ඥානසාර හිමිගේ වාර්තාව නොපිළිගන්නා බව ජනපති කිව්වා

0
252

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව තමා නොපිළිගන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට පැවැසූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් ‘මව්බිම’ට පැවැසීය.

ජනාධිපතිවරයා එම වාර්තාව  සම්බන්ධයෙන්  කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව තමාට ප්‍රකාශ කළේ යැයි හකීම් මහතා පැවැසීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර පෙරේදා (10දා) ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී හකීම් මහතා එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසී යැයි ඔහු කීය.

මතභේදයට තුඩුදී ඇති මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවත් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතු බවත් මෙහිදී හකීම් මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

නැඟෙනහිර පළාත මුල් කර ගනිමින් එක් ජන සමාජයක් ඉලක්ක කරගනිමින් සිදුවන පුරාවිද්‍යා කැණීම් වහාම නතර කළ යුතු බවද සම්මාන්තුරෙයි, මුතුර් වැනි පළාත් පාලන ආයතනවල තත්ත්ව උසස් කළ යුතු යැයිද ජනාධිපතිවරයා වෙත හකීම් මහතා යෝජනා කර ඇත.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම, මෙරට දෙමළ, මුස්ලිම් ජනයා සම්බන්ධ ගැටලුවලට විස¾දුම් ලබාදීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ හා සාකච්ඡා කිරීම, මහනුවර නාවලපිටිය ගංවතුර ආපදා තත්ත්වයට පත් ජනතාවට සහන සැලසීම හා එම නගරය වෙනත් ස්ථානයකට රැගෙන යෑම ගැනද එහිදී ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් යෝජනා කර තිබේ.

එම ඉල්ලීම්වලට ජනාධිපතිවරයා විසින් යහපත් ප්‍රතිචාර දැක්වූ බව එම පක්ෂය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට එච්.එම්.එම්. හරීස්, ෆයිසල් කාසීම්, එම්.එස්. තවුෆීක් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා පක්ෂයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා සහභාගි වී ඇත.

ඩී.එල්. ජයකොඩි