රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව සැප්තැම්බර් 7ට කල් දමයි

0
13

රඹුක්කන ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව යළි සැප්තැම්බර් 07 වැනිදාට කැඳවන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය. සැකකරුවන් ඉකුත් 05 වැනිදා කෑගල්ල මහාධිකරණය මඟින් කොන්දේසි සහිතව ඇප මත නිදහස් කර තිබෙනවා. රඹුක්කන ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේ සවි කර ඇති සී.සී.ටී.වී. දර්ශන හා බවුසර් රථවලට ආදාළ සී.සී.ටී.වී. දත්ත මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට තිබුණත් එහි වාර්තා මෙතෙක් ලැබිලා නෑ.

රඹුක්කන පදිංචිව සිටින පුද්ගලයාගේත් රඹුක්කන දුම්රිය ස්ථානයේ මෙහෙයුම් නිලධාරීන්ගේ හා දුම්රිය සංඥාකරුවකුගේ මෙන්ම තවත් අයකුගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සටහන් කරගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනවා. නඩුව සම්බන්ධයෙන් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශණ අංශයේ උප පොලිස් පරීක්ෂක විජේසූරිය මහතා අධිකරණයට කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද තොරතුරු සටහන් කර ගත් මහෙස්ත්‍රාත්වරිය නඩුව යළි සැප්තැම්බර් 07 වැනිදාට කැඳවන ලෙස නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක විජේසූරිය, උප පොලිස් පරීක්ෂක මැදගම යන නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ශ්‍රී  ලාල් දයානන්ද මහතා පෙනී සිටියේය.

රඹුක්කන ජනයා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා රඹුක්කන – කුරුණෑගල මාර්ගය, රඹුක්කන – කෑගල්ල මාර්ගය, රඹුක්කන- මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා රඹුක්කන සමුපකාර ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේදී ඉකුත් අප්‍රේල් 19 වැනිදා පෙරවරුවේදී 300කට පමණ ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණ. සවස වන විට 1,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති උද්ඝෝෂණය අතරතුරදී ජනයා පොලිසියට ගල් මුල්වලින් පහර දෙන්නට විය. පසුව ජනයා විසුරුවා හැරීමට කරන ලද වෙඩි තැබීමකින් නාරංබැද්ද කරදගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී සිවිල් වැසියන් 13 දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

කෑගල්ල හිටපු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබිණි. පසුව රඹුක්කන පොලිසිය මඟින් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල හිටපු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු සිවුදෙනා අප්‍රේල් 28 වැනිදා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මාස තුන හමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් අධිකාරිවරයා ඇතුළු සිවුදෙනා ඉකුත් 05 වැනිදා ඇප මත නිදහස් කර තිබිණි.

දමුණුපොළ – චමින්ද ජයලත්උ දුගොඩ _ ඒ. නරසිංහ