මාව ජනපති කළෙත් නැති කළෙත් සමාජ මාධ්‍යයි

0
69

තමා ජනපති ධුරයට පත් කළා සේම ධුර කාලය අවසන් වීමට තිබියදී තම ප්‍රතිරූපය නැත්තටම නැතිකර දැමීමටද තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

ආණ්ඩු සෑදීමට මෙන්ම ආණ්ඩු පෙරළා දැමීමටද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බවද හෙතෙම කීය.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10දා) වේබ අඩවියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් හිටපු ජනපති මේ බව සඳහන් කළේය. පසුගිය මැයි 9 වැනිදායින් ආරම්භ වූ අරගලය පවා කිසිදු නායකයකු නොමැතිව එතරම් ශක්තිමත්ව නැඟී සිටියේ සමාජ මාධ්‍ය නිසා බවද ඔහු පැවැසීය.

මේ රටේ දහස් ගණනක් වූ තරුණයන්ගේ අත තිබූ ජංගම දුරකථනවල බලය හේතුවෙන් මේ රටේ පාලකයාට පවා රටින් පිට වී යෑමට සිදු වූ බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.

අතේ කිසිදු මුදලක් නොමැතිව එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා බවට පත් වූ දා පටන්ම විවිධ පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළැඹුණද බලවේගයක් බවට පත්ව රාජ්‍ය නායකත්වයට පත්වීමට ඉවහල් වූයේ සමාජ මාධ්‍ය යැයි ඔහු පැවැසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව බින්දුවටම ඇද වට්ටවා රටට එපාම කළ මිනිසකු බවට තමා පත් කළේද එදා බලයට පත් වීමට හේතු වූ සමාජ මාධ්‍ය විසින්ම බවත් හෙතෙම කීය.

තම ආණ්ඩු සමයේ පැවැති ජනාධිපති මාධ්‍ය අංශයේ බොහෝ නිලධාරීන් හොඳින් කටයුතු කළද දුර්වලතා රාශියක් පැවැති බව හිටපු ජනාධිපති සඳහන් කළේය.

යහපාලන සමයේ කිසිදු මාධ්‍යවේදියකුට තර්ජනය කර නැතැයිද ඔහු කීය.

2015 වසරට පෙර මෙරට පැවැති ආණ්ඩු හා සැසඳීමේදී එම කාල වකවානුවේදී කෙතරම් මාධ්‍යවේදීන් රට හැර ගියාද, මියගියාද යන්න සහ අතපය කඩාගෙන තුවාල ලැබුවාද යන්න සිතා බැලිය යුතු බවත් හෙතෙම පැවැසීය.

තම ආණ්ඩු සමයේ කිසිවකුටත් තුවක්කුවක උණ්ඩයක් එල්ල නොකළ බවද ඔහු අවධාරණය කළේය.

සවනි ශේශාධි