ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව් මාෆියාවක්

0
142

ඉතාලියට යෑම සඳහා වීසා ලබාගැනීමට වීසා නිකුත් කිරීමේ කාර්යාලයට පැමිණෙන අයවලුන්ගෙන් තැරැව්කරුවන් විසින් ඉතා විශාල ලෙස මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරිය හෙළි කරන ලද තොරතුරු මත පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව තානාපති ආරක්‍ෂක කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තානාපති ආරක්‍ෂක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් වැළැක්වීමේ අංශයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා යන මහත්වරුන් ඉකුත්දා ඉතාලි තානාපතිනිය හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමත් සමඟ මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

එමෙන්ම ඉතාලි යෑම සඳහා වීසා ලබාගැනීමට පැමිණෙන පිරිස් ඉතා විශාල ලෙස ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම කෙරෙහි ඉතාලි තානාපතිවරිය මෙම ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැනුවත් කර ඇති අතර මීට වසර කිහිපයකට පෙර ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සියයට 10ක ප්‍රතිශතයක් තිබුණද වත්මන් තත්ත්වය මත එය සියයට 80කටත් වඩා ඉක්මවා ගොස් ඇතැයිද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉතාලියට යෑම සඳහා වීසා ලබා ගැනීමට කොල්ලුපිටියේ පිහිටි වීසා කාර්යාලයට රාත්‍රියේ සිටම පිරිස් පැමිණෙන බවත් තැරැව්කරුවන් කණ්ඩායමක් විසින් ඒ සඳහා පෝලිම් ගැසී සිටින පුද්ගලයන්ගෙන් රුපියල් විසිතිස් දාහ කප්පම් ලබාගනිමින් පෝලිමේ මුල අලෙවි කරන බවත් තානාපතිනිය සාකච්ඡාවට පැමිණි පොලිස් අධිකාරිවරුන්ට පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය මත වීසා කාර්යාලය දිගින් දිගටම මෙරට පවත්වාගෙන යෑම ගැටලුවක් බවත් ඇය පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් බලධාරීන් දැනුවත් කළද පොලිසිය කිසිදු පියවරක් ගෙන නැති බවද ඇය පෙන්වා දී තිබේ.

මේ අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන්ද මෙම ජාවාරමට හවුල් බවට සැකකරන බවත් කප්පම් ගෙන වීසා පෝලිමේ මුල ලබාදීම සිදුකරන ප්‍රධාන තැරැව්කරු පොලිසිය වෙත කැඳවීමෙන් පසු කිසිදු විමර්ශනයක් සිදු නොකර මුදා හැර ඇති බවත් ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් අවධාරණය කළේය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත ඉතාලි තානාපතිනිය ලබාදුන් තොරතුරු ඔවුන් විසින් පොලිස්පතිවරයා ඇතුළු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලක) ද දැනුවත් කිරීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් මත වීසා කාර්යාලය අසල සිදුකරන මෙම ජාවාරම සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ද පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර එම කාර්යාංශය වෙත තානාපති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන්ද යොදවා තිබේ.

මෙහිදී ඉතාලියට යෑම සඳහා වීසා ලබා ගැනීමට ඉදිරිපත් කරන ව්‍යාජ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඉතාලි තානාපතිනිය හමුවේ ඇති බව ඇය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පෙන්වා දී තිබේ. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාවාරම් වැළැක්වීමේ අධ්‍යක්‍ෂවරයා පවසා ඇත්තේ එවන් ව්‍යාජ ලිපි ලේඛන විමර්ශනය කිරීම සඳහා අපරාධ  පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසය.

රුපියල් 30,000 සිට ඉහළට නොයෙක් අගයන් පෙන්වමින් මුදල් ලබා ගන්නා සංවිධානාත්මක තැරැව්කරුවන් කොටු කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු ඉතාලි තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීමේ ඒකකයේ ආරක්‍ෂාව තර කර ඇති බවත් වාර්තා වේ.

කීර්ති මෙන්ඩිස්