රෝහල්වල ගොඩගැසුණු නාඳුනන මළ සිරුරු

0
181

හඳුනා නොගත් මළ සිරුරු රෝහල් මෘත ශරීරාගාර තුළ ගොඩගැසී තිබීම හේතුවෙන් රෝහල් තුළ දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පෙන්වා දෙනු ලැබ තිබේ.

දිවයිනේ සෑම රෝහලක් තුළ ම එවැනි හඳුනා නොගත් මළ සිරුරු ගොඩගැසී තිබීම හේතුවෙන් වෙනත් මළ සිරුරු තැන්පත් කිරීමට ඉඩකඩ නොමැති දැඩි ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

නීතිමය පියවරකින් තොරව එම මළ සිරුරු රෝහල් මෘත ශරීරාගාරවලින් ඉවත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බැවින් ඊට අවශ්‍ය නීතිමය සංශෝධනයන් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම නිලධාරීන් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

මේ පිළිබඳව අවධානය යොමුකර ඇති අමාත්‍යවරයා, මෙම ගැටලුකාරී තත්ත්වය කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ සිදුවිය යුතු අදාළ සංශෝධන හා ඊට අනුකූලව අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිස් නීති අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.

මීට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති අතර, එම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පිරිසක් මෙන්ම පොලිස් නීති අධ්‍යක්ෂවරයා ද සහභාගි වී තිබේ.