අඟහරුත් බලලා ගිනි කඳුත් බලලා ගේල් ආවාටයෙත් රවුමක් යමු

0
611

මේ ලෝකයේ ගොඩක් අය කැමතියි විවිධ ස්ථානවල සංචාරය කරන්න. ඒ අතරින් බොහොමයක් කැමති දෙයක් තමා ත්‍රාසජනක එහෙමත් නැත්නම් දැක්කහම ඇඟ කිලිපොළා යන විධියේ ස්ථාන ගවේෂණය කරන එක. මේ ලෝකයේ නම් ඒවගේ ස්ථාන බොහොමයක් තිබෙනවා. ඒ වගේම විශාල පිරිසක් දැනටමත් ඒ ස්ථාන ගවේෂණය කරලා තිබෙනවා. ඒත්, අනාගතයේදී පෘථිවියෙන් එහා ග්‍රහලෝකයක ගවේෂණය කරන්න අවස්ථාව ලැබුණොත් කොහොමද? Mars/Red planet එහෙමත් නැත්නම් අඟහරු/ එහෙමත් නැත්නම් රතු ග්‍රහලෝකය ගැන සියල්ලන්ම දන්නවා. මොකද අඟහරු ඒතරම්ම අපට සමීප දෙයක්. ඒත් අඟහරුවල ගවේෂණය සඳහා සංචාරය පහසු කාර්යයක්ද?

සූර්යාගේ සිට 4 වැනි ස්ථානයෙහි පිහිටා තිබෙන අඟහරු සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි කුඩාම ග්‍රහලෝකය වෙනවා. පෘථිවිය සහ අඟහරු අතර දුර ප්‍රමාණය 211.18 million km වෙනවා. ඒ අනුව පෘථිවියේ ඉඳලා අඟහරු වෙත යන්න මාස 7-10 අතර ප්‍රමාණයක් ගත වෙනවා. සමස්තයක් ලෙස මාස 21 ගතවන බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ. ඒ යෑමට මාස 9ක්, අඟහරු තුළ මාස 3ක් සහ ආපසු ඒමට මාස 9ක් වශයෙනුයි. දැනට අභ්‍යවකාශය තරණය සඳහා සමාගම් විශාල ප්‍රමාණයක් (උදාහරණ ලෙස NASA, Blue origin,spaceX සමාගම්) ඔවුන්ගේ සැලසුම් සකස් කරනවා. මේ නිසාම ඉදිරියේදී අඟහරු ගමන යථාර්ථයක් බවට පත් වෙන බව නිසැකයි.

හොඳයි…. දැන් ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමා අඟහරු ග්‍රහලෝකයේ ගවේෂණය කරන්න තැන් තිබෙනවද? කියන කාරණාව ඔව්. 2015 අගෝස්තු මාසයේ වැඩමුළුවකදී 2020දී රෝවර් නම් යානය යැවීම සඳහා ගොඩබෑම සඳහා අඟහරු තුළ වඩා සුදුසු ස්ථාන 8ක් විද්‍යාඥයන් විසින් තෝරා ගත්තා. ඒ අඟහරු ග්‍රහයාගේ අතීත ජීවයන් ගැන වැඩිපුරම සොයා බලන්න අවස්ථාව ලැබෙන ස්ථාන සහ රෝවර් යානය ආරක්‍ෂිතව ගොඩ බා චලනය කිරීමට වඩා සුදුසු ස්ථාන යන පදනම් 2 මඟිනුයි. ඒ අනුව මේ ස්ථාන 8 සංචාරකයන්ට අනාගතයේදී ගවේෂණය කිරීමට සුදුසුම ස්ථාන ලෙස සලකන්න පුළුවන්. අපි මේ ලිපියෙන් ඒ ස්ථාන පිළිබඳව සාකච්ඡා කරමු….

01. Olympus Mons

Tharsis montes කලාපයේ ඇති සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම සහ ආන්තිකම ගිනි කන්ද Olympus mons වෙනවා. කිලෝමීටර් 624 (සැතපුම් 374) විෂ්කම්භයකින් යුත් (ආසන්න වශයෙන් ඇරිසෝනා ප්‍රාන්තයේ ප්‍රමාණයට සමාන), කිලෝමීටර් 25 (සැතපුම් 16) උසකින් යුත් පලිහ ගිනි කන්දක් (shield volcano) වෙන Olympus mons කිලෝමීටර් 6 (සැතපුම් 4) උස ස්කාප් එකකින් ආවරණය වෙලා තිබෙනවා. ඒ වගේම මේ ඔලිම්පස් මොන්ස් කඳු මුදුනේ කිලෝමීටර් 80 (සැතපුම් 50) පළල කැල්ඩෙරා පිහිටා තිබෙනවා.

මේ ගිනි කන්දේ විශාලත්වය කොහොම වෙයිද? පෘථිවියේ විශාලතම ගිනි කන්ද වෙන්නේ මවුනා ලෝවා. මවුනා ලෝවා කියන්නේ කිලෝමීටර් 10 (සැතපුම් 6.3) උස සහ කිලෝමීටර් 120 (සැතපුම් 75) පළල පලිහ ගිනි කන්දක්. ඉතින් Olympus Mons පරිමාව ගත්තොත් ඒක මවුනා ලෝවාට වඩා 100 ගුණයක් පමණ විශාලයි. ඉතින් හිතාගන්න පුළුවන් නේද විශාලත්වය.

අඟහරු සහ පෘථිවිය තුළ තිබෙන ගිනි කඳු අතර ප්‍රධාන වෙනස තමා ඒවාගේ විශාලත්වය. ඉතින් අඟහරුවල ගිනි කදු මෙච්චර විශාල වෙන්න හේතුව කුමක්ද ?

අඟහරු ග්‍රහයාගේ තර්සිස් ප්‍රදේශයේ තිබෙන ගිනි කඳු පෘථිවියේ ඕනෑම තැනක ඇති ගිනි ක¾දුවලට වඩා 10 සිට 100 ගුණයකින් විශාල වෙනවා. එසේම නිරීක්‍ෂණ කිරීමෙන් අඟහරු පෘෂ්ඨය මත ලාවා ගලා යෑම බොහෝ දිගු බව සොයාගෙන තිබෙනවා. එය සමහර විට ඉහළ පිපිරුම් අනුපාත සහ අඩු මතුපිට ගුරුත්වාකර්ෂණවල ප්‍රතිඵලයක් බවයි සඳහන් වෙන්නේ. ඒවගේම අඟහරු ග්‍රහයා මත ඇති ගිනි කඳු මෙතරම් විශාල වීමට තවත් හේතුවක් වන්නේ අඟහරු ග්‍රහයා මත ඇති කබොල පෘථිවිය මත ගමන් කරන ආකාරයට චලනය නොවීමයි.

02. Tharsis Volcanoes

නාසා ආයතනයට අනුව දළ වශයෙන් සැතපුම් 2500 (කිලෝමීටර් 4000) පළල කලාපයක දැවැන්ත ගිනි කඳු 12ක් තර්සිස් සතුව තිබෙනවා. එසේම Olympus Mons මෙන් මෙම ගිනි කඳුද පෘථිවියේ ඇති ඒවාට වඩා විශාල වෙනවා. අඟහරුට දුර්වල ගුරුත්වාකර්ෂණ බලයක් ඇති නිසා ගිනි කඳු උසට වැඩීමට ඉඩ සැලසීම එයට හේතුවයි.

මේ තර්සිස් කලාපයේ තිබෙන විශාලතම ගිනි කඳු වන්නේ ඇස්ක්‍රේයස් මොන්ස්, පවෝනිස් මොන්ස්, ආර්සියා මොන්ස් සහ ඔලිම්පස් මොන්ස් යන පලිහ ගිනි කඳු 4යි.

03. Valles Marineris  

Valles Marineris  නැත්නම් මැරිනර් නිම්නය කියන්නේ ඊපචඵඪඵ කලාපයට නැඟෙනහිරින් අඟහරු සමකය දිගේ දිවෙන විශාල කැනියොන් පද්ධතියක්. Valles Marineris  4000 km (2500 mi) (2500 mi) දිග වන අතර 7 km (4 mi) දක්වා ගැඹුරකින් සමන්විත වෙනවා. Valles Marineris  පෘථිවියේ ඇරිසෝනාවල තිබෙන කැනියොන් එක සමඟ සැසඳුවොත්, ඇරිසෝනාහි ග්‍රෑන්ඩ් කැනියොන් දිග කිලෝමීටර 800 (සැතපුම් 500) පමණ වන අතර ගැඹුර කිලෝමීටර 1.6 (සැතපුම් 1) ක් වෙනවා. ඒවගේම මේ Valles Marineris  හි විශාලත්වය එක්සත් ජනපදය තරමට දිගු වෙනවා වගේම ඒක අඟහරු වටා ඇති මුළු දුර ප්‍රමාණයෙන් සියයට 20 (1/5) පමණ වෙනවා. එතකොට තේරෙනවානේ මේකේ ප්‍රමාණය. 

මේ කැනියන් එක බටහිරින් Noctis Labyrinthus කලාපයේ සිට නැඟෙනහිරින් chaotic terrain ප්‍රදේශය දක්වා විහිදෙනවා. බොහෝ පර්යේෂකයන් පවසන්නේ Valles Marineris  කියන්නේ අඟහරු කබොලෙහි ඇති විශාල භූගෝලීය “ඉරිතැළීමක්” වගේම එය ග්‍රහලෝකය සිසිල් වීමත් සමඟ සෑදෙන බවයි.

04. North and South poles

අඟහරු ග්‍රහයාගේ උතුරු සහ දක්ෂිණ ධ්‍රැවවල ඝනකම සහිත දූවිලි හා ජලය අයිස් තට්ටු ලෙස ගොඩගැසිලා තියෙනවා. මේවා Planum Boreum (උතුර) සහ Planum Australe (දකුණු) ලෙස හඳුන්වනවා. ගණන් කළ නොහැකි තරමේ දේශගුණික විපර්යාස චක්‍ර තුළ පොතක පිටු ලෙස මේ poles දෙක ගොඩ නැඟී තිබෙනවා. විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ මේ ස්තිර යොදාගනිමින් අඟහරුගේ දේශගුණික ඉතිහාසය සොයා බැලීමටයි. මේ ඉතිහාසය කොච්චර ආපස්සට යනවද යන කාරණාව තීරණය වෙන්නේ අපි අධ්‍යයනය කරන ධ්‍රැවීය ලක්ෂණය මතයි.

සමහරක් ඒවා එක් අඟහරු වර්ෂයකින් (පෘථිවි වර්ෂ 1.9) පැරණි වන අතර අනෙක් ඒවා වසර බිලියනයක් පුරා පැවතීගෙන එනවා. අඟහරු ග්‍රහයාගේ භ්‍රමණ අක්ෂය සූර්යයා වටා කක්ෂයට 250 පමණ ඇලවීම නිසා ධ්‍රැවීය ප්‍රදේශවල අයිස් එකතු වෙනවා. මෙමඟින් අඟහරු ග්‍රහයා තුළද පෘථිවියට සමාන සෘතු හතරක් තිබෙනවා. ඒත් අඟහරු ග්‍රහයා මත ඇති ධ්‍රැවීය ශීත සෘතු පෘථිවියේ ශීතලම ශීත සෘතුවලට වඩා (153ෟ සෙල්සියස් හෝ _243ෟ ෆැරන්හයිට්) ශීතල වෙනවා. ඒ කොච්චරක්ද කියනව නම් කාබන්ඩයොක්සයිඩ් වායුව (CO2) හිම ලෙස වායුගෝලයේ සෘජුවම ඝනීභවනය වෙන්න තරම් අධික සීතලක් අඟහරු තුළ තිබෙනවා.

ඒවගේම සරත් සෘතුවේ උෂ්ණත්වය අඩු වෙන කොට, එක් එක් ධ්‍රැව කලාපය පුරා වලාකුළු සෑදෙනවා. මේවා ජල අයිස් වලාකුළු සහ CO2 අයිස් වලාකුළු ලෙස ඒකාබද්ධ වෙනවා. මෙම වලාකුළුවලින් වැටෙන හිම සහ හිම ධ්‍රැවීය කලාපයේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් පුළුල් සෘතුමය අයිස් තට්ටුවක් සාදනවා.

05. Gale crater සහ Mount Sharp (Aeolis Mons)

2012 වසරේදී NASA හි Curiosity rover නමැති යානය ගොඩ බැස්වූයේත් මෙම gale crater ස්ථානයටයි. ගේල් ආවාටය ගත්තොත්, වසර බිලියන 3.5ත් 3.8ත් අතර කාලයකට කලින් එහි උල්කාපාතයක් අඟහරු ග්‍රහයා මත ගැටීමෙන් මෙම ගේල් ආවාටය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම විද්‍යාඥයන් විසින් කියුරියෝසිටි නමැති යානා සඳහා ගොඩබෑමේ ස්ථානය ලෙස ගේල් ආවාටය තෝරා ගත්තේ එහි ඉතිහාසය පුරා ජලය පැවති බවට බොහෝ ලකුණු තිබෙන නිසයි.

Mount Sharp එහෙමත් නැත්නම් Aeolis Mons කියන්නේ අඟහරු මත තිබෙන කන්දක්. ඒක ගේල් ආවාටය තුළ මධ්‍යම ක¾දු මුදුන වනවා වගේම නිම්න තට්ටුවේ ඉඳලා කිලෝමීටර 5.5 (අඩි 18,000)ක් උසින් පිහිටනවා.

06. Medusae Fossae

Medusae Fossae කියන්නේ අඟහරුවල තිබෙන අමුතුම ස්ථානවලින් එකක්. ඒ මෙහි හැඩය නිසා. බොහෝ විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ එය විශාල ගිනි කඳු නිධියක් කියලයි.

එසේම 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ වසර මිලියන 500 ක් පුරා සිය ගණනින් සිදු වූ අතිවිශාල ගිනි කඳු පිපිරීම්වලින් මෙය සෑදී ඇති බවයි. අඟහරුවල දේශගුණයත් උණුසුම් වීමට හේතු වෙන්නේ මෙම ගිනි ක¾දුවලින් හරිතාගාර වායූන් වායුගෝලයට මුදාහරින බැවිනි.

 07. Hale Crater හි Recurring Slope

 මෙම බෑවුම්වල තිබෙන අඳුරු ලක්‍ෂණ පුනරාවර්තන බෑවුම් රේඛාව හෙවත් RSL ලෙස හඳුන්වනවා. එසේම විද්‍යාඥයන් විසින් නිරීක්ෂණ භාවිත කරමින් හේල් ආවාටයේ මෙම බෑවුම්වල හයිට්‍රේඩ් ලවණ අනාවරණය කර ගත් අතර, ඉරි බ්‍රයිනි දියර ජලය මඟින් සෑදී ඇති බවට තිබූ උපකල්පනයද සනාථ කර තිබෙනවා. මෙය අඟහරුගේ තැන්පත් වී ඇති ද්‍රව්‍ය නිර්ණය කිරීමට උපකාරී වන ස්ථානයක් බව හඳුන්වන්න පුළුවන්.

08. Ghost Dunes

අඟහරු මත අලුතින් හමු වූ මෙම ක්‍රොයිසන්ට් හැඩැති හැඩතල අඟහරුගේ ඉතිහාසය පිළිබඳව බොහෝ කරුණු හෙළි කරනවා. අවතාර ක¾දු ලෙස හැඳින්වෙන මෙම හැඩතල, ලාවා හෝ අවසාදිතයන් කාන්දු වූ විට සහ ක¾දුවල පහළ සමෝච්චයන් වටා ඝන වූ විට නිර්මාණය වන ලද පුරාණ වැලි කඳු ලෙස හඳුන්වනවා.

චන්ද්‍රිකා ඡායාරූප භාවිත කරමින් පර්යේෂකයන් අඟහරු ග්‍රහයා මත විවිධ ප්‍රදේශ දෙකක මතුපිට ඇති අවතාර කඳු සහිත ක්ෂේත්‍ර හඳුනා ගනු ලැබුවා. ඒ Noctis Labyrinthus හි විභව කඳු 480ක්, සානු සහ කැනියන්වල ව්‍යාකූල කලාපයක්, Hellas Planitia හි 300ක් වගේම වසර බිලියන 4ක් පැරණි සුමට ආවාටයක් දැක ගන්න පුළුවන්.

එසේම මෙම අවතාර කඳුවල ප්‍රමාණය, හැඩය සහ වයස විශ්ලේෂණය කිරීමෙන් ඉතිහාසය පුරාවට අඟහරුගේ දේශගුණය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. එසේම පර්යේෂකයන් පවසන්නේ මේ පුරාණ වැලි කඳු, අඟහරු ග්‍රහයාගේ ජීවය පිළිබඳ කරුණු සෙවීමට කදිම ස්ථානයක් බවයි.

චමික සහන් නිමේශ