දරුවන්ට දුරකථන ඇමැතුම් දෙමින් විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබාගෙන ඇති බවය.

ඒ ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයේදී වැඩිදුරටත් හෙළිවන්නේ කපුවා විසින් දුරකථනය ඔස්සේ එම දරුවන් ලිංගික ක්‍රියාවල යෙදෙන ආකාරයේ හැසිරීම් සහිත දර්ශනද ගෙන්වා ගෙන ඇති බවය.

එම නිරුවත් දර්ශනවලට පෙනී සිටින දරුවන්ගේ සිරුර සහ අඟපසඟ කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමෙන් පසු ඔහුගේ සිතට එම දරුවා ගැන යම් සතුටක් ඇති කරන්නේ නම් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා උදවු කරන බවටත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන බවත් කියමින් එම දරුවන් සිය නිවෙසට ගෙන්වා ගෙන තිබේ.

ගාල්ල උණවටුන ප්‍රදේශයේ පිහිටි මැටරඹ සතර මහ දේවාලයට සම්බන්ධව ඔහුගේ සුවිසල් නිවෙස පිහිටා ඇති අතර එය සුඛෝපභෝගී ලෙස තැනුණු කාමර කිහිපයක්ද වේ. එමෙන්ම එම නිවෙස අසලම සුඛෝපභෝගී පහසුකම් සහිත බස් රියක්ද කපුවා විසින් ස්ථාපිත කර තිබේ. දුරකථන සංවාදවලින් පසුව ඔහු සොයා එන පාසල් දරුවන් මොහු විසින් අපචාරයට ලක් කර ඇත්තේ මෙම සුපිරි බස් රිය තුළදී මෙන්ම ඔහුගේ සුපිරි පහසුකම් ඇති නිවෙසේ ඔහුගේ කාමරය තුළදී බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම බස් රිය තුළ කාමරයක්ද සකසා ඇති අතර එහි නවීන පන්නයේ වැසිකිළි පහසුකම්ද ඇති බව කියැවේ. ඊට අමතරව කපුවා විසින් සිය නිවෙසේ දෙවියන්ට වෙන් කළ කාමරය තුළ මෙම පාසල් දරුවන් ලිංගික අපයෝජනයට ලක් කර තිබිණි.

සිද්ධියට සම්බන්ධ කපුවා කවුදැයි හඳුනා ගත් රහස් පොලිස් නිලධාරීන් ඔහු රටේ ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන්ද ඉතාමත් ළඟින් ඇසුරු කරන අයකු බවටද හඳුනා ගන්නා ලදී. එමෙන්ම ඔහු වටා ආරක්‍ෂකයන් නවදෙනකු සිටින බවත් කපුවා නින්දට යනතුරු ඔවුන් කපුවා අසලම රැඳෙන බවටත් තොරතුරු සොයා ගන්නා ලදී.

කපුවා ප්‍රබල පුද්ගලයකු බවත් ඔහු සමාජයේ කෝටිපති දානපතියකු ලෙස හැසිරෙමින් රටේ නමක් දිනා ගත් අයකු බැවින් ඔහු කොටු කර ගැනීම සිදුකළ යුත්තේ ඊට අවශ්‍ය සාක්කි එක්කාසු කිරීමෙන් පසු බව දත් ඩිජිටල් වෝහාරික පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඉන් පසුව දකුණු පළාතේ විදුහල් කිහිපයකට ගොස් තාක්‍ෂණය ඔස්සේ හඳුනාගත් පාසල් දරුවන් 9 දෙනකු සොයාගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ.

මෙහිදී එම දරුවන් කපුවා විසින් ලිංගික ක්‍රියා සඳහා යොමු කළ අයුරු රහස් පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට විය. එහෙත් නිලධාරීන්ට අවශ්‍ය වූයේ කපුවා ලිංගික අපචාරයන් සඳහා දරුවන් යොදා ගන්නා ආකාරය මුලින්ම ඔවුන්ගෙන් දැන ගැනීමටය.

“මේ පුද්ගලයා දකුණේ පාසල්වලට විවිධ ආකාරයේ තෑගි බෝග දෙනවා. පොත්පත්, නිල ඇඳුම්, බෑග්, සපත්තු එහෙම.”

මෙයා මෙහෙම පරිත්‍යාග කරන්නේ යටි සිතේ වෙනත් අදහසකින්. ළමා මනසට ඒක තේරෙන්නේ නැහැනේ මෙයා මොකාටද එන්න හදන්නේ කියලා. ඒ පරිත්‍යාග කරනනෙත් මෙයා ඒ ළමයින්ව ග්‍රහණයට ගන්න. මෙයා කපුවෙක්නේ. ඒ නිසා ළමයිනුත් මෙයාට වශී වෙලා ඉන්නේ.

“මෙයා මුලින්ම එයාගේ ගමේ පදිංචි පාසල් දරුවන්ට බයිසිකල් දුන්නා. පස්සේ ලැප්ටොප් දුන්නා. එහෙම ළමයින්ට එක එක වටිනා දේවල් දුන්නාම ළමයින් අතර මෙයාට තියෙන භක්තිය වැඩි වෙනවා. ළමයි එකිනෙකාට හොරෙන් මෙයා ළඟට යන්න උනන්දුවක් දක්වන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ තැන්වලදී මෙයා ප්‍රයෝජන ගත්තා. මේක තමයි මෙයා පොයින්ට් කර ගත්තේ. මේ ළමයින්ගේ මවුපියනුත් මෙයාට රැවටුණා. මෙයාගේ ටාගට් එක මොකක්ද කියලා එයාලා දැනගෙන හිටියේ නැහැ. මොකද මිනිහා කපුවෙක්නේ. පූජා කරනවා. ළමයින්ගේ අධ්‍යාපනයට උදවු කරනවා. විභාගයක් තියෙන කොට ශාන්තිකර්ම කරනවා. මේ නිසා මවුපියනුත් දරුවන්ව මෙයා ළඟට යනවට විරුද්ධ වුණේ නැහැ.

“ඔන්න ඔය ක්‍රමයට මේ මනුස්සයා ගමේ පාසල් දරුවන් හතර දෙනෙක් අල්ලගෙන හිටියා. මේ හතර දෙනාට සල්ලි දීලා ලැප්ටොප්, ෆෝන් අරන්දීලා මිනිහාගේ පැත්තට නමා ගෙනයි හිටියේ.”

ඉස්සෙල්ලම මේ ක්‍රමයට ළමයෙක් අල්ල ගත්තට පස්සේ ඒ ළමයි හරහා තව ළමයින් ගෙන්න ගන්න එක තමයි මිනිහගේ ක්‍රමය වුණේ.” විමර්ශනය සිදු කළ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ ජාලගත ආවේක්‍ෂණ තුළින් මෙම හඳුනා ගැනීම් සිදු කළ බවය. ඒ ආවේක්‍ෂණ තුළින් රහස් පොලිස් නිලධාරීන් ළමයෙක් තව ළමයෙක් මෙවන් සිදුවීමකට යොමු කර ගන්නා ආකාරයද හඳුනාගෙන තිබිණි.

මෙම විමර්ශනයේදී එවන් එක් සිදුවීමක් නිලධාරීන් විසින් මෙසේ අනාවරණය කරන්නට විය.

කසුන් නවය වසරේ පාසල් සිසුවෙකි. ඔහුට ජංගම දුරකථනයක් මිලදී ගැනීමට අවශ්‍යව තිබිණි. ඒ බව ඔහු තම පාසලේම මිතුරකු වූ ජගත්ට කියන්නට විය.

“මට තව පන්දාහක් අඩුයි” කසුන් කීවේය.

හරි මම උඹට පන්දාහට තිස් දාහක් අරන් දෙන්නම්. උඹ දහදාහක් ගනින්. මට විසි දාහක් දීපන්. හැබැයි උඹ පොඩි වැඩක් කරන්න ඕන.”

“මොකක්ද මම කරන්න ඕන”

“උඹට තියෙන්නේ….

මේ අනුව කසුන් සිය මිතුරාට පවසනුයේ ඒ සඳහා උණවටුන දේවාලයට ගොස් කපුවා හමුවිය යුතු බවය. මුදල්වල අවශ්‍යතාව මත ජගත්ද ඊට අවනත විය. කසුන් ජගත් රැගෙන කපුවා හමුවට යන්නේ ඉන් පසුවය.

“මෙයාට සේරම කියලා දීලද තියෙන්නේ” කපුවා එසේ විමසීමෙන් අනතුරුව ජගත්ව කපුවා සමඟ කාමරයට යවන කසුන් සියල්ල අවසානයේදී රුපියල් තිස්දාහක මුදලක්ද ලබාගෙන ඉන් රුපියල් දහදාහක් ජගත්ටද ලබා දෙන්නේය. එතැනින් එහාට ජගත් සිදුවූ කිසිම සිදුවීමක් ගැන වචනයකුදු හෝ පිට නොකරන අතර ඔහුට කිසියම් අවශ්‍යතාවක් අවශ්‍ය වූ විටදී හෝ කපුවාගෙන් ඇරයුමක් ලැබෙන මොහොතකදී ජගත් සිය මිතුරාද නොමැතිව ගොස් කපුවා මුණ ගැසී ඇත.

මෙවන් සිදුවීම් බොහෝය. පාසල් දරුවන් මෙලෙස කපුවා සමීපයට ගිය අවස්ථාවන්හි ඔහු ලිංගික අපචාරවලට යොදා ගැනීමෙන් පසු ඒවා සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන්නටද පසුබට නොවී ඇත.

රහස් පොලිසිය පවසන්නේ මෙලෙස දරුවන්ට පාසල්වලට වෙහෙර විහාරවලට අත දිගහැර වියදම් කිරීම සඳහා ඔහු සතුව මහ ධනස්කන්ධයක් ඇති බවය. ඒ ඔහු දේවස්ථානය තුළ කරන මන්ත්‍ර ගුරුකම්, සෙත්ශාන්ති ඇතුළු නානාවිධ ක්‍රියා තුළින් විශාල මුදල් උපයන නිසාය. දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයන්, රෙදිපිළි ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, පාතාල නායකයන්, කෝටිපතියන් මොහු ලවා නොයෙකුත් ගුරුහරුකම් කර ගැනීම සඳහා මැටරඹ දේවාලයට පැමිණෙන අතර ඔහු එක් ගුරුකමක්, ශාන්තිකර්මයක් සඳහා දහස් ගණනින් සහ ලක්‍ෂ ගණනින් මුදල් අය කරන බවද රහස් පොලිසිය කියයි. මේ සඳහා ඔහු විශාල මුදලක් වියදම් කර රූපවාහිනි වැඩසටහන් පවා පවත්වන අතර එහිදී ඔහු තමා කරන දේව හාස්කම් ගැනද කරුණු කාරණා හෙළි කරයි.

මියගිය සිය පියාගෙන් ලද ශක්තියෙන් දේව වැඩ කරන බව කියන මොහු සියලු සෙත්ශාන්ති, ගුරුකම් කරනු ලබන්නේ දේවාලය පවත්වාගෙන යන නිවෙසේ මිදුලේ සකස් කර ඇති පියාගේ සොහොන මත සිට බවද වාර්තා වේ.

මොහුගෙන් ගුරුහරුකම් සිදු කළ පාතාල කෙරුමකු ගැන මීට කලින් වාර්තා වී තිබිණි. මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ කැවුමා නමැත්තා මරණයෙන් බේරී සිටීම සඳහා වරෙක මෙම කපුවා මුණගැසී ඇත. එහිදී කැවුමා කපුවාට පවසා ඇත්තේ වෙඩි නොවදින සුරයක් සකසා දෙන ලෙසය. කපුවා එවැනි සුරයක් කැවුමා වෙත ලබාදී ඇති අතර ඒ සඳහා ලක්‍ෂ 30ක මුදලක් කැවුමා කපුවාට ගෙවා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ගුරු හරුකම්, සෙත්ශාන්ති, හඳහන බැලීම සඳහා අය කරනු ලබන ලක්‍ෂ ගණන් මුදල් සැකකාර කපුවා පාසල් ළමයින්ට වියදම් කරමින් මෙලෙස දරුවන් අපචාර කර ඇති බවට තහවුරු කරගත් රහස් පොලිස් නිලධාරීන් සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල උණවටුන දේවාලය වෙත ගියහ.

ඔවුන් දේවාලය තුළ සැරිසැරුවේ බැතිමතුන් ලෙසය. සිවිල් ඇඳුම්වලින් සැරසුණු ඔවුන් දෙවියන් හමුවේ පුද පූජා පවත්වන්නට පැමිණයවුන් සේ සතර මහා දේවාල භූමියේ ඒ මේ අත සැරිසරන්නට වූහ. ඒ නිසා සෙසු බැතිමතුන් අතරින් රහස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට කිසිවකුටත් නොහැකි විය.

කපුවා කොටු කර ගත යුත්තේ තනියෙන් බව නිලධාරීහු දැන සිටියහ. එහෙත් ඒ සඳහා එකම බාධකය වූයේ ඔහු වටා සිටින ආරක්‍ෂකයන්ය. රහස් පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකින් කියැවුණේ කපුවා නින්දට යනතුරුම ඔහුගේ ආරක්‍ෂකයන් ඔහු වටා සිටින බවය.

එතෙක් නිලධාරීහු ඔබමොබ සැරිසැරූහ. එහෙත් ඔවුන්ගේ උකුසු ඇස් යොමුව තිබුණේ කපුවා වෙතය. මොහු කොටුකර ගන්නට කලබල වුවහොත් ප්‍රදේශයේ ඔහු දන්න කියන පොලිස් ලොක්කෝ කලබල වන බවද රහස් පොලිස් නිලධාරීහු දැන සිටියහ. ඒ නිසා ඔවුහු කලබල නොවී කපුවා නින්දට යනතුරුම ඇඟිලි ගැන්හ.

ඒ මොහොත උදා වූයේ පැය කිහිපයකට පසුවය. කපුවා නිදා ගැනීම සඳහා දෙවියන් වඩින දෙවියන්ගේ කාමරයට ගියේය. ඊට ඇතුළුවීම ආරක්‍ෂකයන්ට තහනම්ය. එය හුදෙක් කපුවාට පමණි. ඒ බව දැනගත් රහස් පොලිස් නිලධාරීහු බැතිමතුන් සේ කපුවාගේ නිවෙස අසල සැරිසරමින් ආරක්‍ෂකයන් ගැන විමසිලිමත් වූහ.

කපුවා නින්දට ගිය තැන ඔවුන් එකිනෙකාද ඔවුන්ගේ කර්තව්‍යයන් සඳහා එහා මෙහා ගොස් තිබිණි. ඒ බව දැනගත් සිවිල් ඇඳුමෙන් සැරසුණු රහස් පොලිස් නිලධාරීහු කපුවන් සේ එකවරම දෙවියන්ගේ කාමරයට ඇතුළු වූහ. කපුවා මර නින්දේය.

“කපු මහත්තයා නැඟිටින්න”

කපුවා නින්දෙන් පිබිද දෙනෙත් ලොකු කර බැලුවේ දෙවියන්ගේ කාමරයට වැඩියේ කවුදැයි දැන ගන්නටය.

“කලබල වෙන්න එපා. අපි සී.අයි.ඩී. එකෙන්” නිලධාරීහු ඔහුට කීහ. ඒ සමඟම ඔහු කලබල විය. ආරක්‍ෂකයන් එතැනට දිවගෙන ආවේ ඉන් පසුවය. ඔවුන්ද නොදැන රහස් පොලිස් නිලධාරීන් කපුවාගේ දේව කාමරයට ඇතුළුවීම ගැන ඔවුහු පුදුම වූහ.

ඒ සමඟම කපුවාගේ උපදෙස් මත ආරක්‍ෂකයන් දකුණේ උසස් පොලිස් නිලධාරීන් අමතන්නට විය. “කව්ද කට්ටියක් ඇවිත් සී.අයි.ඩී. කියලා මහත්තයාව අරගෙන යන්න හදනවා.”

ඒ තොරතුරත් මත දකුණේ ඇතැම් පොලිස් නිලධාරීහු කලබල වූහ. ඔවුන් වහා දේව මන්දිරයට යන ලෙස පොලිස් කණ්ඩායම්වලට නියෝග දෙන්නට විය. ඒ සමඟම කපුවා අත්අඩංගුවට ගත් නිලධාරීන් මේ බව රහස් පොලිසියේ උසස් නිලධාරීන්ව දැනුවත් කරන්නට විය. එහිදී ඔවුන්ගේ උපදෙස් වූයේ කපුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් බලපෑම්වලට යටත් නොවන ලෙසත්ය.

ඇතැම් පොලිස් ලොක්කන් විමර්ශන නිලධාරීන්ට නොයෙකුත් බලපෑම් කළද ඔවුන් ඊට අවනත වූයේ නැත. දකුණේ එක්තරා පොලිස් ලොක්කෙක් විටින් විට රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට දුරකථන ඇමතුම් දෙමින් කපුවා අහිංසකයකු බවත් ඔහු සමාජයේ වැදගතකු බවත් පවසමින් ඔහු මුදා ගැනීමට දැඩි උත්සාහයක යෙදිණි.

“අපි සාක්කිත් එක්ක තමයි මිනිහව ඇරෙස්ට් කළේ”

උසස් රහස් පොලිස් නිලධාරියකු ඔහුට කීවේය.

“එහෙනම් ඔය සිද්ධිය මීඩියා එකට දෙන්න එපා.”

“මාධ්‍යයෙන් ගියොත් මිනිහාගේ ප්‍රතිරූපය විනාශ වෙනවා. ඔය මිනිහාගේ තරහකාරයෝ කරන වැඩ. ඔයගොල්ලන්ටත් මිනිහගෙන් ඕන උදව්වක් කරගන්න පුළුවන් හොඳ මිනිහා…”

“ඒක කරන්න එපා. අපි මිනිහව උසාවි දානවා. උසාවියට කියලා ඇපයක් ගන්න බලන්න.”

“එහෙනම් උසාවියට දානකම් මිනිහව ඒසී කාර් එකේ තියාගන්න පුළුවන්ද.”

උසස් පොලිස් නිලධාරියා රහස් පොලිසියේ ලොක්කෙක්ගෙන් එසේ විමසා තිබිණි. ඒ දකුණේ පොලිස් ලොක්කා කපුවා සමඟ ඒ තරම් හිතවත්ව සිටි නිසාය. ඔහු පමණක් නොව දකුණු පළාතේ තවත් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් ඕ.අයි.සී.වරුන් පවා මොහු සමඟ සමීප සබඳකම් පවත්වා ඇති අතර බොහෝ අය සැක කරන්නේ ඒ කපුවාගෙන් ලබාගත් ලාභ ප්‍රයෝජන හා මිල මුදල් නිසා බවය.

කෙසේ වෙතත් ඒ සියල්ලටම යට නොවී සැකකාර කපුවා අත්අඩංගුවට ගත් රහස් පොලිස් නිලධාරීන් ඔහු වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලිසියට බාරදීමෙන් අනතුරුව ඔවුන් විසින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කර තිබිණි. මහෙස්ත්‍රාත් අධිකරණය සැකකාර කපුවා මේ මස 23දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන්නට විය.

සැකකරු 9, 10, 11, 12 වයස් සීමාවල දරුවන් 9 දෙනකු සමඟ ලිංගික කටයුතුවල නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී. එමෙන්ම මෙම දරුවන් මොහු විසින් මිලදී ගෙන තිබූ අතුරුගිරිය නිවෙසකටද ගෙන ගොස් අපචාර ක්‍රියාවල යෙදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. මෙම දරුවන් අතර දකුණේ ජනප්‍රිය පාසල් කිහිපයක දරුවන්ද අතුරුගිරිය හා කැස්බෑව ප්‍රදේශයේ පදිංචි දරුවන්ද වන බව රහස් පොලිසිය සඳහන් කරයි.

අතුරුගිරියේ මොහුට අයත් නිවෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්වී ඇති අතර එහි තිබී මෙම සිද්ධියට සම්බන්ධ සැකකටයුතු භාණ්ඩ කිහිපයක්ද රහස් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කළ සිය දේව හාස්කම් පිළිබඳ රූපවාහිනි වැඩසටහන්වලට සහභාගිවීම සඳහා කොළඹ පැමිණි අවස්ථාවලදී මොහු මෙම අතුරුගිරිය නිවෙසේ නවාතැන් ගන්නා බවද කියති.

පොලිසියේ උසස් නිලධාරීන් සහ ප්‍රබල දේශපාලනඥයන් සමීපව ඇසුරු කරන මොහු පෞද්ගලික ආරක්‍ෂකයන් සමඟ මාර්ගවල ගමන් කරන්නේ ප්‍රභූවරයෙක් ලෙස බවටද වාර්තා වේ.

කෙසේ වෙතත් දරුවන්ගේ ලිංගික රූපරාමු ඇතුළත් වීඩියෝ දර්ශන විදෙස් රටවලට යවා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමටත් එලෙස වීඩියෝ යැවූයේ නම් ඒ කුමක් අරමුණු කරගෙනද යන්න සෙවීමටත් රහස් පොලිසිය විමර්ශන අරඹා තිබේ.

කෙසේ වෙතත් මොහු මෙවැනි ක්‍රියාවල යෙදීමේදී කිසියම් අතපසුවීමක් වුවහොත් හෝ දරුවන්ගේ මවුපියන්ගේ සැකයට භාජන වුවහොත් රුපියල් කෝටි ගණන් එම මවුවරුන්ට ලබාදී ඇති සිද්ධීන්ද රහස් පොලිසියට වාර්තා වී තිබේ.

මෙලෙස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ගාල්ල හබරාදුව උණවටුන මැටරඹ සතර මහ දේවාලයේ කපුවකු වන 44 හැවිරිදි කීර්ති කුමාර වටගොඩ නැමැත්තෙකි.

ළමයින්ට මවුපියන්ගේ ආරක්‍ෂාව සහ රැකවරණය නිරන්තරයෙන් ලැබිය යුතු වන අතර දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිමත් වීම අවම වන අවස්ථාවලදී ඔවුන් වෙනත් පුද්ගලයන් සමඟ විවිධ හේතූන් උදෙසා සම්බන්ධතා පවත්වාගෙන යෑම තුළින් පහසුවෙන්ම අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමට ඇති හැකියාව වැඩි වශයෙන් පවතින බව මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය කියා සිටියි.

ඔවුන් තනිවම පිටස්තර පුද්ගලයන් සමඟ විවිධ සම්බන්ධතා පැවැත්වීම ඇතුළු කටයුතු සිදුකිරීමට යෑමේදී ඇති විය හැකි අනාරක්‍ෂිත භාවය සහ අවදානම පිළිබඳ ළමයින් නිරන්තරවම දැනුවත් කිරීමත් මවුපියන් මේ පිළිබඳව දැනුවත්ව සිටීමත් ඉතා වැදගත් බවද පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටී.

ආධ්‍යාත්මික ශක්තිය සම්බන්ධව සමාජ සත්කාර හා විශ්වයේ බලය පිළිබඳව දේශනා පවත්වමින් මාධ්‍යවල පෙනී සිටින මෙම කපුවා අන්තර්ජාලයේද දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරතව සිටි අයකු වන අතර සමාජයේ දානපතියකු ලෙස හැසිරුණු අයෙක් බව පවසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ළමයින් අපයෝජන කිරීමේ සිද්ධියකට අදාළ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 සහ 2006 අංක 16 දරන සංශෝධිත පනත් මඟින් 360 ආ, 360 ඇ, 365 ආ යන වගන්ති මඟින් විග්‍රහ කර ඇති වැරදි සිදුකිරීම මත මොහු අත්අඩංගුවට ගත් බවත් සැකකරු බී 02459/22 නඩු අංකය යටතේ ඉකුත් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බවත් අධිකරණය ඔහු මේ මස 23 වැනිදා ගාල්ල දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවත් කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ අධීක්‍ෂණය මත ඩිජිටල් වෝහාරික පරිගණක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදුකර සැකකාර කපුවා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙහි ඇති දරුවන්ගේ නම් මන–කල්පිතය. රහස් පොලිස් විමර්ශන අනුව ලිපිය සකස් කෙරිණි.

කීර්ති මෙන්ඩිස්