T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0
275

ඇඹිලිපිටිය පොලිස් වසමේ පෙරේදා (අගෝ. 6) රාත්‍රි කාලයේදී ටී56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතරොම් 8ක් සහිත පතරොම් ගැබක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකා අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සමග සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් ද සොයා ගෙන ඇති බව පොලිසිය පැවසීය.

ඉන් එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කළ අංක තහඩු දෙකක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ක් සහ 38ක් වූ කහවත්ත සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් ඊයේ (අගෝ. 7) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝ. 17 දින දක්වා රක්ෂිත බනධනාගාරගත කර ඇත.

සැකකරුවන් අදාළ ගිනි අවිය, යතුරු පැදිය හා ව්‍යාජ අංක තහඩු භාවිත කර යම් අපරාධයක් සිදු කර ඇතැයි ද යන්න සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි.