සර්ව පාක්‍ෂික ආණ්ඩුව ගැන සජබෙ මත දෙකක්

0
1120

සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වීමට කැමැත්ත පළ කළහොත් එම පක්ෂයේ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානම් බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන් පිරිස පසුගිය දින කිහිපයකදී ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට ද දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක් ඇති දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහගෙන් මව්බිම කළ විමසීමකදී, එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් තමා පෞද්ගලිකව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට දැනටමත් තීරණය කර ඇති බව පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ වනවා නම් එය අන්තර්කාලීන විය යුතු බව ත්, එහි කැබිනට් මණ්ඩලය විස්සකට අඩු විය යුතු බව ත් තමා පක්ෂයට යෝජනා කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සමගි ජන බලවේගය ද එක්විය යුතු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇති නමුත් ඊට විරුද්ධව තවත් පිරිසක් මත පළ කර ඇති බව ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ‘මව්බිම’ ට පැවසීය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය රට වෙනුවෙන් ලබා දී කඩා වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමට කටයුතු කළ යුතුව ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නායකත්වය දැනුවත් කර ඇති බව ද දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය තුළ නිර්මාණය වී ඇති මෙම මත ගැටුම නිරාකරණය කිරීම සඳහා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 9) පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව පක්ෂයේ කළමනාකාර කමිටුවද අද සවස රැස්වීමට ද තීරණය කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.