හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහි පෙත්සම් විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඕනෑ

0
23

හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මූලික කරුණු විමසුමට ද්විපුද්ගල විනිසුරු මණ්ඩලයකට නීතිමය ප්‍රතිපාදන සැලසී ඇතත්, අතුරු සහන ඉල්ලීමක්ද අයැද සිටින බැවින් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ එම විමසුම විය යුතු බැව් නීතිපතිවරයා පෙරේදා (10දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

නීතිපතිවරයා නියෝජනය කරමින් එම කරුණු ප්‍රකාශ කර සිටියේ, ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ රජීව් ගුණතිලක මහතාය.

විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ද්විපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉහත පෙත්සම් කැඳවුම සිදුවිය.

මානව හිමිකම් (ශ්‍රී  ලංකා) කොමිසමේ හිටපු සෙසු කොමසාරිස්වරියක් වන අම්බිකා සන්කුනනාදන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පාක්‍ය සෝති සරවනමුත්තු හා ලිබරල් තරුණ සංවිධානයේ කැඳවුම්කරු නමිනි පණ්ඩිත රුසිරු එගොඩගේ යන අයවලුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට ඇත.

මෙහිදී පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් මෙය කඩිනමින් විසඳුමක් අවශ්‍ය වන ගැටලුවක් බැවින් වඩාත් නුදුරු දිනයකදී පෙත්සම් විමසුම යළි කිරීමට පියවර ගන්නා ලෙස ඇයැද සිටියේය.

එය පිළිගත් විනිසුරු මඬුල්ල පෙත්සම් මූලික විමසුම මේ මස 12 (අද) දිනයට කල් තැබීය.

කමල් මහේන්ද්‍ර වීරරත්න