එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න ගැන අලුත් හෙළිදරව්වක්

0
62

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් දහවල් කාලයේදී නාවික හමුදාවට තොරතුරු ලැබී තිබුණු නමුත් ගින්න නිවීම පිළිබඳව ගුවන් හමුදාවේ. සහාය ඉල්ලා ඇත්තේ ගුවන් මෙහෙයුම් සිදුකිරිමට නොහැකි රාත්‍රි කාලයේදී බව නාවික හමුදාව සඳහන් කළේය.

එහෙත් නාවික හමුදාවේ ඉල්ලීමට ගුවන් හමුදාව ප්‍රතිචාර දක්වා ඇත්තේ රාත්‍රි කාලය හේතුවෙන් හෙලිකොප්ටර් මෙහෙයුම් සිදු කිරීමට නොහැකි වී ඇත.

‘මව්බිම’ තොරතුරු දැනගැනීමේ පනතින් අයැදුම් කළ තොරතුරු මඟින් මේ බව අනාවරණය විය.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් 2021 මැයි 20 නැංගුරම් ලා තිබුණු නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25ක්, රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පැවැති රසායනික කාන්දුව හේතුවෙන් ගින්නක් හටගත් අතර එය පුරා දින 13 පුරාවටම පැතිරුණු අතර එම නිසා සමුද්‍රීය පරිසර පද්ධතිය හා සත්ත්ව කොට්ඨාස දැඩි තර්ජනයකට පත්වූ බව නොරහසකි.

ගින්න ඇති වූ දින මධ්‍යහ්න 12.00ට ගින්න දරුණුව පැතීරීමට පටන් ගෙන ඇති බවට දන්වමින් නෞකාවේ කපිතාන්වරයා වරායේ පාලක මැදිරිය දැනුවත් කර ඇති නමුත් මේ සම්බන්ධව හාබර් මාස්ටර් විසින් නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් දැනුවත් කර ඇත්තේ මධ්‍යහ්න 12.25ට බව තොරතුරු දැන ගැනීමේ පනතට අනුව නාවික හමුදාවෙන් ලබාගත් තොරතුරු ගොනු තුළින් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

ඒ සඳහා ගිනි නිවීමේ සහ රසායනික ජීව විද්‍යාත්මක විකිරණවේදය සහ න්‍යෂ්ටික රෙජීමේන්තු පිටත් කර යැවූ බවත් ඔවුන් කාලගුණ තට්ටුවේ දකුණු පස අංක 2 භාණ්ඩ රඳවනයට ඉහළින් ඇති කන්ටේනරයකින් නයිටි්‍රක් අම්ලය කාන්දු වීම හේතුවෙන් රසායනික ගින්නක් වාර්තා කර තිබුණත් ඒ සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගෙන නොමැති බව අනාවරණය විය.

ඒ අනුව ගින්න පැතිරීමට පටන් ගත් අවස්ථාවේදීම ගුවන් හමුදාවේ සහයෝගයෙන් වියළි රසායනික කුඩු යොදා ගින්න නිවා දැමීමට කටයුතු කිරීමට හැකියාව තිබුණත් එය ක්‍රියාත්මක වී නොමැති බව නාවික හමුදාවේ තොරතුරු ගොනු තුළින් අනාවරණය කළේය.

එවන් මහා විනාශයක් සාගර පද්ධතියට සිදු වෙනතුරු වගකිව යුතු බලධාරීන් ක්‍රියා කරන ලද ආකාරය පිළිබඳව තොරතුරු ගණනාවක් සාක්ෂි සාධක සහිතව අනාවරණය කර ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත අනුව හැකියාව ලැබුණි.

මිතුන් ජයවර්ධන