කිරි නිපැයුම පහළට: ප්‍රෝටීන් ඌනතාව ඉහළට

0
404

කිරි නිෂ්පාදනය සියයට හතළිහක් දක්වා පහත වැටීම හේතුවෙන් ජනතාව ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙළෙන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පෙන්වා දෙයි.

සත්ත්ව ආහාර හිඟවීමත්, ඖෂධ හා එන්නත් වර්ග ආනයනය තහනම් කිරීමත් හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය මෙසේ පහත වැටී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේ ය.

ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා දෛනිකව කිරි මිලි ලීටර් 150ක් පමණ දරුවෙකුට ලබාදිය යුතු වුව ද එම ප්‍රමාණයන් ලබා දිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

ගව කර්මාන්තයට අවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය සහ දියර කිරි ප්‍රවාහනයට ඉන්ධන හිඟය බාධාවක් වී ඇති බැවින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව ද ගුණසේකර මහතා කීය.

ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50ක් වැය වන බව පැවැසූ සභාපතිවරයා ඉදිරියේදී එය රුපියල් බිලියන 75ක් දක්වා ඉහළ යනු ඇතැයි පෙන්වා දුන්නේ ය. ලංකාව පුරා කිරි ගවයන් මිලියන 1.3ක් සිටින බව ත් දිනකට කිරි ලීටර් 1.2 බැගින් වාර්ෂිකව ලීටර් මිලියන 480ක් එම සතුන් නිෂ්පාදනය කරන බව ත් හෙතෙම පැවැසීය.

ලංකාව පුරා කිරි ගොවිපොළවල් 33,000ක් ලියාපදිංචි කර තිබෙන බව පැවැසූ ගුණසේකර මහතා ගවයන් 2-10 අතර සිටින සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සියයට 65ක් සිටින බව ප්‍රකාශ කළේ ය.

ආහාර හා අනෙකුත් ද්‍රව්‍යවල හිඟය හේතුවෙන් ගොවීන් කිරි නිෂ්පාදනයෙන් ඈත් වෙමින් සිටින බව ත් රජය මැදිහත්ව විසඳුමක් ලබාදිය යුතු බව ත් ඔහු පැවසීය.