කමතක පුරුදු වෙලා ඕස්ට්‍රේලියාව පරද්දපු පෙදරේරු තාත්තගෙ යකඩ දියණී

0
66

නෙත්මි අහිංසා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී සිටින්නන් අතරින් කැපී පෙනෙන චරිතයකි. ඊට හේතුවී ඇත්තේ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වී ඇය ලබා ගත් ලෝකඩ පදක්කමය.

නෙත්මි මේ ලෝකඩ පදක්කම ලබා ගත්තේ විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් වැඩිපුර ඇලුම් නොකරන ක්‍රීඩාවකට සම්බන්ධ වීමෙනි. ඒ මල්ලවපොරය.

කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරමින් ඇය මේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ පළපුරුදු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්ය.

“එදා මේ ක්‍රීඩිකාව මා දිහා බලලා කියා තිබුණේ අත්දැකීමක් ලබා ගන්න, එහෙමත් නැත්නම් පුහුණුවකටත් එක්ක මා එක්ක තරග කරන එක හොඳයි කියලා හිතලයි. ඒක ඇයගේ පුහුණුකරුත් ප්‍රසිද්ධියේම කියා තිබුණා. නමුත් මම ඒ දේවල් ගණන් ගත්තේ නැහැ. මට ඕන වුණේ හොඳින් තරග කරලා මගේ දක්‍ෂතා පෙන්වන්න විතරයි” 18 හැවිරිදි නෙත්මි අහිංසා එහෙම කිව්වේ බොහොම අව්‍යාජ විදිහටයි.

කෙසේ හෝ එදා නෙත්මි අධිෂ්ඨානශීලීව පෙර කී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත් කළේ අපේ රටේ  මල්ලවපොර ඉතිහාසය නවමු මංපෙතකට ගෙන එමින්ය.

“මම කලින් මලල ක්‍රීඩාවට යොමුවී සිටියේ නැහැ. මම නර්තනය කළා. ඒ වෙනුවෙන් කලාප හා පළාත් මට්ටමින් තරග කරලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.

මීට අමතරව කවපෙත්ත හා යගුළිය විසි කරලා ජයග්‍රහණ ලබාගෙනත් තිබෙනවා. මල්ලවපොර ක්‍රීඩාව ගැන මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ.

ඒත් මගේ ළඟම මිතුරිය චමෝද්‍යා කේෂානි නිසා තමයි මම මේ ක්‍රීඩාවට යොමු වුණේ. ඇය කිලෝ ග්‍රෑම් 53 බර පන්තිය නියෝජනය කරලා තරග කළා. ඇය සිවුවැනි ස්ථානය ලැබුවා.”

සාමාන්‍යයෙන් අපේ රටේ ගැහැනු දරුවන්ට මෙවැනි තරගවලට යොමුවීමට විවිධ බාධක තිබේ. ඒ බාධක නිසාම ඔවුන් නිවෙසට කොටුවී කල් ගෙවන්නේ සැඟවුණු කුසලතා හා දක්‍ෂතා සඟවාගෙනය. එහෙත් නෙත්මිගේ මවුපියන් ඊට අකුල් හෙළුවේ නැත. පාසලෙන්ද ඊට ලැබුණේ ලොකු රුකුලකි.

“මගේ තාත්තා ආර්ථික අමාරු, අපහසුකම් රැසක් මැද ජීවත්වුණු කෙනෙක්. ඔහු පෙදරේරු රස්සාව කරන කෙනෙක්. ආර්ථික ප්‍රශ්න හුඟාක් තිබුණත් මගේ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් මට ලබාදෙන්න ඔහු කටයුතු කළා. ඒ ගැන හොඳින් සොයා බැලුවා.”

නෙත්මි අහිංසා ජීවත් වන්නේ පන්නල, වෙල්ලපල්ල දුෂ්කර ගම්මානයේය. පාසල් ගියේ එහි ඇති සංඝරතන මහා විද්‍යාලයටය.

“මම මේ ඉස්කෝලෙට ආවේ අවුරුදු කිහිපයකට කලින්. ඒ වෙලාවේ සුරංග සර් ඇවිත් මේ පිළිබඳව මා සමඟ කතා කළා. ඇත්තටම මමත් එකඟ වුණා. අවශ්‍ය පහසුකම් පුළුවන් විදිහට ලබා දුන්නා.

සර්ට මේ මල්ලවපොර පුහුණුවීම් කරද්දී බාධක රැසක් ආවා. නමුත් ඔහු අවසානයේදී සර්ගේම ගෙදර පුංචි තැනක් හදලා මේ ක්‍රීඩාව පුහුණු කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵල තමයි අද රටක් විදිහට අපි හැමෝම භුක්ති විඳින්නේ.” මෙසේ කීවේ වෙල්ලපල්ල සංඝරතන මහා විද්‍යාලයේ විදුහල්පති අරුණ ශාන්ත මහතාය.

“මේ වගේ දක්‍ෂ දරුවෝ හින්දා මේ වගේ පුංචි ඉස්කෝලවලට පවා ලොකු ගෞරවයක්  හිමි වෙනවා.” විදුහල්පතිවරයා වැඩිදුරටත් කීවේය.

නෙත්මිගේ මේ සුවිශේෂ ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයා ඇයගේ පුහුණුකරු සුරංග කුමාර මහතාය. යුද හමුදා නිලධාරියකු වූ ඔහු තම බිරිය සමඟ එකතුවී මේ දරුවන්ට ලබාදුන් පුහුණුව හා ආරක්‍ෂාව මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නකි.

මුල් කාලයේදී නෙත්මි ඇතුළු මල්ලවපොර ක්‍රීඩාව පුහුණු කරන දරුවන්ට එරෙහිව විශාල බාධක හා ගැටලු මතුවන්නට විය. ඒ පිළිබඳව සුරංග කුමාර මහතා වරක් මෙසේ සඳහන් කර තිබිණි.

“සමහර තැන්වලදී දරුවන්ගේ සද්දය වැඩියි කියලා අපට පුහුණු වෙන්න ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා අපි කමතකට ගියා. ඒත් වැස්ස හින්දා මෙට්ට දාගෙන අපිට පුහුණුවීම් කරන්න බැහැ. ඒ නිසා තවත් තැනකට ගියා. එතැනත් අපට වැඩි දවසක් ඉන්න ලැබුණේ නැහැ.

ඊට පස්සේ තමයි අම්මලා තාත්තලාගෙන් ලැබුණු පුංචි මුදලින් මගේ ගෙදර මඩුවක් හදාගත්තේ.

දරුවන්ට ශක්තිය අවශ්‍ය නිසා හොඳ කෑම බීම දෙන්න ඕනෑ වුණා. නමුත් එච්චර වියදම් කරන්න අපට සල්ලි තිබුණේ නැහැ. අල බතල ටිකක් හරි කන්න දුන්නේ හරිම අමාරුවෙන්.

හැබැයි මම නිතරම උත්සාහ ගත්තා තරග වීඩියෝ බලලා ඒ ඒ තරගකාරියන්ගේ දුර්වලතා දරුවන්ට පෙන්නලා පුහුණුවීම් හොඳින් කරන්න. ඇත්තටම නෙත්මි අවුරුදු 4කට කලින් තමයි පුහුණුවීම් පටන් ගත්තේ. නමුත් ක්‍රීඩාව වෙනුවෙන් හොඳ කැපවීමක් තිබුණා. නිතරම අඩුපාඩු හදාගන්න මහන්සි වුණා.”

අපේ රටේ බොහෝ දරුවන්ට සුපිරි කෑම බීම ලැබෙන්නේ නැත. සුපිරි ක්‍රීඩා භාණ්ඩ හා ඊට සම්බන්ධ තාක්‍ෂණික උපකරණ ලැබෙන්නේ නැත. මේ නිසා බොහෝ විට ඔවුනොවුන් තමන් සතුව ඇති අගහිඟකම් මැද කටයුතු කරන්නේ අරමුණක් ඇතිව පමණි. අපි දන්නා කියන සුසන්තිකා ජයසිංහගේ සිට සියලු ගැමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නගරයේ අවධානය දිනා ගත්තේ එහෙමයි.

“ඇත්තටම මගේ පුහුණුකරු සුරංග සර් නිසා තමයි අපි මොන අඩුපාඩුකම් තිබුණත් ඉදිරියට ආවේ. මේ තරගයට යන්න කලින් අපිට හංගේරියාවේ මාස දෙකක පුහුණුවක් තිබුණා.

මේ කාලය පුරාම අපිට සර් මල්ලවපොර ක්‍රීඩාවේ පුහුණුව වගේම ඉස්කෝලේ වැඩ කරන්නත් පහසුකම් සැලසුවා. ඒ වෙනුවෙන් දුරකථනයක් ලබා දුන්නා.

අන්තිමට මම ඒ ෆෝන් එකෙන් හරි යම් ප්‍රයෝජනයක් ගන්නේ නැති වුණාමත් සර් මට අවවාද කළා. ඊට පස්සේ මම හිතා ගත්තා කොහොම හරි ආපහු මගේ ඉලක්කයට යනවා. ඉස්කෝලේ වැඩත් කර ගන්නවා කියලා.

සර් වගේම සර්ගේ නෝනත් අපි ගැන මහ පුදුමාකාර විදිහට සොයා බැලුවා. ඒ වගේම තමයි මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ සම්මේලනයේ නිලධාරි මහත්වරුන් අපට දැක්වූ සහයෝගය අගය කළ යුතුයි.” නෙත්මි එසේ කියමින් ඒ නිලධාරි මහත්වරුන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කළාය. එමෙන්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය සියලු දෙනා ගැනම ආදරයෙන් මතක් කළාය.

“මම සල්ලිබාගෙ තියෙන පවුලක දරුවෙක් නෙවෙයි. මගේ තාත්තා අම්මා දුප්පත්. මට ඉන්නේ අක්කා කෙනකුයි, නංගියෙකුයි, මල්ලියෙකුයි විතරයි. ඒ සේරම මට දුන්න ශක්තියට මම ණය ගැතියි.”

නෙත්මි අහිංසා අපේ රටට රැගෙන ආවේ ලෝකඩ පදක්කමක්ය. ඒ පදක්කම අපේ රටට වටින්නේ මීට පෙර එම ක්‍රීඩාවෙන් අපට පදක්කමක් ලැබී නොතිබුණු නිසාය.

“දැන් මම හිතන්නේ කොහොම හරි ඔලිම්පික් යා යුතුයි කියලයි. ඒ සඳහා මම හොඳින් පුහුණුවීම් කරනවා. ඉදිරියේදී තිබෙන සෑම තරගයකටම සහභාගි වෙලා මගේ රෑන්ක් එක ඉහළටම ගන්නවා.

මම අධිෂ්ඨානශීලීව ඉන්නේ ඔලිම්පික්වලින් මගේ රටට රන් පදක්කම අරගෙන එන්නයි. ඒ සඳහා මම මගේ පුහුණුකරු එක්ක එකතු වෙලා හෙට ඉඳලම පුහුණුවීම් කරනවා. මම දන්නවා මගේ  පිටුපස ඉඳගෙන මට ධෛර්යය වගේම පුහුණුව ලබාදෙන සුරංග සර් හින්දා මට ඒ පදක්කම රැගෙන එන්න පුළුවන් කියලා.”

2022 බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී 18 හැවිරිදි නෙත්මි අහිංසා කළ මේ හපන්කම අපිට සුළුවෙන් තැකිය නොහැකිය. ඒ ඇය බොහෝ බාධක හා දුක් ගැහැට මැද මේ තරග ඉසව්වට සහභාගි වී ලබාගත් ජයග්‍රහණය සුවිශේෂ වූවක් බැවිනි.

“දැන් මගේ රටේ හැමෝම මට සුබ පතනවා. මා ගැන කතා කරනවා. ඒ හැමෝටම මට පෞද්ගලිකව ස්තුති කරන්න බැහැ. ඒ නිසා මේ වෙලාවේ හැමෝටම කියන්න මම “ස්තූතියි” කිව්වා කියලා.” නෙත්මි කීවාය.

මේ සටහන අවසන් කිරීමට පෙර වෙල්ලපල්ල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිවරයා කියූ තවත් කතාවක් මෙහිලා සඳහන් කිරීමට හිතුවේ නෙත්මි අහිංසා ගැන එමඟින්ද ඔබට යම් වටිනාකමක් දිය යුතු නිසාමය.

“නෙත්මි හරිම අහිංසක ළමයෙක්. එයාගේ නමටම එයාගේ චරිතය ගැළපෙනවා. ඉස්කෝලේ ඉන්න විදිහට එයා මේ වගේ මල්ලවපොර ශූරියක් ඒ වගේම ඒ ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කළ කෙනෙක් කියලා කියන්නවත් බැහැ. හරිම වැදගත් ගැහැනු දරුවෙක්.”

සැබෑවට විය යුත්තේ එයයි. ඔබට අපට කොයිතරම් ගරු නම්බු නාම හා ඉහළ පිළිගැනීම් ලැබුණත් අප අපම විය යුතුය. අපේ නමට ඉදිරියේ වැඩි ගෞරවයක් ලැබෙන්නේද එවිටය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ