බැසිල් _ මහින්ද රට ගමන් තහනම සැප්: 5දා තෙක්

0
19

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් ලබන සැප්තැම්බර් 5 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය.

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එලෙස නියෝග කරන ලද්දේ ඔවුන් දෙදෙනා ඇතුළු 39 දෙනකු වග උත්තරකරුවන් කරමින් රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් සේ නම්කොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය සැප්තැම්බර් මස 4 වැනි දින දක්වා කල් තබමිනි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු විජිත් කේ. මලල්ගොඩ හා විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය යන ශේ‍ර්ෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම් විමසුම සිදු කෙරේ.

හිටපු ජනාධිපතිවරයාට හා මුදල් ඇමැතිවරයාට අමතරව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පී.බී. ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු 39 දෙනාගේ වැරදි තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී  ලංකා මහ බැංකුවේ සංචිත රුපියල් බිලියන 07.6ක් දක්වා පහත වැටුණු බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කොට සිටිති.

කමල් මහේන්ද්‍ර වීරරත්න