IMF යන්න කියන්නේ වසලයන්

0
73

මෙරට තුළ මේ වන විට උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත යුතු බවට කිසිවෙක් පවසන්නේ නම්.

ඔවුන් වසලයන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

1978 සිට මේ දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවද ඒ මහතා පැවැසීය.

මෙතරම් විශාල විනාශයක් කළ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල ණය ලබාදීම සඳහා තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල්ව ඉදිරියට යන බවද ඒ සඳහා සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කිසිදු සහායක් ලබා නොදෙන බවද  ඒ මහතා සඳහන් කළේය.

තායිලන්තය, තායිවානය හා දකුණු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ යටි අරමුණ තේරුම් ගැනීම නිසා එම අරමුදල ලබාදුන් උපදෙස් ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රිවරයා පැවැසීය.

ආනයනය අපනයනය තුලනය කර ගැනීම තුළින් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ලබාදීම සඳහා පනවන කොන්දේසිවලට එකඟතාව පළ කරන දේශපාලකයන් මේ බව හොඳට තේරුම් ගත යුතු බවද නානායක්කාර මහතා මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත