“ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වනවා” – ජනපති

0
210

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආරක්ෂා කර පාර්ලිමේන්තුව රැස් වීමට ලබා දී යුද්ධ හමුදාව ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පැලවත්ත, අකුරේගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ අද (අගෝ. 9) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් අමතමින් මේ බව සඳහන් කළේය.

විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එදා ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී ව්‍යවස්ථාදායකය අක්‍රීය කළා නම්, රටේ ආණ්ඩුවක් නැති වන බව ත්, එසේ වූයේ නම් අද රට තුළ ඇති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බව ත් ඔහු සඳහන් කළේ ය.

එම මෙහෙයුම කිසිදු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකොට සාමකාමීව සිදු කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පළ කර සිටින බව එහිදී ජනාධිපතිවරයා පැවසීය.

ඔහු අවධාරණය කළේ, දැන් පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස් ජනතා විශ්වාසය දිනා ගැනීමට මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බව ය.

“අද මෙම විශේෂ උත්සවය සංවිධානය කළේ, පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තූතිය ඔබ සියලු දෙනාට ම ප්‍රකාශ කරන්න. මෙහි වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ කරුණු කිහිපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නත් මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නත් කටයුතු කරන එක.

ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන 3ක් තිබෙනවා. පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය. මේ ආයතන 3 ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ.

සිද්ධි ගැන කතා කරනවා නම් ජූලි 9 වන දා එවකට ජනාධිපතිතුමා හිටපු මන්දිරය ප්‍රචණ්ඩකාරීන් අත්පත් කරගත්තා. පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන කාර්යාලය, ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තා. ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසි ම ආයතනයක් තිබුණේ නැහැ. සවස් වෙන කොට අගමැතිතුමාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය ත් අත්පත් කරගත්තා. එම කාර්යාලයේ කටයුතුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එම අවස්ථාවේ කොළඹ නගරය තුළ හිටපු නැති නිසා, එතුමා ඉන්න තැන දන්නේ නැති නිසා, මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තැබුවා. නමුත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අගමැති කාර්යාලයක් පමණක් ඉතිරි වෙලා තිබුණා.

13 වන දා යළිත් පැමිණිලා අගමැති කාර්යාලයත් අත්පත් කර ගත්තා. එතකොට විධායකයට ක්‍රියාත්මක කරන්න කිසි ම කාර්යාලයක් නැහැ. එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායකය හැටියට ක්‍රියාත්මක කරන්න කිසි ම ස්ථානයක් තිබුණේ නැහැ. සවස් වන විට තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ල ගත්තනම් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැරි නම් රටේ ආණ්ඩුවක් නැහැ.

අධිකරණය වට කරලා අධිකරණය නවත්වන එක පහසු කාර්යයක්. අනිත් ආයතන දෙක වගේ නෙවේ. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. කතානායකතුමා දන්නවා, මේ කණ්ඩායම එනවා කියලා දැනගත්තහම පක්ෂ නායකයින්ගේ රැස්වීමත් අවසන් කළා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් ආණ්ඩුක්‍රමය නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වාටත්, හමුදාපති ලුතිතන් ජෙනරල් ලියනගේ මහතාට ත් මම කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා.

පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. පාර්ලිමේන්තුව නැති නිසා ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තමයි ඔබ සියලු දෙනාට භාර දුන්නේ ඒ කටයුත්ත කරන්න.

ඒ අනුව, පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට පැමිණි පිරිස්වලට වෙඩි තියන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ ගැන මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබේ කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂාව තිබෙන නිසා රටේ තත්ත්වය ඊළඟ දවසේ වෙනස් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගත්තේ නැතිනම් මේ තත්ත්වය අද රටේ නැහැ.

මේක උතුරේ දැක්ක විශාල සටන් වගේ නොවේයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්ත පියවරක්. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආරක්ෂා කරලා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ ලබා දී ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර තිබෙනවා. එමගින් රටත් ආරක්ෂා කරලා තිබෙනවා.

දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යාමයි. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස්, ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීවරු කරන්න ඕන. ඔබේ පියවර දැන් අවසන්. පාර්ලිමේන්තුවේ සියලු දෙනා ම එකට එකතුවෙලා ප්‍රශ්නය විසඳන්න ක්‍රියාකළ යුතුයි.”