ගෝඨාභය සිංගප්පූරුවෙන් තායිලන්තයට

0
127

සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (11දා) තායිලන්තයට පැමිණීමට නියමිත යැයි එරට අගමැති ප්‍රයුන් චං ඕ චං විදෙස් මාධ්‍යයට පවසා ඇත.

ශ්‍රී  ලංකා රජය කළ රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් අනුව මානුෂික හේතු මත මෙම අවසරය ලැබෙන්නේ යැයි තායිලන්ත අගමැතිවරයා පැහැදිලි කර තිබේ.

ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපතක් හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට මාස තුනක වීසා කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට ඉඩ ලැබෙන්නේ යැයි ද විදේශ ඇමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පවසා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතාට තම රටට පැමිණීමට කිසිදු නෛතික බාධාවක් නොමැති යැයිද තායිලන්ත  රජයේ අවසරය සහිතව මෙම සංචාරය සිදුකෙරෙන්නේ යැයිද එරට විදේශ අමාත්‍ය ‍ෙදාන් ප්‍රමුද්විනායි ඊයේ (10දා) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී  ලංකාව හැර යෑමෙන් පසු කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් සිදුනොකළේ යැයිද මේ වනවිට ඔහු රටින් පිටවී යෑමෙන් පසු තෙවැනි රට වෙත පිටත් වන්නට කටයුතු සැලසුම් කර ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

සිංගප්පූරු රජය විසින් ලබාදී ඇති වීසා කාලය අවසන් වීම හේතුවෙන් නැවත ලංකාවට පැමිණීමට ගෝඨාභය  රාජපක්ෂ සූදානමින් සිටිය නමුත් ඔහුගේ නැවත පැමිණීමට මෙය කාලය නොවන බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා (31දා) වෝල් ස්ටී්‍රව් ජර්නල් වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.

මිතුන් ජයවර්ධන