ජනඅරගලයේ අපේක්ෂිත අරමුණු ඉටු වුණාද?

0
20

69 ලක්ෂයේ ජනවරමට 2/3 පාර්ලිමේන්තුවේ බහුතර බලයට මුවා වී ගෙන ගිය අත්තනෝමතික රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව කළ ජනතා අරගලයේ ප්‍රතිඵලයක් ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ධුරය හැරදමා ඉල්ලා අස් වී නාවික හමුදා කඳවුරක රැකවරණය ලබාගැනීමට සිදුවීමත්, තම මුළු ධුර කාලය අවසන් වන තුරු ඉල්ලා අස්නොවන බව කියූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මැඳුර හැරදා රටින් පලාගොස් ඉල්ලා අස්වීම කථානායකවරයාට එවීමට සිදුවීමත් ජී.අයි. බට යෙදූ යකඩ වැටවල්, කටුකම්බි ඇණ, මාර්ග බාධක, කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ, ජල ප්‍රහාර සහ මාර්ග බාධක (බාරියර්)වලට වඩා ජනබලය ප්‍රබල බව යළිත් ලොවටම පසක් කළ කදිම නිදසුනකි. ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු නොකර එය තුට්ටුවකටවත් මායිම් නොකර බලකායෙන් මත් වූ පාලකයන්ට නිරායුධ ජනතාව ඉගැන්වූ අමතක නොවන පාඩමකි. පීඩිත ජනතාව ලැබූ ජයග්‍රහණයකි.

එහෙත් ගෝඨා, මහින්ද, බැසිල්, චමල් සහ නාමල් ප්‍රමුඛ රාජපක්ෂවරුන් තනතුරු හැරගියා කියා ජනතා අරගලයේ අපේක්ෂිත ප්‍රතිඵල සහ ප්‍රතිලාභයන් ජනතාවට තවමත් ලැබී නොමැති. ඉන්ධන ගෑස් පෝලිම් අඩු වී ඇතත් එම පෝලිම්වල අකාලයේ මිය ගිය මිනිස් ජීවිතවලට වන්දි ගෙවන්නේ කවුද? රොකට් වේගයෙන් ඉහළට ඇදෙන බඩු මිලෙහිද වෙනසක් නැත. උද්ධමනය අධි උද්ධමන තත්ත්වයට පත්ව ඇත. ජීවන බරින් හෙම්බත් වී පීඩා විඳින ජනතාවට ලැබුණු සහනයක්ද නොමැත.

එහෙයින් ජනතා අපේක්ෂා ඉටුවන තුරු, අරමුණු කරා ළගා වන තුරු නිර්පාක්ෂික අරගලය අඛණ්ඩවම ඉදිරියට යා යුතුය. ඒ පිළිබඳව කිසිදු තර්ක විතර්කයක් වාද විවාදයක් අවශ්‍ය නැත. එහෙත් රටත් ජනතාවත් බරපතළ උග්‍ර ආර්ථික හා දේශපාලන අර්බුදයක සිර වී සිටින මේ ඛේදජනක අවස්ථාවේ පටු දේශපාලන බලලෝභී අරමුණු ඉටුකර ගැනීමට මාන බලමින් බොර දියේ මාළු බෑමට සූදානම් වන අවස්ථාවාදී සටකපටි දේශපාළුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් සිදුකරන දේට තවදුරටත් ඉඩදිය යුතු නොවේ.

අසරණ අඩු ආදායම්ලාභී දිළිඳු ජනතාව තුන්වේලෙන් එක වේලක්වත් පිරිමසා ගත නොහැකිව, දරුවන්ට කිරිපිටිටික ගත නොහැකිව හූල්ලද්දී රාජ්‍ය සේවයේ ඉහළ වැටුප් ලබමින් (විශේෂයෙන් වරාය, විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුවෙ, තෙල් සංස්ථාව, රේගුව වැනි ආයතනවල) කරන වෘත්තීය ක්‍රියාමාර්ග වැඩවර්ජන නිසා (සෞඛ්‍ය, තැපැල් හා ප්‍රවාහන සේවාද ඇතුළුව) පීඩාවට පත්වන්නේ වරප්‍රසාද අහිමි අසරණ ජනතාව මිස සුඛවිහරණයේ යෙදෙන පාලකයන් මැති ඇමැතීන් නොවේ.

කවුරුන් කැමැති අකැමැති වුවත් පාලකයන්ට එරෙහිව සිදුකළ ජනතා අරගලයේ ප්‍රතිඵලය වූයේ 69 ලක්ෂයක ජනවරමින් බලයට පත් වූ ගෝඨා පැදුරටත් නොකියා ජනතාවට හොර රහසේම එල්ල වූ ජනතා විරෝධය හමුවේ රටින් පලා යෑමත් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සහ පාර්ලිමේන්තුවේ ජනතා වරමින් ආසනයක් දිනා ගැනීමට නොහැකි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයටත් ඉන් පසුව අනුප්‍රාප්තික ජනාධිපති ධුරයටත් පත්වීම පමණි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසට පත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ බඳු උත්තරීතර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ ඡන්ද 134ක් හිමිකරගෙන (වැඩි ඡන්ද 52ක් ලබාගනිමින්) අනුප්‍රාප්තික ජනපති තේරීමේ තරගයෙන් ජයගනිමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරයට පත්වී අවසන්ය.

නිදහසින් පසුව ගෙවුණ 74 වසරක කාල පරාසයක් තුළ මෙරට අඩු වැඩි වශයෙන් පාලනය කළ (නිල්, රතු, කොළ පක්ෂ දේශපාලනයේ නිරත) පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් ජනතාව විඳින අනේක විධ දුක් කන්දරාවන්ටත්, රට වැටී ඇති අර්බුදකාරීත්වය යටතේ සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. තිස් වසරක් පැවැති යුද්ධය නිසා හෝ දෙවසරක් පමණ පැවැති කොවිඩ් වසංගතය නිසා හෝ ජනතාව මෙලෙස පීඩා වින්දේ නැත.

අප රටට නිදහස ලැබුණේ (අධිරාජ්‍යවාදී බි්‍රතාන්‍ය පාලනයෙන්) 1948දීය. සිංගප්පූරුවට නිදහස ලැබුණේ 1965දීය. අපට පසුව (වසර 17කට පසුව) යටත් විජිතවාදයෙන් මිදී නිදහස ලැබූ සිංගප්පූරුව වර්තමානයේ දියුණුවේ සංවර්ධනයේ උච්චතම ස්ථානයේ ඇති රටක් බවට පත්වී තිබේ. අප රටේ දේශපාලකයන් මෙන් ජාතිය, ආගම සහ යුද ජයග්‍රහණය විකුණමින් (දේශපාලන වේදිකාවල) තුට්ටුදෙකේ දේශපාලනයක එරට නායකයන් නිරත වූයේ නැත. සිංගප්පූරුවේ දියුණුවේ නියමුවා වූ ‘ලී ක්වාන් යූ’ සැබෑ දේශප්‍රේමී නායකයෙකි. ඔහුගේ නිවැරදි නායකත්වය හා දැක්ම තුළින් සිංගප්පූරුව දියුණු විය. චීනය ලොවට විවෘත කරමින් දියුණුව කරා රැගෙන ගිය ‘ඩෙන් ෂියාවෝ පෙන්ග්’ මෙන්ම අභියෝග ජයගනිමින් මැලේසියාව සංවර්ධනය කරා ගෙන ගිය ‘මහතිර් මොහොමඩ්ද ජනතා හිතෛෂි පරමාදර්ශී දේශපාලන නායකයන්ය.

“රට ව්‍යසනයක තිබියදී අභියෝගය භාරගත්තා ජනපති රනිල්ට රට ගොඩනැඟීමට කාලය දෙන්න’ යනුවෙන් පැල්පොල විපස්සි නාහිමියන්ද ඉල්ලීමක් කර තිබිණි. එසේම ‘රනිල්ට මාස 3ක් කල් දෙමු’ හිසින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ද (2022 ජූලි 25 ‘මව්බිම’ මුල්පිටුව) ප්‍රකාශ කර තිබෙනු දුටිමි. නව ජනපති වික්‍රමසිංහ මහතාට සුබපතමින් චීන, ජපන්, රුසියන් ජනපතිවරුන් මෙන්ම ඉන්දීය අගමැතිවරයාද, ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල සහ ආසියානු සහ මැදපෙරදිග රටවල් රාජ්‍ය නායකයන් තානාපතිවරුන් සහාය පළ කර තිබෙනු මාධ්‍ය තුළින් දැකගැනීමට හැකි විය.

“බෙදීම ඉවරයි – එක්ව රට ගොඩනඟමු’ යනුවෙන් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ට විවෘත ආයාචනාවක්ද කර තිබේ. “මම රාජපක්ෂවරුන්ගේ මිතුරෙකු නොව ජනතාවගේ මිතුරෙක්’ බව ඔහු ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසා ඇති අයුරු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් දැකගත හැකි විය.

එහෙයින් අභිනව ජනපති වික්‍රමසිංහ මහතාටද පැහැර හැරිය නොහැකි වගකීමක් ඇත. එනම් රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ ගජමිතුරු දේශපාලකයන් දූෂණ වංචාවලට එරෙහිව කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබාදීමය. ජනතා මුදල් සොරා කෑ මජර දේශපාළුවන්ගේ දේපළ රාජසන්තක කිරීමට පියවර ගැනීමයි. ‘හදිසි නීතිය’ යොදාගෙන අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කොට ඔවුන් මර්දනය කිරීමට ක්‍රියා නොකොට ඔවුන්ද රට ගොඩනැඟීමේ මෙහෙවරට දායක කර ගැනීමට ක්‍රියා කිරීමයි. අරගලකරුවන්ගේ යෝජනා මෙන්ම ‘මහජන කවුන්සිලය’ ද පිළිගන්නා බව මීට පෙර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ යනු මන්ත්‍රිකම්, ඇමැතිකම්, අගමැතිකම් කර පළ පුරුද්ද මෙන්ම පළපුරුද්ද ඇති අත්දැකීම් බහුල ජේ‍යෂ්ඨ කෘතහස්ථ, පරිණත දේශපාලනඥයකු බව දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගන්නා බැහැර කළ නොහැකි සත්‍යයකි. ඔහුගේ දේශපාලන පක්ෂය පාට, මතවාදය, (ලිබරල්වාදයද – සමාජවාදයද, ධනවාදයද කියා) අපට වැදගත් නැත. එදා “පාස්කු ප්‍රහාරයට”, “ මහ බැංකු හොරකමට” ඔහුට ඇඟිල්ල දිගු කරමින් චෝදනා එල්ල කළ දේශපාලකයෝ අද ඔහුට සමීප වී සිටිති. අගමැතිකම් ඇමැතිකම් ලබා ගෙන එක්ව සිටිති.

ජීවන බරින් ජනතාව මුදා ගත යුතුය. තෙල්, ගෑස් පෝලිම්වලට තිත තැබිය යුතුය. රාජ්‍ය සේවක වැටුප් වැඩිවිය යුතු අතර අසරණ දිළිඳු ජනතාවට කඩිනමින්, සහනාධාර ලබාදිය යුතුය. ජීවන අරගලය ජයග්‍රහණය කිරීම ප්‍රමුඛතම කාර්යයි. පෝලිම්වල අකාලයේ මිනිසුන් මියයෑම නතර කළ යුතුය. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟා ආර්ථික සමෘද්ධිය ඇති කර ‘මව්බිම’ අගාධයෙන් අර්බුදයෙන් මුදා ගැනීමට පටුවාද භේද ඉවතලිය යුතුයි.

රසික ප්‍රියංකර පෙරේරා පොතුපිටිය _ වාද්දුව