අපේ අධ්‍යාපනය වෙනුවෙන් යහපත් ක්‍රියාමාර්ග ගන්න මේ අවශ්‍යම කාලයයි

0
81

යම්කිසි දියුණු ශිෂ්ටාචාරයක, සභ්‍යත්වයක පදනම අධ්‍යාපනයයි. එයට අතීතයේ සිට අද දක්වාම සාක්ෂි සපයනු ලබයි. විජය කුමරු ශ්‍රී  ලංකාද්වීපයට ගොඩබට අවස්ථාවේ කුවේණිය කපු කටිමින් සිටි බව ‌ඓතිහාසික කතා පුවත්වලදී හමුවේ. එතුළින් වටහාගත හැකි කරුණක් ලෙස අතීතයේදී යම්කිසි ශිල්පීය ක්‍රමයක් අධ්‍යයනය කළ සමාජ ක්‍රමයක් පැවැතිණි.

අතීතයේ සිට මෙලෙස විධිමත් ආකාරයකට පැවැති අධ්‍යාපනය පිළිවෙළින් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයන් ත්‍රිත්වයේදී තව තවත් ක්‍රමවත් හා දියුණු තත්ත්වයකට පත් වූ අවස්ථාවන් හඳුනාගත හැකිය. ලාංකේය ඉතිහාසය තුළ පුරාණ කාලයේ සිට අධ්‍යාපනය කොතෙක්දුරට පැවැති බවද එකී අධ්‍යාපනය සඳහා දේශපාලන අධිකාරිය විසින් දක්වන ලද දායකත්වය මහාවංශය, දීපවංශය ආදී මූලාශ්‍ර තුළින් හඳුනාගත හැකිය.

මේවාට අනුව පැවිදි අධ්‍යාපනය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස දක්වා විහිද යයි. ලාංකේය ග්‍රාමීය ප්‍රදේශවල පැවිදි උතුමන් වෙනුවෙන් මෙන්ම ගිහි ජනතාව උදෙසා එකල දේශපාලනික අනුග්‍රහය නොමඳව ලබමින් ඇති කළ ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථානය වනුයේ ආරාම සහ පන්සල් තුළ ක්‍රියාත්මක වූ පිරිවෙන්ය. නමුත් ලාංකේය ඉතිහාසයේ සිට අතීත ජනප්‍රවාද හා මූලාශ්‍ර තුළ සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන විට අෑත අතීතයේ සිට පැවැති එම අධ්‍යාපන ක්‍ර‍මය සාධාරණද යන්න ප්‍රශ්නාර්ථයකි.

කුමාරවරුන්, රදලවරුන් ආදී ඉහළ ධනපති පන්තියට පමණක් අතීතයේදී ස්වකීය අධ්‍යාපනය ලිවීම, කියවීම ආදිය සඳහා ලබාගත්හ. බෞද්ධ ජනතාව වෙනුවෙන් අධ්‍යාපනය පිරිවෙන් භූමිය තුළ ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන විට බ්‍රාහ්මීන් සහ වෙල්ලාර්වරුන් විසින් දමිළ ප්‍රජාවට මෙකී අධ්‍යාපනය ලබාදෙන ලදී. අතීතයේදී ආගමික අධ්‍යයනය, ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා ආදිය විෂය අන්තර්ගතයන් ලෙස දක්නට ලැබිණි. අතීතයේදී සිටි අධික ජන සංඛ්‍යාවට සාපේක්ෂව අධ්‍යාපනය ලබන ප්‍රමාණය ඉතාමත් අවම ප්‍රතිශතයක් විය.

16 වැනි සියවස වනවිට ශ්‍රී  ලංකාව පෘතුග්‍රීසි පාලනයට නතුවීමත් සමඟ පෘතුග්‍රීසි මිෂනාරී කණ්ඩායම්, රෝමානු කතෝලික ධර්මය ප්‍රවර්ධනය කිරීමට පාසල් ගණනාවක් ආරම්භ කරමින් අධ්‍යාපනයේ වැදගත්කම දෘශ්‍යමාන කරන ලදී. එය වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වන්නා වූ ක්‍රමවේදයන් 1836 වර්ෂයේදී බි්‍රතාන්‍යයන් විසින් කෝල්බෘෘක් කොමිෂන් සභාවේ නිර්දේශයන් තුළින් පිහිටු වූ රජයේ පාසල්හි සම්මත ක්‍රමවේදයේ දිගුවකි. අනෙකුත් යටත් විජිත පාලකයන්ට සාපේක්ෂ්ව එංගලන්තයේ දේශපාලනික රාමුව තුළින් ලංකාව තුළ අධ්‍යාපනයෙහිලා යම් උපකාරයක් සිදු වූ බව නොරහසකි.

දේශපාලන අධිකාරියට තම අභිමතාර්ථයන් තුළින් අධ්‍යාපනය හිණිපෙත්තටම රැගෙන යා හැකි අතරම ඔවුන්ගේ තීරණ මතම අධ්‍යාපනය විනාශ කිරීමටද හැකියාව පවතින බව ඇතැම් අවස්ථාවලදී දැකගත හැකිය. එය අතීතයේ දේශපාලනය තුළින් මෙරට අධ්‍යාපනය වෙනුවෙන් කළ ඉමහත් සේවයත් වර්තමානයේ සිදු වන්නා වූ සිදුවීමනුත් දෙස බැලූ විට මනාව පැහැදිලි වේ.

ශ්‍රී  ලංකාවේ දේශපාලනික තීරණ මත ගොඩනැඟුණු මෙම ලාංකේය අධ්‍යාපනය ද්විතීයික මට්ටමින් තෘතීයික මට්ටමෙහි අධ්‍යාපන ආයතන දක්වා වැඩිදියුණු කිරීමටද 19 වැනි සියවසේදී පමණ බි්‍රතාන්‍යයන් විසින් කටයුතු කරන ලදී. මෙලෙස 19 වැනි සියවසේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී  ලංකාවේ නවීන අධ්‍යාපන ක්‍රමය ආරම්භ විය.

1940 දශ‌කයේ සිට රටේ පාසල්වලින් 60%ක්ම රජය සතු වූ අතර රජයේ පාසල්වල අධ්‍යාපනය 1942 වර්ෂයේ සිට නොමිලේ සිදු වූ අතර මෙම කාලසීමාව ශ්‍රී  ලාංකේය අධ්‍යාපන පද්ධතිය තුළ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් සනිටුහන් කරන ලදී. මෙහි සංධිස්ථානයක් වනුයේ එකල දේශපාලන අධිකාරිය විසින් රටෙහි අධ්‍යාපනය වෙනුවෙන් දැක්වූ උනන්දුව හා ඒ සඳහා දැක්වූ දායකත්වයයි. එනම් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා බාලාංශයේ සිට විශ්වවිද්‍යාල තෙක් නිදහස් අධ්‍යාපනය ලබාදීමත්, රටපුරා මධ්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමත්, අධ්‍යාපන මාධ්‍යයන් ජාතික භාෂාවන්ට වෙනස් කිරීම මෙන්ම තවත් ශිෂ්‍ය සුබසාධන පියවරයන් රාශියක් සිදු විණි. ඉතාමත් පහළ තත්ත්වයක තිබූ සාක්ෂරතා මට්ටමින් ශ්‍රී  ලංකාව තරමක් ඉහළ තත්ත්වයට පත්වීම සඳහා මෙම සංවර්ධනයන් ප්‍රබල ලෙස බලපෑම් කරන ලදී.

1945 වර්ෂයේදී නිදහස් අධ්‍යාපනයට අදාළ යෝජනාවලිය සම්මත වීමෙන් පසුව නිදහස් අධ්‍යාපනය පොදු සේවාවක් බවට පත් කිරීම එකල දේශපාලනය සිදු කළ වැදගත් සේවාවකි. 1948දී ශ්‍රී  ලංකාව නිදහස ලැබීමෙන් පසු නව අධ්‍යාපන ආයතන කිහිපයක් ආරම්භ කරන ලදී. එමෙන්ම යටත් විජිත යුගයේ පැවැති පෞද්ගලික පාසල් ගණනාවක් පශ්චාත් යටත් විජිත සමයේදී රජය සතු විය. 1960 පමණ වනවිට අධ්‍යාපන පද්ධතිය තුළ ගණිතය හා විද්‍යාව පිළිබඳ විෂයමාලා සංවර්ධනය කිරීම සඳහා විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටු වූ අතර ප්‍රථම වරට ශ්‍රී  ලංකාව තුළ 1980 දශකයේදී ජාත්‍යන්තර පාසල් ආරම්භ වීමක්ද සිදු විය.

ක්‍රමවත් මෙන්ම සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් වෙනුවෙන් 1986දී එවකට දේශපාලන අධිකාරිය විසින් ගුරුවරුන් සඳහා පුහුණු ලබාදීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨ සහ ගුරු මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී. රජය සතු මහජන මුදල් ක්‍රමවත් හා ඵලදායී ආයෝජන සඳහා මෙලෙස යෙදවීමෙහි ඵල අදටත් දක්නට ලැ‌බේ.

2020 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව වර්තමානය වනවිට ශ්‍රී  ලංකාවේ රජයේ පාසල් 10,155කට ආසන්න ප්‍රමාණයක් පවතී. නමුත් ඇතැම් පාසල් විවෘත කිරීමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් වැසී යනු දැකිය හැකිය.

ශ්‍රී  ලංකාව තුළ මෑත කාලයේදී රට තුළ පවතින මහජන ධනය අත්තනෝමතික ලෙස ඒකාධිකාරී බලතල භාවිත කරමින් විනාශ කරන බව පැහැදිලිය. රටෙහි සමස්ත ආදායමට වඩා වැඩි වියදමක් සහිත වීම මීට කදිම නිදසුනකි. රට තුළ පවතින ආර්ථික අර්බුදය අවම කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තව තවත් විදේශ ණය මත යැපෙන තත්ත්වයට පත් වී ඇත. මෙකී ආර්ථික බංකොගොත්භාවයට ඍජුව වගකිව යුත්තේ දේශපාලන අධිකාරිය වන අතරම, එකී බලපෑම මත අද වනවිට සිසුන් ඉතා වැඩි ප්‍රතිශතයක් පාසල් ගමන නිමා කර රැකියා සඳහා යොමු වී ඇත.

එයට ප්‍රධානම වශයෙන් මා දකින ආකාරයට දේශපාලනඥයන්ගේ පවතින අදූරදර්ශී ක්‍රියාකලාපය හේතු විය. අධ්‍යාපනය යන්න දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සැමදෙනාටම පොදු අයිතිවාසිකමකි. නමුත් වර්තමානයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමේදී දුප්පත් ජනතාවට එකී අයිතිය නොලැබී ගොස් ඇත. එය ළමයින් පාසල් අධ්‍යාපනයෙන් දුරස් කිරීමට ප්‍රබලම හේතුවක් වී ඇත. එමෙන්ම එම දුරකථන, පරිගණක පහසුකම් ඇති ළමයින්ද ඒ සඳහා ක්‍රමවත් ආකාරයට යොමු නොවීම නිසා බොහෝ අකටයුතුකම්වලට පෙලඹීම ඉහළගොස් ඇත.

එක් එක් කාලවලදී ඒ ඒ දේශපාලකයන් විසින් තම අභිමතයන් මත ගනු ලබන ක්‍රියාකලාපයන් අධ්‍යාපනය ලබන දරු දැරිවියන්ට වඩා දේශපාලනඥයන්ටම වාසි සහගත වී ඇත. එයට උදාහරණ වශයෙන් පාසලක් ඉදිකිරීම සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් කොටසක් දේශපාලනඥයන්ගේ ගිණුමට බැරවීම පෙන්වා දිය හැකිය. අතීතයේදී එවකට දේශපාලන අධිකාරිය විසින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ ලබාදුන් පොත්, නිලඇඳුම් හැරුණු විට නිදහස් අධ්‍යාපනය යන්න කුමක්ද යන තරමටම අද වනවිට ප්‍රශ්න නිර්මාණය වී ඇත. දරුවන් වෙනුවෙන් පාසල් සංවර්ධනය සඳහා මවුපියන්ට මුදල් ලබාදීමට සිදු වී ඇත. නමුත් දේශපාලනඥයන් ඔවුන්ගේ නිවාස පවා මහජන මුදලින් ප්‍රතිසංස්කරණය කරගන්නා බව පෙනී යයි.

අය – වැයෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බව දක්නට තිබුණද එයින් මේ රට තුළ අධ්‍යාපනයෙහි වර්ධනය සඳහා සැලකිය යුතු ඉඩක් නිර්මාණය වී නොමැති බව පෙනී යයි. 2019 වසරින් පසුව දිගින් දිගටම කොවිඩ්-19 රෝගය නිසා වසා දැමූ පාසල් 2022 ලිපිය රචනා කරන මොහොත තෙක් අඛණ්ඩව විවෘත කර නොතිබිණි. රෝගය නිසා වසා දැමීමට කිසිවක් කිව නොහැකිය. එය රටේ සෑම දරුවකුගේම සෞඛ්‍ය වෙනුවෙන් ගත් තීරණයක් නිසාවෙනි. ඒත් වර්තමානයේ රටේ පවතින අස්ථාවරත්වය නිසා දරුවන්ගේ ජීවිත බිලිදීම සාධාරණද? එය හුදෙක් රටේ අනාගතයේ අඳුරු සෙවණැලි නොවේද? යහපත් හෙටක් වෙනුවෙන් අධ්‍යාපනයෙන් පිරිපුන් සුවහසක් දරුවන්ගේ අවශ්‍යතාව මතු වී ඇත.

විධායක, ව්‍යවස්ථාදායක ආදී රටේ පාලනය සිදු කරන ප්‍රධාන ආයතන තුළ නූගතුන් වැඩි ප්‍රතිශතයක් දක්නට ලැබීම තුළින් අධ්‍යාපනය වෙනුවෙන් දක්වන දායකත්වයේ අඩු බවක් හඳුනාගත හැකිය.  පාර්ලිමේන්තු සභාවක් අද වනවිට පාසල් ළමයින්ට බලාසිටීමට බැරි තත්ත්වයකට පත්ව ඇත. උගතුන්ගෙන් පිරිපුන් වූවානම් රටේ උත්තරීතර ආයතන එසේ ක්‍රියාත්මක වේවිද? මෙකී බහුතරයක් නූගත් දේශපාලනඥයන් විසින් ඔවුන් පසුකර බුද්ධිමතුන් වර්ධනය වේ යැයි අනිසි බියක් පවතින බවක් ඔවුන් සිදු කරන අමනෝඥ ක්‍රියාකලාපයන් තුළින් පෙනී යයි. රට තුළ අත්‍යවශ්‍ය සේවාවක් බවටවත් පත් නොවූ අධ්‍යාපනයක් ඇති ශ්‍රී  ලංකාවේ අද වනවිට ගුරුවරුන් මෙන්ම ළමයින්ද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අන්තර්ජාල පහසුකම් සොයා කඳු, ගස් මත නඟිමින් බොහෝදුර ඇවිද යමින් අති දුෂ්කර කාලයක් ගෙවමින් සිටී. ඒ පිළිබඳව කිසිදිනක පාර්ලිමේන්තුව තුළ කතිකාවතක් ගොඩනැඟී නැත.

පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරයෙන්ම රටේ අනාගතය කෙබඳු වේද යන්න තීරණය කර ගත හැකි තත්ත්වයක් පත්වී ඇත. ආත්මාර්ථකාමී පටු අරමුණු වෙනුවෙන් ජාතිය ආගම මෙන්ම අධ්‍යාපනයද විකුණාගෙන කන දේශපාලනයක් අති නූතන කාලයේදී දක්නට ලැබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට මුහුණ දී උසස් ලෙස සමත්ව විශ්වවිද්‍යාලයන් තුළට ඇතුළත් වූ විද්‍යාර්ථින් කෙතරම් වූ හීන ගොඩක් හිතේ තබාගෙන ස්වකීය අධ්‍යාපනයේ හිනිපෙත්තට ගමන් කළද අද වනවිට විශ්වවිද්‍යාල සිසුවා නිවෙසට වී සිටී. රටේ අනාගත ශ්‍රම බළකාය, අනාගත පරපුර මෙසේ නිවෙසට වී සිටීම තුළින් වර්තමානයේ මෙන්ම ගැටලු අනාගතයේදීද ඇති විය හැකි බවක් මාගේ මතයයි. මක්නිසාද යත් ඔවුන්ගේ දැනුම ක්‍රම ක්‍රමයෙන් මෙකී රටේ අභිවෘද්ධිය සඳහා භාවිත කළ යුතු නොවේද?

දුෂ්කර ග්‍රාමීය පාසල්වල තාක්ෂණය නොමැති දරුවන් වෙනුවෙන් තාක්ෂණය ලබාදෙනවා මෙන්ම ඒ ආසන්න ප්‍රදේශවල විශ්වවිද්‍යාල සිසුන් හරහා තරමක හෝ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තාවකාලිකව ස්ථාපනය කිරීමද ඉතා වටිනා කාර්යයකි. ඔවුන්ගේ සුන්දර සරසවි අධ්‍යාපනය නැවත ආරම්භ කර රටේ බුද්ධිමත් පුරවැසියන් තව තවත් දායාද කළ යුතුය. පෙර පාසලකට නොගිය ළමයින් අද විශාල සංඛ්‍යාවක් නිවෙසේ සිටම 3,4 ශේ‍ර්ණි දක්වා උසස්වීම් ලබා ඇත. ගෙබිමක වුවද පාදම නිවැරැදි වූත්, ශක්තිමත් වූත් නොවූයේ නම් පැවැත්ම අස්ථාවරය.  මෙසේ අධ්‍යාපනයේ විශාල කඩාවැටීමක් දේශපාලනඥයන් නිවැරැදි තීරණ ගෙන තිබුණේ නම් සිදු නොවෙනු ඇත.

පක්ෂ – විපක්ෂ භේදයකින් තොරව යහපත් කටයුතු සඳහා එකතු නොවෙමින් තම තමන්ගේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන ආත්මාර්ථකාමී දේශපාලකයන් නිසා අද ශ්‍රී  ලංකාවේ අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් අගාධයට ඇදී යනු දැකිය හැකිය. අධ්‍යාපනය වෙනුවෙන් සේවාවක් සිදු කරනු වෙනුවට දේශපාලන අවශ්‍යතා මත ගුරුවරු විදුහල්පතිවරුන්ට තර්ජනය කරමින් එකී ගුත්තිල පරපුර හෑල්ලු කරන අයුරු නිතර දැකිය හැකිය. නවගත්තේගම ප්‍රදේශයේ මෙසේ සිදුවීමක් සිදු විය.

පෙර පාසල් වියේ සිටින කුඩා දරුවන් මාර්ගස්ථ ක්‍රමයට දුරකථන හෝ පරිගණක හරහා අධ්‍යාපනය ලැබීමට අකැමැත්තක් දැක්වීමත්, ප්‍රාථමික අවධියේදී ළමා මනස තුළ පවතින කෙළිලොල් බව මාර්ගස්ථ ක්‍රමයෙන් හික්මවීමට අසමත් වීමත්, දුප්පත් පීඩිත පන්තියේ ජනතාවට අවශ්‍ය තාක්ෂණය නොමැති වීමත්, රට පුරා සිග්නල් පහසුකම් නොමැතිවීමත් ආදී පොදු ගැටලු ගණනාවක් හේතුවෙන් සමස්ත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බිඳ වැටී ඇති බවත් මේ සඳහා තවමත් රටෙහි දේශපාලනය විසින් සාර්ථක කඩිනම් පියවරයන් ගෙන නොමැති බවත් එකී හේතූන් නිසා අනාගත ශ්‍රී  ලංකාවේ අන්ධකාර සෙවණැලි වර්තමානයේ සිටම පෙනෙන බවත් පැහැදිලි කරුණකි.

කාලීන ගැටලු මෙලෙස අප දෑස් ඉදිරියේ පෙනෙන්නට ඇති කාලවකවානුවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් මා හට උචිත යැයි සිතන විසඳුම් මෙන්ම තවත් ගැඹුරු මාවතකට ගමන් කරමින් සරසවි ඇදුරුතුමකු වන රජරට විශ්වවිද්‍යාලයීය පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශයේ  ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජේ.එම්.එස්.බී. ජයසුන්දර මැතිතුමා සමඟ සිදු කළ සාකච්ඡාවකින් ගොනු කරගත් පරිණත අදහස් සමුදායක් ගැබ්ව නූතනයේ අධ්‍යාපනය‍ තුළ සිදුවිය යුතු යැයි අපේක්ෂිත බලාපොරොත්තු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

පුරාණ කාලයේදී පෙරදිග අධ්‍යාපනය ශිල්ප හා ශාස්ත්‍ර මත පදනම්ව පැවිතිණි. නමුත් අධිරාජ්‍යවාදී පාලකයන්ගේ පැමිණීමත් සමඟ බි්‍රතාන්‍ය මොඩලයටත් ඉන්පසුව අද වනවිට තරමක් අමෙරිකානු මොඩියුලයකටත් පරිවර්තනය වෙමින් පවති. නමුත් මෙම විපර්යාසයන් දෙස බැලීමේදි එදා ඉංග්‍රීසින්ගෙන් අපට උරුම වූ බි්‍රතාන්‍ය අධ්‍යාපන ක්‍රමය අද වනවිට ශ්‍රී  ලංකාව තුළ ඒ ආකාරයටම ක්‍රියාත්මක වුවද එංගලන්තය තුළ එය දැනට දශක දෙක තුනකට පෙරම වෙනස් විය. ගුණාත්මකභාවය වැඩි කිරීම, ප්‍රමිතීන් මත අධ්‍යාපනය තීරණය කිරීම වැනි අමෙරිකානු ක්‍රමවේදයන් තුළින් අද වනවිට දැනුම, කුසලතා හා ආකල්ප යන ප්‍රධාන කොටස් තුන ඒකාබද්ධ ප්‍රවේශයක ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ.

අතීතයේදී ශිල්ප ශාස්ත්‍ර තුළින් ගොඩනැඟුණු ආකල්ප දක්නට ලැබුණු අතර එකල පැවැති සාකල්‍යයේ ප්‍රවේශයෙන් යුත් අධ්‍යාපන ක්‍රමය ළමා මනසට හිතකාමී මෙන්ම ඔවුන්ගේ අදහස් තේරුම් ගත් අධ්‍යාපන ක්‍රමයක් බවද පෙන්වා දියහැකිය. සමස්ත ලෝකයම ගත් කල උතුරු යුරෝපානු රාජ්‍යයන්හි අධ්‍යාපනය ඉතාම දියුණු තත්ත්වයක පවතින අතරම එකී අධ්‍යාපන ක්‍රමවේදයන් තුළ ලංකාවෙහි මෙන් ළමා මනසට දැඩි අපහසුවක් ගෙනදෙන අවස්ථා නොමැත.  දේශයට යහපත් පුරවැසියකු නිර්මාණය කරන්නට වෙර දරන අධ්‍යාපන පද්ධතිය ගුරු සිසු සබඳතා තවත් ශක්තිමත් කරන යල් පැන ගිය ක්‍රමවේද පසෙකලා තව තවත් යාවත්කාලීන වූ ශක්තිමත් පද්ධතියක් ලෙස වෙනත් නොවන අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිර්මාණය විය යුතු බව මාගේ අදහසයි.

එමෙන්ම අද වනවිට රට තුළ පවතින ඉන්ධන අර්බුදයද යම් බලපෑමක් එල්ල වී ඇත. පෙනෙන මානයක රටෙහි ඇති වූ විවිධ අර්බුද දරු දැරියන් හෝ සිවිල් ජනතාව ඇති කළ දෙයක් නොවන බව ඉතාමත් පැහැදිලිය. කුඩා දේශපාලන පිරිසක් විසින් සිදු කරන ක්‍රියා නිසා සමස්ත මිලියන 22ක ජනතාවක් දුක්විඳින බවත් ඒ අතර සිටින අනාගතයේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන්, හමුදා නිලධාරීන්, නීතිඥයන්, ගුරුවරු ආදී නොයෙකුත් ක්ෂේත්‍රවලට නායකත්වය දෙන අද පිපෙන පුංචි මල් අසාධරණ හා අවාසනාවන්ත ලෙස ඉඩෝරයකට හසු වී අවසන්ය. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා වූ අධ්‍යාපන පද්ධතිය තුළ අඛණ්ඩව ඉගෙනුම් ඉගැන්වීම් නිසි සාර්ථක ක්‍රමවේදයකට සිදු කර ගැනීමට දේශපාලකයන්ගේ ඇස හා සිත යොමු වේවා යැයිද එකම ප්‍රාර්ථනයයි. නිසි ක්‍රියාදාමයන් තුළ මාර්ගස්ථ ක්‍රමයෙහි අඩුපාඩු අවම කරගනිමින් හෝ විකල්ප සාර්ථක ක්‍රමවේද ඔස්සේ හෝ රටෙහි අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍යම කාලවකවානුව බවට මෙකී කාලය පත් වී හමාරය.

ජයසංඛ සඳූන් ජයසූරිය

සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය

 රජරට විශ්වවිද්‍යාලය

 මිහින්තලේ