L බෝර්ඩ් ගහගෙන වාහනේ පැද්ද කත දරුවකු යට කරගෙන යයි

0
192

කාන්තාවක් ධාවනය කළ “එල්” සංඥා පුවරුවක් සහිත මෝටර් රථයකට යට වී 14 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (11දා) පානදුර මාලමුල්ල පොකුණ ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ පානදුර රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පානදුර පින්නගල ප්‍රදේශයේ පදිංචි විහඟ සදෙව් නමැති දරුවෙකි.

උපකාර පන්තියකට සහභාගිවූ මෙම දරුවා ඊයේ දහවල් නිවෙස බලා ආපසු යෑම සඳහා සිය පාපැදිය මාලමුල්ල ග්‍රාමීය බැංකුව ඉදිරිපිට නවතා ගෙන සිටියදී අදාළ කාන්තාව ධාවනය කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා දරුවා ඊට යට වී ඇති බවද පොලිසිය පැවැසීය. මෝටර් රථයට යට වී බරපතළ තුවාල ලත් දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති නමුත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවද දැන ගැනීමට තිබේ.

අදාළ කාන්තාවට රියැදුරු බලපත්‍රයක් ඇති නමුත් රිය පැදවීමට නිසි පුහුණුවක් නොමැති නිසා සිය මෝටර් රථයේ පිටුපස “එල්” සංඥාව සහිත පුවරුවක් ප්‍රදර්ශනය කරමින් මෝටර් රථය ධාවනය කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවැසීය. අත්අඩංගුවට ගත් කාන්තාව ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.