Voyager 1 පෘථිවිය එක්ක කරන ගනුදෙනුව නවත්වයිද?

0
425

පෘථිවියේ සිට දළ වශයෙන් කිලෝමීටර බිලියන 23ක් (ඒඋ 153) දුරින් ගමන් කරන Voyager 1 අභ්‍යවකාශ ගවේෂණය යානය අදටත් පෘථිවිය සමඟ සන්නිවේදනය කරනු ලබනවා. මෙතරම් දුරකින් ගමන් කරන Voyager 1 යානය තවමත් පෘථිවිය සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද? Voyager 1 යානය පෘථිවිය සමඟ සන්නිවේදනය කිරීම නවත්වන්නේ කවදාද? අදින් වසර 45කට පෙර එනම් වර්ෂ 1977 සැප්තැම්බර් මාසයේ අභ්‍යවකාශ ගත කළ Voyager 1 යානය මේ වන විට ආසන්න වශයෙන් පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 23ක දුරින් පැයට කි.මී 61,500ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කර ඇති මිනිසා විසින් නිර්මාණය කළ පළමු අභ්‍යවකාශ යානය වන්නේද Voyager 1 යානයයි. 1980 ගණන්වලදී අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා තිබෙන අවසාන ග්‍රහයන් 4දෙනා වන බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ දර්ශන සහිත ඡායාරූප මානව වර්ගයාට ප්‍රථම වරට දැක ගැනීමට ලබා දීමෙන් අනතුරුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ප්‍රදේශය ගවේෂණය සඳහා ගමන් කරනු ලැබුවා. මෙසේ ආරම්භ කළ ගමන සාර්ථකත්වයට පත් කරමින් වර්ෂ 2012 අගෝස්තු මාසයේදී Voyager 1 යානය සූර්යයාගේ සුළඟින් සෑදී ඇති ආරක්ෂිත බුබුළ (heliosphere) හරහා අන්තර් තාරකා අභ්‍යවකාශය (interstellar space) වෙත ගමන් කරනු ලබනවා.

මේ ආකාරයෙන් අන්තර් තාරකා අභ්‍යවකාශයේ (interstellar space) ගමන් ඇරැඹි Voyager 1 යානය අද වන විට ආසන්න වශයෙන් සූර්යාගේ සිට කිලෝමීටර බිලියන 22ක පමණ දුරක් ගමන් කර තිබෙනවා. මෙතරම් දුරක් ගමන් කර තිබුණත් තවමත් පෘථිවිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව Voyager 1 යානයෙන් ගිලිහී ගොස් නැහැ. මේ ගැන The Atlantic නමැති වෙබ් අඩවියේ ලේඛිකාවක් වන Marina Koren මහත්මිය ඉතාමත් ලස්සනට සඳහන් කර තිබෙනවා (And they still call home It takes a while but they do)

අභ්‍යවකාශයේ සිට සිදුවන සෑම සන්නිවේදන කටයුත්තක්ම සිදු වන්නේ විද්‍යුත් චුම්භක තරංගවල උපකාරය ඇතිවයි. රේඩියෝ තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත විකිරණය, දෘශ්‍ය ආලෝකය, පාරජම්බුල විකිරණය, එක්ස් කිරණ සහ ගැමා කිරණ වැනි විද්‍යුත් චුම්භක තරංග අතරින් සන්නිවේදන කටයුතු සඳහා යොදාගනු ලබන්නේ රේඩියෝ තරංග වේ. විද්‍යුත් චුම්භක තරංග විවිධ මාධ්‍යයන් තුළ විවිධ වේගයෙන් ගමන් කළත් රික්තයක් තුළ සියලු විද්‍යුත් චුම්භක තරංග ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙනි. අභ්‍යවකාශය සම්පූර්ණයෙන්ම රික්තයක් නොවුණත් රික්තයකට සමාන ලක්ෂණ ඇති නිසා අභ්‍යවකාශය තුළත් විද්‍යුත් චුම්භක තරංග ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරනු ලබනවා.

කෙසේ වෙතත් පසුගිය වසර පනහක කාලය තුළ සන්නිවේදන තාක්‍ෂණයේ කැපී පෙනෙන දියුණුවත් සමඟ සන්නිවේදන කටයුතු සඳහා Laser Communications Relay Demonstration (LCRD) ලෙස නව සන්නිවේදන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට NASA ආයතනය කටයුතු කරනු ලැබුවා. මෙහිදී රේඩියෝ තරංග වෙනුවට ලේසර් තාක්ෂණය භාවිත කරනු ලබනවා. කෙසේ නමුත් Voyager 1 යානය නිර්මාණය කරන සමයේ මෙම LCRD තාක්ෂණය සොයාගෙන නොතිබූ නිසා Voyager 1 යානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරනු ලබන්නේ රේඩියෝ තරංග වේ.

Voyager 1 යානයේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට සහ තොරතුරු ලබා ගැනීමට අඩි 12ක විශ්කම්භයකින් යුක්ත High Gain Cassegrain ඇන්ටනා එකක් භාවිත වෙනවා. අභ්‍යවකාශ යානයේ ඇති මෙම ඇන්ටනා එකෙහි දිශානතිය පෘථිවිය තිබෙන දිශාවට කර තබා ගැනීමට Attitude and Articulation Control Subsystem (AACS) එක භාවිත කරනු ලබනවා. 2.3 GHz හෝ 8.4 GHz සංඛ්‍යාතයක් ඔස්සේ පෘථිවිය වෙත දත්ත සම්ප්‍රේෂණය කරන මෙම Voyager 1 යානය 2.1 GHz සංඛ්‍යාතයක් ඔස්සේ පෘථිවියෙන් පැමිණෙන දත්ත යානය තුළට ලබා ගැනීම සිදුකරනවා. පෘථිවියත් සමඟ යම් හේතුවක් නිසා සන්නිවේදනය බිඳ වැටී ඇති අවස්ථාවක දත්ත ගබඩා කර තබා ගෙන පසුව නැවතත් ඒවා සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙගාබයිට් 67ක digital tape recorder (DTR) එකක්ද මෙම Voyager 1 යානය සතුව පවතිනවා.

Voyager 1 යානය radioisotope thermoelectric generators RTG තුනකින් බල ගැන්වෙනවා. (RTG) එකක් යනු න්‍යෂ්ටික බැටරියකි. විකිරණශීලී ද්‍රව්‍යයක් දිරාපත් වීමෙන් නිකුත් වන තාපය සීබෙක් ආචරණය මඟින් විදුලිය බවට පරිවර්තනය කිරීම මෙහිදී සිදු වෙනවා.

Voyager 1 යානය සෑම දිනකම පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කරනු ලබනවා. අභ්‍යවකාශ යානයේ අවට පරිසරය පිළිබඳ තොරතුරු තත්‍ය කාලයේම (real-time) ලබා ගෙන ඒවා රේඩියෝ තරංග ආකාරයෙන් පෘථිවියට සම්ප්‍රේෂණය කරනු ලබනවා. මෙසේ පැමිණෙන රේඩියෝ තරංග නාසා ආයතනයේ Deep Space Network (DSN) එකට අයිති බලවත් ඇන්ටනා මඟින් හසුකර ගනු ලබනවා. Deep Space Network එක යනු නාසා ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන අභ්‍යවකාශ යානා සමඟ සන්නිවේදන කටයුතු කිරීම සඳහා සන්නිවේදන පහසුකම් සපයන ලෝක ව්‍යාප්ත අධි බලැති ඇන්ටනා ජාලයකි. DSN එකට අයිති ඇන්ටනා ලොව පුරා ස්ථාපනය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය යන රටවල මෙම අධි බලැති ඇන්ටනා ස්ථාපනය කර තිබෙනවා. Voyager 1 මඟින් සම්ප්‍රේෂණය කරනු ලබන දත්ත පෘථිවිය වෙත පැමිණීමට පැය 19ක් පමණ ගත වෙනවා.

යම්කිසි අභ්‍යවකාශ යානයක් ගමන් කර ඇති දුර වැඩි වන තරමට ඒවා මඟින් සම්ප්‍රේෂණය කරනු ලබන රේඩියෝ තරංග හඳුනා ගැනීමට අවශ්‍ය කරන ඇන්ටනාව විශාලත්වයෙන් වැඩි විය යුතු වෙනවා. මේ හේතුව නිසා Voyager 1 මඟින් සම්ප්‍රේෂණය කරනු ලබන රේඩියෝ තරංග හඳුනා ගැනීමට විශාලත්වයෙන් වැඩි ඇන්ටනා අවශ්‍ය වෙනවා. DSN එක තුළ ඇති විශාලත්වයෙන් වැඩිම ඇන්ටනාවේ විෂ්කම්භය මීටර් 70කි.

Voyager 1 යානය පෘථිවියේ සිට විශාල දුරකින් පිහිටා තිබීම නිසාම එමඟින් සිදු කරනු ලබන සම්ප්‍රේෂණ සංඥා ඉතා දුර්වල මට්ටමක පවතිනවා. Voyager 1 සම්ප්‍රේෂණ සංඥා මගින් DSN ඇන්ටනාවක් ලබා ගන්නා බලය ඩිජිටල් ඔරලෝසුවක් ධාවනය කිරීමට අවශ්‍ය බලය මෙන් බිලියන 20 ගුණයක දුර්වලතාවකින් යුක්ත වෙනවා. එම දුර්වල සංඥා ඉහළ නැංවීමේ ක්‍රම ඉන්ජිනේරුවන් විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ DSN එක ලබා ගන්නා තොරතුරු කැලිෆෝනියාවේ පැසඩෙනාහි Space Flight Operations Facility at the Jet Propulsion Laboratory වෙත යවනු ලබනවා. එහිදී Voyager 1 යානාව එවන ලද ඡායාරූප හෝ අනෙකුත් දත්ත සකසා විද්‍යාඥයන් සහ සෙසු ජනයා සමඟ බෙදා ගැනෙනවා.

RTG ත්‍රිත්වය මඟින් සපයනු ලබන අභ්‍යවකාශ යානාවට අවශ්‍ය විද්‍යුත් බලය සෑම දිනකම හීන වෙමින් පවතිනවා. මේ නිසාම Voyager 1 යානාවේ Imaging Science Subsystem (ISS) එක 1990 වසරේදීත් Infrared Interferometer Spectrometer and Radiometer (IRIS) එක 1998 වසරේදීත් Planetary Radio Astronomy (PRA) එක 2008 වසරේදීත් Ultra Violet Spectrometer (UVS) එක 2016 වසරේදීත් වසා දමනු ලැබුවා. දැනට ක්‍රියාත්මකව පවතින්නේ Cosmic Ray Subsystem (CRS) එක (කොස්මික් කිරණ හඳුනා ගැනීමට භාවිත වේ.) Magnetometer (MAG) එක (දුර සහ වේලාව අනුව සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්වීම් මැන බැලීමට භාවිත වේ.) Plasma Wave Subsystem (PWS) එක (ඉලෙක්ට්‍රෝන ඝනත්වය මැනිය හැකි අඩු සංඛ්‍යාත තරංගාකාර ග්‍රාහකයකි.) සහ Low-Energy Charged Particles (LECP) යන ඒවා පමණී. මෙසේ සිදු කළේ Voyager 1 යානාවේ බලය ඉතිරි කර ගැනීම අභිප්‍රායෙනි. මීට අමතරව 1990 වසරේ මතකය ඉතිරිකර ගැනීම සඳහා Voyager 1 යානයේ කැමරා පද්ධතිය වසා දැමුවේ ‘Solar System Family Portrait’ නමැති ඡායාරූපය Voyager 1 කැමරාවේ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි. ‘Pale Blue Dot’ නැමති සුප්‍රසිද්ධ ඡායාරූපයේ කැමරා ශිල්පියා වන්නේද මෙම Voyager 1 අභ්‍යවකාශ යානාවයි.

ඉහත සඳහන් කළ පරිදි Voyager 1 අභ්‍යවකාශ යානයේ ජනනය වන බලයේ වොට් 4ක අඩුවීමක් සෑම වසරකම සිදුවනවා. 2021 මැයි 14 වන විට Voyager 1 යානය දියත් කරන විට පැවැති Plutonium-238 ප්‍රමාණයෙන් 70.8%ක ප්‍රමාණයක් ඉතිරිව පවතිනවා. 2050 වන විට මෙම plutonium-238 ප්‍රමාණය 56.5% දක්වා අවසන් වන බවට ගණන් බලා තිබෙනවා. එම ප්‍රමාණය යානයේ ක්‍රියාකාරී වීමට නොහැකි තරම් අඩු ප්‍රමාණයකි.

කෙසේ නමුත් 2025 පමණ වන තෙක් Voyager 1 අභ්‍යවකාශ යානයේ අවම වශයෙන් එක් විද්‍යා උපකරණයක් හෝ ක්‍රියාත්මක වනු ඇතැයි ඉන්ජිනේරුවන් අපේක්ෂා කරනු ලබනවා.

Voyager යානා උපයෝගී කොට ගෙන පෘථිවි වාසින් නොවන පිරිසක් සමඟ සන්නිවේදනය කිරීමේ උත්සාහයක්.

1977 දියත් කරන ලද Voyager අභ්‍යවකාශ යානා ද්විත්වය තුළ ෆොනෝග්‍රාෆ් වාර්තා phonograph records දෙකක් ඇතුළත් කර ඇති අතර ඒවා තුළ පෘථිවි ජීවයේ පවතින විවිධත්වය නිරූපණය කිරීමට තෝරාගත් ශබ්ද සහ රූප වාර්තා අඩංගු වන අතර මෙවැනි දෙයක් Voyager අභ්‍යවකාශ යානා සමඟ දියත් කිරීමේ අරමුණ වන්නේ යම්කිසි හෙයකින් පිටසක්වළ ජිවීන් කොටසක් මෙම වාර්තා සොයාගතහොත් ඔවුනට පෘථිවියේ පවතින ජීවය ගැන කියා පෑමටයි.

මෙම වාර්තා සඳහා ඇතුළත් කළ යුතු අන්තර්ගතය කුමක්ද යන්න තීරණය කිරීම සඳහා ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ Carl Sagan මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලබනවා. මෙම කමිටුවට එම අන්තර්ගතය තීරණය කිරීම සඳහා අවුරුද්දකට අධික කාලයක් ගත වෙනවා. අවසානයේ ඉචඨචද සහ ඔහුගේ පිරිස මෙම ෆොනෝග්‍රාෆ් වාර්තාවල අන්තර්ගතය ලෙස ගණිතමය හා භෞතික ප්‍රමාණ සෞරග්‍රහ මණ්ඩලය සහ එහි ග්‍රහලෝක ච්ව්ඒ සහ මානව ව්‍යුහය සහ ප්‍රජනනය ආදී විවිධ වූ දෑ පෙන්වන කළු සුදු සහ වර්ණරූප 115කුත් සුළං හඬ රළ බිඳෙන හඬ සතුන්ගේ ශබ්ද වැනි විවිධ වූ ස්වභාවික ශබ්දත් පුරාණ සහ නවීන භාෂා 55 කින් යුක්ත සුබ පැතුම් ඇතුළත් හඬ පටයක් විවිධ සංස්කෘතීන් සහ යුගයන්වලින් තොරාගත් සංගීත භාණ්ඩ මෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ මුද්‍රිත පණිවුඩයක්ද මොවුන් තෝරා ගනු ලබනවා

මෙම වාර්තාව රන් ආලේපිත තඹවලින් නිර්මාණය කර ඇති අතර එහි විෂ්කම්භය අඟල් 12ක් වේ. වාර්තාවේ කවරය ඇලුමිනියම්වලින් නිමවා ඇති අතර එය uranium-238 සමස්ථානිකයේ පිරිසුදු සාම්පලයකින් විද්‍යුත් ලෝහාලේපනය කර ඇත. uranium-238 සමස්ථානිකයට වසර බිලියන 4468 අර්ධ ආයු කාලයක් ඇති අතර එම නිසා මෙම වාර්තා හමුවන ශිෂ්ටාචාරයකට වාර්තාවේ. වයස තීරණය කිරීම සඳහා ඉතිරිව ඇති යුරේනියම් සහ අනෙකුත් මූලද්‍රව්‍යන්වල අනුපාතයන් භාවිත කිරීමට හැකි වනු ඇත.

ඉතින් කෙදිනක හෝ නැවත Voyager 1 අභ්‍යවකාශ යානයේන් පෘථිවිය වෙත සම්ප්‍රේෂණ සංඥාවක් නොලැබෙන මොහොත දක්වාම Voyager 1 අභ්‍යවකාශ යානය මිනිස් සංහතිය වෙත අෑත අඳුරු විශ්වයේ ඇති තොරතුරු ලබා දෙනු ඇත.

සමීර මධුෂාන්