අලුත්වැඩියාවට තිබූ හෙයියන්තුඩුව විදුහලේ ඩෙස් පුටු අතුරුදන්

0
23

බියගම, හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයේ අලුත්වැඩියා කිරීම සඳහා එහි කොරිඩෝවේ තබා තිබූ ඩෙස් හා පුටු තොගයක් සොරකම් කරන ලද  පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ සමඟම එම ඩෙස් හා පුටුවලින් ඇවරිවත්ත ප්‍රදේශයේ පරණ යකඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබී පුටු 20ක යකඩ සැකිලි සමඟ ඒවා මිලදී ගත් පුද්ගලයකුද පොලිස් භාරයට ගැනිණි. 

මෙම පාසලේ කොරිඩෝවේ අලුත්වැඩියාවට තබා තිබූ ඩෙස් හා පුටු 75ක් මෙලෙස නැති වී ඇතැයි කියති.

මෙම පාසල වසා තිබූ කාලය තුළ එම පුටු හා ඩෙස් රාත්‍රියේ වරින් වර රැගෙන ගොස් තිබූ අතර එසේ රැගෙන ගොස් තිබූ එම භාණ්ඩවල වටිනාකම රුපියල් එක් ලක්ෂ අනූහය දහසක් පමණ වෙයි. පොලිස් නිලධාරීන් විසින් පාසලේ සවි කර තිබෙන සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ රූප රාමු නිරීක්ෂණය කොට ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගන්නා ලද මොවුන් හෙයියන්තුඩුව හා ඇවරිවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ට පොදු දේපළ පනත යටතේ මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරගෙන යයි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් මහේෂ් මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, පො.කො. ලක්මාල් (82436), ජීවන්ත (78311), අබේසිංහ (74265) හා කුමාර (71453) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කළහ.

බියගම – කේ. දුමින්ද , දෙල්ගොඩ _ බිහිදු විනුවර