හොඳට හෝ නරකට කරන දේ රනිල් කියයි

0
75

විදේශ ණය කෙරෙහි මුලින්ම රටේ අවධානය යොමුකළ යුතු අතර, ආසියානු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතුව ඇතැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. මුලින්ම මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් ඇති කර ගත යුතු වන අතර, දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති බවත්, එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු බවත්, පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකි බවත්, ජනාධිපතිවරයා පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී  ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය කරමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) මඟින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොඳ හෝ නරක වුව ද, කවුරුන් කැමැති හෝ අකැමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැඟීසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බවද කීය.

එමෙන්ම පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිත කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඉහළ වේතන ලබන, ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇති තරගකාරී ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතු අතර, වර්ධනය වන විශාල වෙළෙඳපොළක් සහිත ආසියානු රටවල් සමඟ වෙළෙඳ සබඳතා ගොඩනඟාගත යුතු බවත්, වත්මන් ලෝක ආර්ථික තත්ත්වය කිසිදු රටකට හිතකර නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුළදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා.

අපට විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය, පරමාණු බලශක්තිය භාවිතය වැනි ක්‍ෂේත්‍ර පිළිබඳ සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතිය යුතුයි. රටේ ආර්ථිකය වර්ධනය නොකොට රටේ අනාගතය ප්‍රතිසංවිධානය කළ නොහැකියි.

සඳුනි ගමාරච්චි