සර්වපාක්ෂික ආණ්ඩුවට කට්ටිය කකුල් මාට්ටු දානවා

0
37

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය වැළැක්වීමට පාර්ලිමේන්තුවේ යම් පිරිසක්  කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය. එම උත්සාහය ව්‍යර්ථ කිරීමට යම් පිරිසක් කකුලෙන් අදින බවක් දිස්වන බවට හෙතෙම චෝදනා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉකුත්දා කාන්තා බල මණ්ඩල සාමාජිකයන් සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා සියල්ල අවසන් යැයි නිශ්චිතව කිව නොහැකි බවද හෙතෙම කීය. තවත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද හිටපු ජනපති පැවසීය. පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථා ගණනාවකදී යෝජනා ඉදිරිපත් කළ බවත් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කොට එම යෝජනා ක්‍රියාත්මක කළ හැකිද නොහැකිද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් සහාය දක්වන බව ප්‍රකාශ කළද තවත් පිරිසක් ඒ සඳහා සහාය ලබා නොදෙන බව ප්‍රකශ කොට ඇතැයිද හෙතෙම පැවැසීය. එසේ වූ විට එය යළිත් සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවට පත් වීමේ වැඩි ඉඩ කඩක් ඇතැයිද ඔහු කීය.

ඇති වූ ආර්ථික අර්බුද හමුවේ ඒවා විසඳීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක්  පිහිටුවිය යුතු යැයි කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කළ බවද හිටපු ජනපතිවරයා අවධාරණය කළේය. වසරක පමණ කාලයක සිට ශ්‍රීලනිප සටන් පාඨය සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන් බවත් ඒ තුළ පක්ෂයක් ලෙස වගකීම් ඉෂ්ට කොට ඇති බවත් ඔහු පැවැසීය.

එය ඉටු කිරීමේ වගකීම මේ වන විට පැවැරී ඇත්තේ රජයට වුවත් එම පාර්ශ්වයෙන් එය ඉටු කිරීමේදී යම් බාධා සිදුවන බවක් දක්නට ලැබෙන බවද හෙතෙම කීය.

ආණ්ඩුවට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් ඒ සඳහා කමිටුවක් පත් කොට නීතිපතිගෙන් අවශ්‍ය උපදෙස් ගෙන කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මාසයක් ඇතුළත එය ඉටු කර ගත හැකි යැයිද හිටපු ජනපති පැවැසීය. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට අවශ්‍ය නම් දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

එම ස්ථාවරත්වය ලෝකයට පෙන්විය හැකි තමා දන්නා හොඳම ක්‍රමය සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම බවද හිටපු ජනපති කීය.

සවනි ශේශාධි