සැඩ පාර සැර වුණා අත්වැලත් ගිලිහුණා අනේ මොනවා වුණා තුන්දෙනා විසිවුණා!

0
58

සැඩ දිය පහරක් කඩා වදින ඇළක් හරහා අත්වැල අල්ලාගෙන එගොඩ වෙමින් සිටි දැරියන් දෙදෙනකු හා වියපත් කතක් ජලපහරේ සැර දරාගත නොහැකිව ගසාගෙන ගිය ඒ සිත් කම්පා කරවන වීඩියෝ දසුන ඉකුත් දිනෙක ඔබද දකින්නට ඇත. ඔවුන් එවේලේ නැඟූ විලාපයද ඔබේ දෙසවනේ තවමත් දෝංකාර දෙනවා විය හැකිය. මේ ලියැවෙන්නේ ඒ කතාවය. කලකට පසු ඇදහැලුණු මහා ධාරානිපාත වරුසාවෙන් මුළු කඳුකරයම යටවී ගියා සේ විය. නගර ගම් බිම් ජලයෙන් යට වූවා පමණක් නොව මහ වැසි දියෙන් පිරුණු ගංගා ඇළ ‍ෙදාළද ගලා ගියේ මහා ප්‍රචණ්ඩත්වයක් මවා පාමිනි.

වෙනදා සන්සුන්ව යාන්තමින් ගලා ගිය ගිනිගත්හේනේ, පොල්පිටියේ හිටියේගමින් කැලණි ගඟ බලා ඇදෙන දියදහර නිරන්තරව ඇදහැලුණු මහ වැස්සෙන් බලාසිටියදීම චණ්ඩ විය.

පුංචි දියණියන් දෙදෙනාත් ඔවුන්ගේ මිත්තණියත් චණ්ඩ දිය පහරට ගොදුරු වූයේ ඒ අවස්ථාවේදීය.

“ඇළේ වතුර වැඩි හින්දා අම්මා ලොකු දුවට කතා කරලා තියෙනවා පොඩි දුවව ඇළෙන් එගොඩ කරගන්න එන්න කියලා. තුන්දෙනාම අත්වැල අල්ලගෙන එගොඩ වෙද්දි වතුර පාර එක පාරටම වැඩිවෙලා! ඒ ගොල්ලන්ට ඒ පීඩාව දරාගන්න බැරිවෙලා තිබුණු හින්දයි මේ විපත්තිය සිද්ධ වෙලා තියෙන්නෙ. තුන්දෙනාම ගහගෙන ගිහින්! මීටර් පනහක් විතර ගහගෙන යද්දි ලොකු දුවට හොඳ වෙලාවට කෝපි අත්තක් අහුවෙලා තියෙනවා. ඒ හින්දා එයා බේරුණා. ඒත් පොඩි දුවයි අම්මයි ගහගෙනම ගියා. අනේ මගේ අම්මයි පොඩි දුවයි දෙන්නම එකම වෙලාවෙ නැතිවුණා!” අවමඟුල් ගෙදරදි අපට හමු වූ අමල් හේමචන්ද්‍ර මහතා කීවේ මහා කම්පාවකිනි. මියගොස් තිබුණේ ඔහුගේ මව වූ හැට දෙහැවිරිදි එන්.එම්. ආරියවතී මහත්මිය හා බාල දුව වූ පස් හැවිරිදි ඩී.ජී. දහම්සා සංජීවනී දැරියය.

“අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. හිටිය දුවලා දෙන්නගෙන් දැන් ඉන්නෙ ලොකු දුව විතරයි. එයාට වයස 15යි. ලොකු පුතාගෙ වයස 12යි. බාල පුතාගෙ 8යි. අපේ තාත්තා මීට මාස 10කට ඉස්සර නැති වුණා. දරුවො හතරදෙනා හිටියේ අපේ අම්මත් එක්ක.

මායි නෝනයි කිතුල්ගල, ඉංගිරියාවත්තෙ තේ කඩයක් කරනවා. ගෙදර ඉඳලා එතෙන්ට කිලෝමීටර් 20ක් විතර දුරයි. අපි ගෙදර ආවෙ දවස් දෙකකට සැරයක්. මේ වින්නැහිය වෙච්ච දාට කලින් දවසෙ තමයි අපි කඩේට ගියේ. හැමදාම දරුවො වට්ස්ඇප් එකෙන් වීඩියෝ කෝල් අරන් අපිට කතා කරනවා. අපි ගෙදර එනකොට පොඩි දුව තමයි මුලින්ම දුවගෙන ඇවිත් අපිට වඳින්නෙ” හේමචන්ද්‍ර මහතා අප සමඟ කීවේය.

“එදා මුළු දවසෙම වැස්ස. හවස පොඩි පුතා කෝල් එකක් දීලා කිව්වා ‘තාත්තෙ කිරි අම්මයි නංගියි ඇළේ ගියා!’ කියලා. මට වීල් එකක් තිබුණට එළවන්න බෑ. ඒ හින්දා වෙන එකක් කුලියට අරගෙනයි ආවෙ. වෙනදා මේ ඇළේ වතුර පාර සැර නෑ. දවස් තුනක් වැහැලා තිබුණත් ඇළේ වතුර අඩි දෙකක්වත් නැඟලා තිබුණෙ නෑ. ඒත් එවෙලෙ වතුර පාර නොහිතපු විදිහට වැඩිවෙලා! ඇළේ වතුර වැඩි නිසා තමයි අම්මා ලොකු දුවට කෝල් කරලා ගෙන්න ගෙන තියෙන්නෙ. තුන්දෙනාම එකට ඇළෙන් ගොඩවෙද්දි තමයි මේ දේ වුණේ. ලොකු දුවට තුවාලයි. ඇවිද ගන්න බෑ.

අම්මා තමයි පොඩි දුවව මොන්ටිසෝරියට අරන් ගියේ. ඒක තියෙන්නෙ බොකරබැවිල පන්සලේ. ගෙදර ඉඳන් මීටර් 500ක් වත් දුර නැහැ. දුව එදා අම්මට කියලා තියෙනවා ‘ලැවරියා කන්න ආසයි‘ කියලා. ඒත් එක කඩේකවත් ලැවරියා තිබිලා නෑ. පස්සෙ අම්මා ගෙදර ඇවිත් රොටි හදලා මොන්ටිසෝරියට අරගෙන ගිහින් තියෙනවා. වැස්ස හින්දා එදා ඉඳලා තියෙන්නෙත් ළමයි හය දෙනයි. දුව ජෑම් ගාගෙන කන්න ආස නිසා අම්මා රොටිවලට ජෑම් ගාගෙනත් ගිහින් තිබුණා.

‘අනේ ආච්චි අද හොඳටම වහිනවා. අපිව බලන්න අම්මයි තාත්තයි හෙට එනකොට දෙන්නම හොඳටම තෙමෙයි‘ කියලත් දුව කියලා තියෙනවා. මළගෙදර ආපු ටීචර් තමයි ඒ විස්තරේ මට කිව්වෙ.

හැමදාම අපි ගෙදරින් එනකොට සෙල්ලම් බඩුවක් ගේන්න කියලා දුව අපිට කියනවා. එදා අන්තිමට ගෙදරින් යන දවසෙත් දුව මට කිව්වා ‘තාත්තා සෙල්ලම් බඩුවක් ගේන්න’ කියලා. අපේ දරුවො හතරදෙනා හරිම සමඟියෙන් තමයි උන්නෙ. මොනවා ගෙනත් දුන්නත් හතරදෙනාම එකට වාඩිවෙලයි කෑවෙ.

ලොකු දුව ඉගෙන ගන්නෙ පොල්පිටියෙ මාදෙණිය විද්‍යාලයේ. එයා ඉන්නෙ 10 පන්තියෙ. ලොකු පුතා හයේ. පොඩි පුතා හතරෙ. එදා වැස්ස නිසා තුන්දෙනාම ඉස්කෝලෙ ගිහින් තිබුණෙ නෑ. මේ ඉරණම් ගමන යන්න වෙන බව දැනගෙනද දන්නෑ අම්මා පොඩි දුවත් එක්කම ගියේ.”

මියගිය දැරියගේ මව වන ඩී.එල්. දයානි මහත්මිය කතා කළේ කඳුළෙනි.

“ළමයි හතරදෙනා හැමදාම අපට කෝල් කරනවා. ඉස්කෝලෙ යන කොටත් කතා කරනවා. හැබැයි මේ විපත්තිය වෙච්ච දවසේ කතා කෙරුවෙ නෑ. ඊට කලින් දවසෙ රෑ පොඩි දුව වට්ස්ඇප් කෝල් එකක් අරගෙන නට නටා කතා කෙරුවෙ. වෙනදා පොඩි පින්නක් වැටුණත් අම්මා පොඩි දුවව මොන්ටිසෝරි අරගෙන යන්නෙ නෑ. එදා මාරයද දන්නෙ නෑ දෙන්නවම එළියට අරන් ගියේ!”

මියගිය දියණියගේ මිත්තණියගේ දේහයන් තැන්පත් කර තිබුණේ එකම පෙට්ටියකය. දේහයනට අවසන් ගෞරව දැක්වීම පිණිස අතිවිශාල ජනතාවක් පැමිණ සිටි අතර අවසන් කටයුතු පසුගිය 04 වැනිදා නිවෙස පිහිටි ඉඩමේදී සිදුවීමට නියමිතව තිබිණි.

නොර්වුඩ් _ නීටා පත්මකුමාරි