තැපැල් ගාස්තුත් ඉහළට

0
249

රුපියල් 15ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

නව සංශෝධන සහිත ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත තැපැල්පතිවරයා විසින් ඉකුත් සිකුරාදා යවනු ලැබූ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ ට ඊයේ (අගෝ. 8) පැවසීය.

ඒ අනුව, මේ මස 15 වන දාට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බව ත් අනිවාර්යයෙන් ම මේ මාසය තුළ ගාස්තු සංශෝධනය සිදුවන බව ත් ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, නව සංශෝධන අනුව මූලික තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩිවන නමුත් නව සංශෝධන අනුව පාර්සල් ගාස්තු ඇතුළු සමහර ගාස්තු පවතින ප්‍රමාණයට වඩා අඩුවනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

විදේශ තැපැල් ගාස්තු හා පාර්සල් ගාස්තුව ද පසුගිය මාසයේදී ඉහළ නංවනු ලැබිණි. මීට පෙර දේශීය තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුවූයේ 2018 ජුනි මස 15 වන දා ය.