ජේලර් තිළිණගේ ඝාතකයා වසර 3කට පසු අල්ලයි

0
171

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් මහතා වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරු වසර තුනකට පසු කොටුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් විය.

ජේලර්වරයා මරා දැමීමෙන් අනතුරුව විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණ ඇති බව කියන සැකකරු එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලැබුණු ඍජු තොරතුරක් මත රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු ‘නාකියා’ නමින් හඳුන්වන දකුණු පළාතේ දක්ෂ වෙඩික්කරුවකු බව කියන අතර ඔහු යුද හමුදාවේ මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේද කලක් සේවය කර ඇති බවද සඳහන්ය.

තිළිණ රුවන් නම් ජේලර්වරයා සිය යතුරුපැදියෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ගොස් යතුරුපැදිය එම ස්ථානයේ නතර කොට දුම්රියෙන් වැලිකඩ බන්ධනාගාරය බලා එද්දී ඔහු වෙඩි තබා මරා දමා තිබිණි. ඒ 2019 වසරේ අගෝස්තු 2 වැනිදාය.

වෙඩි තැබීමෙන් පසු මෙහු විසින් ඊට උපයෝගි කරගත් ගිනිඅවිය කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයාට ලබාදී තම පාපැදියෙන් නිවෙස බලා ගොස් ඊට දින කිහිපයකට පසු කොන්ත්‍රාත්කරු විසින් සකස් කර දුන් විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වී ඇත.

සැකකරු විදෙස්ගතව ඇති බව හෙළිවීමත් සමඟ පොලිසිය ඔහු සොයා වෙහෙසී නැති අතර ඊට සති තුනකට පසු ඔහු නැවත දිවයිනට පැමිණ වෙනත් නමකින් වෙනත් ප්‍රදේශවල රැඳී සිට තිබේ.

මොහු ගැන තොරතුරක් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලැබී ඇත්තේ ඉන් අනතුරුවය. සැකකරු විසින් වෙඩි තැබීමට උපයෝගි කරගත් ගිනිඅවිය සොයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ළිඳක් හාරා ඇතත් ගිනිඅවිය එහි තිබී නැත. “සුද්දා නමැත්තකු විසින් දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත ජේලර්වරයා ඝාතනය කළ බව ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත.

සැකකරු මේ දිනවල සිදුකළ වෙඩි තැබීම්වලටද සම්බන්ධ බවට සැක කරන නිසා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා සැකකරු අම්බලන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ. 

කීර්ති මෙන්ඩිස්