සිංහරාජය හරහා පාරක් කපන්නේ නෑ

0
39

සිංහරාජ වන රක්ෂිතය තුළ මාර්ග ඉදිකිරීමක් හෝ එහි ඇති මාර්ග පුළුල් කිරීමක් හෝ සිදු නොකරන බවට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයා හරහා ඊයේ (8දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගණේපොළ යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ රජයේ නීතිපති දෙපාර්තමේන්තු ජේ‍යෂ්ඨ නීතිඥවරිය එම ප්‍රතිඥාව ලබා දෙන ලද්දේ ඊට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ ‘රිට්’ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටිමින් ලෝක උරුමයක් වන සිංහරාජ අඩවියේ මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමෙන් පිරිමැසිය නොහැකි බරපතළ හානියක් සිදුවන බැවින් අධිකරණයේ අවධානය ඊට යොමු කරවන බවය.

එහිදී ජේ‍යෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණය අමතමින් පෙත්සමෙන් සඳහන් කරනු ලැබ ඇති පරිදි සිංහරාජ වන රක්ෂිතය තුළ එවැනි මාර්ග ඉදිකිරීමක් හෝ ගිං ගඟ ජල යෝජනා ක්‍රමය යටතේ ජලාශයක් එම රක්ෂිතය තුළ ඉදි කිරීමට හෝ පියවර නොගන්නා බවට අධිකරණය හමුවේ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රතිඥාවක් ලබාදෙන බවය.

ඒ අනුව පෙත්සම ලබන සැප්තැම්බර් මස 8 වැනි දිනට කල් තැබූ විනිසුරු මඬුල්ල එදිනට පවත්නා තත්ත්වය පිළිබඳව පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයටම නියම කළේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න