කුඩු ගහන්න සල්ලි හොයන්න පාපැදි හයක් ඉස්සූ කුඩ්ඩෝ දැලේ

0
16

මොරටුව එගොඩඋයන සහ පානදුර ප්‍රදේශයන්හි පාපැදි 6ක් සොරකම් කරන ලද පුද්ගලයන් 3 දෙනකු එගොඩඋයන පොලිසිය විසින් (10දා) අත්අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 34 සහ 35 හැවිරිදි වියේ පසුවන තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින  පුද්ගලයන් තිදෙනකු වේ.

තැබෑරුම් අසල, නිවාස සහ වෙළෙඳසල් ඉදිරිපිට නවතා තිබූ පාපැදි සොරකම් කර ඇති අතර මෙසේ සොරකම් කරන ලද පාපැදි ඉතා අඩු මිලට අලෙවි කර ඇතැයිද, මෝදර මහල් නිවාස සහ ප්‍රදේශයේ තවත් නිවාසවල වෙසෙන කිහිප දෙනකුට මෙම පාපැදි අලෙවි කර ඇතැයි පොලිසිය කීවේය. මෙම පාපැදි සොරකම සම්බන්ධයෙන් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයිද පොලිසිය පැවැසීය.

එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ, සැරයන්ලා වන කුමාර (9203), රත්නායක (61892) සහ කොස්තාපල් ලසන්ත (23941) යන නිලධාරීන් මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොරටුව – ඉරංග ප්‍රනාන්දු