ගම්පහ සණස බැංකුවේ කෝටි 33ක් වංචා කළ සැකකරුවන් 13දෙනා 23 දක්වා රිමාන්ඩ්

0
12

රටේ පවතින පොදු නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතු‍යි. මේ විධියට රටේ නීතිය දුප්පතාට අවාසි වෙන ලෙසත් පොහොසතුන්ට වාසිවෙන ලෙසත් ක්‍රියාත්මක වෙනවා නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ගම්පහ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මහෙන්ද්‍රරාජා මහතා පැවැසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ගම්පහ මුදුන්ගොඩ සණස බැංකුවේ සිදුවී  ඇති රුපියල් තිස්තුන් කෝටි විසිහතර ලක්ෂයේ මුදල් වංචාව සම්බන්ධ නඩුව පසුගිය  9 වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී සැකකරුවන්  13 දෙනා මේ මස 23 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරමින්ය.

ගම්පහ පොලිසියේ  විශේෂ අපරාධ  විමර්ශන අංශය මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.  බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්වරියට 9 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි විනිසුරුවරයා නියෝග කර තිබුණද එම නොතීසියේ ඇයගේ  තනතුර නිවැරැදිව සඳහන්ව නොතිබූ හේතුව මත ඇය වෙනුවට සංවර්ධන නිලධාරිවරයකු මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවයේ නිරතව සිටි අනෙක් නිලධාරීන් ඇතුළු 13න් දෙනාගෙන් කාන්තාවන් හය දෙනකු මෙදින බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මීළඟ නඩුවාරයේදී බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්වරියට අධිකරණයේ පෙනී සිටින ලෙස නිවැරදි කළ නොතීසිය නැවත යවන ලෙස විනිසුරුවරයා පොලිසියට උපදෙස් දුන්නේය. මෙම මූල්‍ය වංචාවේ සියලුම තොරතුරු  කොමසාරිස්වරිය සතුව තිබෙන බැවින් ඇය පොලිසිය සහ අධිකරණය මඟහැරීම මෙම නඩුවේ රහස යැයි විනිසුරුවරයා පැවැසීය.

දුප්පත් අසරණ මිනිසෙක් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ඉල්ලුම් කළාම ඒ ආයතනය කොපමණ ඇපකර ඒ වෙනුවෙන් ඉල්ලනවාද? ඒත් මේ මුදුන්ගොඩ සණස බැංකුවේ සභාපතිවරයා සමුපකාර ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් මසකට දෙතුන්වාරයක් ඔහුගේ පවුලේ හවුල් ව්‍යාපාරවලට ලක්ෂ ගණනින් ණය ගනිද්දී මේ කිසිම නීතියක් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වී නැති බව අද දින  අධිකරණයට ඉදිරිපත් කළ විගණන වාර්තාවලින් ඔප්පු වී තිබෙනවා යැයි විනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.

පැමිණිලිකරුවන්ගේ නීතීඥවරයාවූ ප්‍රියන්ත ජයවර්ධන මහතා 2018 වසර දක්වා මෙම සණස මූල්‍ය ආයතනයෙන් එහි හිටපු සභාපතිවරයා වූ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විත්තිකරු තමාගේ පෞද්ගලික ව්‍යාපාර සඳහා අවස්ථා කිහිපයකදී ලබාගෙන තිබූ රුපියල් මිලියන දහතුනකට අධික විගණන වාර්තාවක් අධිකරණය ඉදිරියේ දින වකවානු සහිතව  ප්‍රකාශ කළේය.

විත්තිකරුවන් තිදෙනකු  වෙනුවෙන් පෙනීසිටි නීතීඥ කණ්ඩායම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත මුදුන්ගොඩ සණස බැංකුව සතුව චංචල දේපළ විශාල ප්‍රමාණයක් ඇතැයිද තැන්පත්කරුවන්ගේ මුදල් ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර සඳහා ආයෝජනය  කර ඇතැයිද එම දේපළ විකුණා මෙම ගනුදෙනුකරුවන්ට මුදල් ගෙවිය හැකි බව අධිකරණය හමුවේ පැවැසීය.

එසේනම් ඒ පිළිබඳව පැහැදිලි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රුපියල් තුන්කෝටි විසිහතර ලක්ෂයක මුදල් සහ ගිවිසුම් ගත පොලිය ගෙවීම පැහැර හැරීමට එරෙහිව  ගම්පහ විශේෂ අපරාධ  විමර්ශන ඒකකයට පැමිණිලි කරුවන් 14 දෙනකු යොමුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව පොදු දේපළ පනත යටතේ ගම්පහ මහෙස්ත්‍රාත්  අධිකරණයේ ගොනුකර ඇත.

ගනුදෙනුකරුවන් 1,115 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ප්‍රශ්නගත මුදුන්ගොඩ සණස බැංකුවේ තැන්පත් කර ඇති රුපියල් තිස්තුන් කෝටි විසිහතර ලක්ෂයක මුදලින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය වූ 2021 වසර අවසානය වන විට මෙම ගිණුමේ ඉතිරිව තිබුණේ රුපියල් දාහත් දහසක මුදලක් බවත් ගනුදෙනුකරුවන්ගේ ස්ථාවර තැන්පතු   කල්පිරුණු පසුව තම මුදල් ආපසු ලබාගනීමට යෑමේදී බැංකුව ඒවා නැවත ගෙවීම පැහැර හැරීම නිසා තැන්පත්කරුවන් 14 දෙනකු  මෙලෙස නීතිමය පියවර  ගෙන ඇත. මේ වන විට එම ආයත‍නයේ පරිපාලනය වෙනත් අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙත පවරා තිබේ.

ගම්පහ පොලිසියේ  විශේෂ අපරාධ  විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ගුණසේකර (66319) මහතා අධිකරණයට කරුණු දැක්වූ අතර පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතීඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා සහ ගයනී මාන්නප්පෙරුම මහත්මිය  අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතාගේ අධීක්ෂණය මත විමර්ශන  කටයුතු කෙරෙමින් පවතී.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි