සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් නැරැඹීමේ පුරුද්ද යළි ඇතිකළ යුතුයි

0
18

සංස්කෘතික අමාත්‍යාංශයෙන් පත්කළ ගාමිණී වේරගම කමිටුව සම්පාදනය කළ ජාතික සිනමා ප්‍රතිපත්තිය සහිත වාර්තාව ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනට භාරදී ඇත ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්  ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදී මෙම වාර්තාව භාරදී තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ දීපාල් චන්ද්‍රරත්න පත්වීමත් සමඟ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනයට ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්, කලාකරුවන්, ආයෝජකයන් හා අදාළ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා  ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද තරුණ පරපුර වෙතින් ගිලිහී යමින් ඇති මෙම කාලයේ ජනතාව ආශක්ත වන නව සිනමා සංස්කෘතියක් රට තුළ ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඇමැතිවරයා එහිදී සඳහන් කර ඇත. සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසද ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි මෙම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.

“කර්මාන්තයේ දියුණුව උදෙසා මා හඳූනාගත් මූලික සැලසුම් කිහිපයක් තිබෙනවා. එකක් තමයි සිනමා ශාලා සංඛ්‍යාව වැඩි කිරීම. පළාත් පාලන ආයතන මට්ටමින් සිනමා ශාලා ඇති කිරීමට එම අමාත්‍යවරයා හා සාකච්ඡා කර වැඩපිළිවෙළක් සැකසීමට මා කටයුතු කරනවා.’’

“ඒ වගේම බටහිර රටවල පවා ජනප්‍රිය “Wheel Cinema” එනම් ජංගම වාහනයක් උපයෝගී කරගෙන සිනමා ප්‍රදර්ශනය යන  සංකල්පය ක්‍රියාත්මක කිරීම සිනමාව තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට ඉවහල් වනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙර කාලයේ මෙම සංකල්පය ක්‍රිියාත්මක කළා. එය වඩාත් නව්‍යකරණය ක්‍රියාත්මක කළ හැකියි.’’

‘’අප හ¾දුනාගත් තවත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව නියාමන කොමිසමක් ලෙස ක්‍රියා කරන ආකාරයට කටයුතු සැලසීමයි. පෞද්ගලික අංශය දිරිගන්වමින් අවශ්‍ය පහසුකම් හා නියාමනය සලසන ආයතනයක් ලෙස එය ක්‍රියා කළ යුතුයි. නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ පාලනය යටතේ මේ සඳහා හොඳින් කටයුතු කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේම වසර දෙකකින් පමණ පැවැත්විය නොහැකි වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට අදහස් කරනවා. චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා වන නව ක්‍රියාමාර්ග සම්බන්ධව චිත්‍රපට නිෂ්පාදකයන් හා ශාලා හිමියන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.”

මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බවත්, නමුත් ජනමාධ්‍ය ඇමැතිවරයාගේ අවබෝධාත්මක මැදිහත්වීම හා සියලු සම්බන්ධිත පාර්ශ්වයන්ගේ දායකත්වය මත වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම අභියෝග ජයගනිමින් සිනමා ක්ෂේත්‍රය නඟා සිටුවීමට පියවර ගත හැකි බවත්, නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න සඳහන් කළේය.

සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ප්‍රවීන සිනමා විචාරක ගාමිණී වේරගමගේ මූලිකත්වය ඇති කමිටුව සම්පාදනය කළ සිනමා ජාතික ප්‍රතිපත්තිය මෙහිදී ඇමැතිවරයා වෙත භාරදුන් අතර, ජනාධිපතිවරයා වෙත එම ලේඛනය පිළිගැන්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් හා ආයෝජකයන්ද සමඟ සාකච්ඡා කර වඩාත් සාධනීය ලෙස එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ගැනීමද මෙහිදී සිදුව තිබේ.

සඳුනි ගමාරච්චි