මේ ආණ්ඩුවට හවුල්වීම පලක් නැති වැඩක්

0
212

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තවදුරටත් කතා කිරීම යථාර්ථවාදී නොවන බවත් දැනට පිහිටුවා තිබෙන රනිල් හා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වීම පල රහිත බවත් දන්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා ඇත. ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සලසමින් අන්තර්කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙළකට යෑමට අවංක වුවමනාවක් තිබුණේ නම් එම අවස්ථාව තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කරමින් රටින් පිට වීමත් සමඟ යැයි ජවිප නායකයා එහි සඳහන් කර ඇත.

එම නිසා කාටත් පිළිගත හැකි කාගේත් එකඟතාවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වන විට මඟහැරී ඇති බව අනුර දිසානායක මන්ත්‍රිවරයා සිය ලිපියෙහි අවධාරණය කර ඇත.

ජාතික ජන බලවේගය විසින් යොමු කළ ලිපියෙහි යෝජනා වන්නේ ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන්  ජනාධිපති ධුරයට අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක් නැති මන්ත්‍රිවරයකු ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට පත්කර ගැනීම හා අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකඟතාවෙන් මන්ත්‍රිවරයෙක් පත්කර ගැනීම, සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වන සියලු පක්ෂ සමාන කොටස්කරුවන් ලෙස සලකා ආණ්ඩුවේ සියලුම තීන්දු තීරණ ගැනීම හා එම සියලු පාර්ශ්ව නියෝජනය වන ඉතා කුඩා ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීම, සර්ව පාක්ෂික ආණ්ඩුවට අන්තර්කාලීන ආණ්ඩුවක් ලෙස සලකා මාස හයක් වැනි කෙටි කලකට එම ආණ්ඩුව සීමා කර ඉන්පසු මහ මැතිවරණයක් පවත්වා නව ජනවරමකින් තමන් කැමැති පාලනයක් නිර්මාණය කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම යන ප්‍රධාන කරුණුය.

එමෙන්ම ජනතාව මුහුණ පා තිබෙන ආර්ථික දුෂ්කරතාවලට ඉක්මන් සහන ලබාදී රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම, ජනාධිපති ධුරයේ බලතල හැකි උපරිමයෙන් අඩු කරන හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සවිමත් කරන යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීම හා රට තුළ සිදුකර ඇති වංචා දූෂණ හා මහජන මුදල් නාස්තියට එරෙහිව ගනු ලබන බලගතු පියවර කිහිපයක්ද යෝජනා කර තිබේ.

ඒ අනුව පසුගිය කාලයේ වංචා දූෂණවලට එරෙහිව පවරා තිබෙන විවිධ හේතු මත නිදහස්  කළ නඩු පිළිබඳ සමාලෝචනයක් සිදුකර අධිකරණය වෙත අභියාචනා කිරීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අතරමඟදී විවිධ තාක්ෂණික හේතු මත ඉල්ලා අස්කරගත් නඩු යළි පැවැරීම, වංචා හා දූෂණ පිළිබඳ දැනට විමර්ශන ආයතන වෙත ලැබී තිබෙන හා විමර්ශන පමා කොට හා යටපත් කොට තිබෙන පැමිණිලි පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර නඩු පැවැරීම, රට මුහුණදී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදය විසඳීම සඳහා ගැඹුරු ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අන්තර්කාලීන සර්වපාක්ෂික පාලනයකට හැකියාවක් නොමැති බැවින් ජනතාවගේ අනුමැතිය සහිත ජනවරමක් සඳහා මාස හයක් වැනි කෙටි කලක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කර තිබේ.

අදාළ යෝජනා ඒ මොහොතේ ඉටුකර ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරයා  විසින් පාර්ලිමේන්තුව රාජපක්ෂවාදී මන්ත්‍රිවරුන් 134 දෙනකුගේ ඡන්දයෙන් ජනාධිපති වී රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිහිටුවාගනු ලැබූ බවටත් එම ලිපියෙන් චෝදනා කර තිබේ.

දැන් පවතින්නේ ජනවරම  අහෝසි වූ ජනතා විරෝධයට ලක් වූ රනිල් රාජපක්ෂ පාලනයක් බවත් එම කණ්ඩායම විසින් එම පාලනය පිහිටුවා දැන් සිදු කරන්නේ එහි කොටස්කරුවන් ලෙස ජාතික ජන බලවේගයට ආරාධනා කිරීම බවට චෝදනා කරන අනුර දිසානායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ, එය අවංක ලෙසම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සඳහා වූ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වුවමනාවෙන් කරන්නක් නොවන බවය.

කෙසේ වෙතත් ජනතාව මුහුණ දී සිටින මෙම අර්බුදයෙන් මිදීම සඳහා කිසියම් හෝ පිළිගතහැකි යථාර්ථවාදී වැඩපිළිවෙළක් නිශ්චිත කාල රාමුවක් සහිතව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට  සාධනීය ප්‍රතිචාර දැක්වීමට තම පාර්ශ්වය සූදානම් බවත් සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික හෝ නාමකරණයට වත්මන් පාර්ලිමේන්තු තුළින් පිහිටුවා ගනු ලබන ආණ්ඩුවකට දිගුකලක් රට පාලනය කිරීමට ජනවරමක් හෝ සදාචාරයක් නොමැති බවත් එහි  අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හදිසි නීතිය පවත්වාගෙන යමින් ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති උද්ඝෝෂණය කිරීමේ අයිතිය පැහැර ගැනීමට අධිකරණ නියෝග ලබා ගැනීමට උත්සාහ කරමින් පසුගිය කාලයේ සාමකාමී අරගලයේ නිරත වූ එහි නායකයන් හා ක්‍රියාධරයන් අත්අඩංගුවට ගෙන රට තුළ මර්දනය ක්‍රියාවට නංවා ඇති බවයි.

අනුරාධා හේරත්