සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් මත පාලනයක් සකස් කිරීම අරමුණයි

0
23

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය,  පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රි, සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රි  මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සාකච්ඡා සඳහා එක්ව ඇත.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බවත්, තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව හ¾දුනාගෙන තිබෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බවත්, සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධාන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා පවසා ඇත.

කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් ඇමැතිවරුන් හා සමාන බලයක් සහ නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගීකර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කමිටු ක්‍රමය නියෝජනය කරනවාද, ඒසේ නැති නම් ආණ්ඩුවට එක්වනවාද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම් දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

සඳූනි ගමාරච්චි