අමාරුවෙන් ගෙනා පොහොර ටිකත් ගසාගෙන කෑවාද?

0
39

යල කන්නය වෙනුවෙන් ගෙන්වා බෙදාහරින ලද යූරියා පොහොර පිළිබඳ පූර්ණ විගණනයක් කරවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

පොහොර බෙදාහැරීමේදී අක්‍රමිකතා සිදුවූ බව හෙළිවී ඇති බැවින් විගණනයක් සිදුකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ‘මව්බිම’ට පැවැසීය.

කුඹුරු නොමැති ගොවීන්ටද, වී වගාවේ නොයෙදෙන ගොවීන්ටද, කුඹුරු ඇතත් ඒවායේ පොල්, කෙසෙල් වැනි ස්ථීර බෝග වැවූ ගොවීන්ටද ආදී වශයෙන් යූරියා පොහොර අවශ්‍ය නොවන පිරිසකට මෙවර යල කන්නයේ පොහොර ලබාදී තිබූ බව හෙළිවී ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මේ අතරින් සමහර ගොවීන් පොහොර ලබාගෙන පෞද්ගලික අංශයට විකුණා ඇතැයි හෙළි වූ බව කී අමාත්‍යවරයා මෙවැනි හේතු රැසක් මත විගණනයක් කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය. ගොවීන් පොහොර විකුණා ඇත්තේ වුවමනා නොවන නිසා විය යුතු යැයිද, වුවමනා නැති පිරිස්වලට පොහොර දෙන්නට නිර්දේශ කළේ කවුද යන්න සොයා ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක ප්‍රමාණය පොහොර මිටියක් රුපියල් දසදහසක සහන මිලක් යටතේ වී වගා කරන ගොවීන් වෙත ලබා දුන් අතර මේ වනවිට එම පොහොරවලින් සියයට 98ක් බෙදා අවසන් කර ඇත.

ඉතිරි සියයට 2 අලුතින් වගා කරන කුඹුරු සඳහා ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.  

විනීතා එම්. ගමගේ