ලක්‍ෂ 80ක ඩීසල් ඇද්ද හම්බන්තොට ලොරි 2ක් අල්ලයි

0
97

බලපත්‍ර  නොමැතිව ප්‍රවාහනය කළ ඩීසල් ලීටර් 18,800ක් ඊයේ (10දා) අලුයම 03.20ට පමණ විශේෂ කාර්ය බළකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

හම්බන්තොට ධීවර වරායේ සිට මාළු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් සහ තවත් ලොරි රථයකින් හම්බන්තොට, වැල්ලවාය, පැලවත්ත ප්‍රදේශයට මෙම ප්‍රවාහනය සිදු කර ඇති බවත් අත්අඩංගුවට ගත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අසූවකට අධික වන බවත් මෙය මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම ඩීසල් තොගය බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය

හම්බන්තොට අවට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ලොරි රථ සහ ඩීසල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවත් විශේෂ කාර්ය බළකාය පැවැසීය.

මේ දක්වා රැස්කර තිබූ පෙට්රල් ලීටර් 44,777ක්, ඩීසල් ලීටර් 1,55,502ක් සහ භූමිතෙල් ලීටර් 20,208ක් සමඟ පුද්ගලයන් 1,321ක් දිවයින පුරා කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක යූ.ජී.එස් පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම් කටයුතු සිදු කර තිබේ.

මිතුන් ජයවර්ධන, තංගල්ල – සහම්පති මානගේ