ස්වාමීනි ! අපටද යාච්ඤා කිරීමට ඉගැන්නුව මැනව

0
23

මම දන්න පියතුමෙක් සිටියා. තරුණ කාලයේදීම උන්වහන්සේට දරුණු පිළිකා රෝගයක් වැලඳුණා. මහරගම පිළිකා රෝහලට ගිහිල්ලා අවශ්‍ය බේත් හේත් ගත්තා. පෞද්ගලික රෝහලක කාමරයක තමා පියතුමාව නතර කරලා තිබුණේ. පියතුමාගේ තනියට ළඟ සිටියේ පියතුමාගේ අම්මා. අපි පියතුමාව බැහැදකින්න යන හැම වේලාවකම දැක්ක පුදුම දෙයක් තිබුණා.

පූජක පුතයි අම්මායි එකතු වෙලා යාච්ඤා කරනවා. ශුද්ධ වූ පැය පවත්වනවා. ජපමාලය උච්චාරණය කරනවා. ඒ තියා ඒ කාමරයේ පොඩි අල්තාරයක් හදාගෙන පියතුමා පූජාව තබනවා. අම්මා උත්තර දෙනවා. දෙවියන් වහන්සේ මේ කන්නලව්වට සවන් දුන්නා. ඔවුන්ගේ දුක්බර කතාව ඇසුවා. දෙවියන් වහන්සේ ඒ කතාව අහල නිකන් හිටියේ නැහැ. ඒ පූජක පුතාව පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන් සුව කළා. අද උන්වහන්සේ තමන්ගේ පූජක යුතුකම් ඉටු කරමින් දෙවියන් වහන්සේට සේවය කරනවා. එදා දුක් කඳුළු වගුරපු අම්මා අද සතුටු කඳුළු හෙළමින් දෙවිඳුන්ට උදේ හවා තුති ප්‍රසංශා පුදනවා.

යාච්ඤාව කියන්නේ දෙවියන් වහන්සේ සමඟ කතා කිරීමක්. සතුටු සාමිචියේ යෙදීමක් මේ තුළින් දෙවිඳුන් අපට දුන් මේ ජීවිතයට අපේ හුස්මට අපට ලැබී ඇති ලෞකික දේවල්වලට අපි තුති ප්‍රශංසා කරමු. එදිනෙදා ජීවිතේට අවශ්‍ය දෑ අපි යාච්ඤාව තුළින් දෙවිඳුන්ට කියලා ලබා ගන්නවා. යාච්ඤාව ප්‍රේම සංවාදයක්, ආදරය බෙදා ගැනීමක්, ඇතැම් අයගේ වැරැදි මතයක් තිබෙනවා යාච්ඤාව කියන්නේ ඉල්ලීමට තිබෙන දෙයක් කියලා. ඉල්ලන්නටත් අවස්ථාවක් තිබෙනවා. නමුත් ඉස්සර වෙලාම අපි කරන්න ඕනෑ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමයි. දෙවැනුව අපට ලැබුණු සෑම දේකටම තුති පිදීමයි.

තුන්වැනුව මෙපමණ දේවල් දීලා අපිව රැක බලාගන්න දෙවියන් වහන්සේට විරුද්ධව අපි කළ පාපවලට සමාව ලබා ගැනීමයි.  ඔන්න අවසාන කොටසේදී තමයි අපි දෙවිඳුන්ගෙන් අපට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලන්නේ. හැබැයි අපි ඉල්ලන්නත් ඉස්සර දෙවියන් වහන්සේ දන්නවා අපිට දෙන්න ඕනෑ මොනවද, නැත්තේ මොනවද කියලා. මොකද ඇතැම් අයට ඕනෑවට වඩා දේවල් ලැබුණහම තමනුත් නැතිවෙලා දෙවියන් වහන්සේවත් නැතිකර ගන්නවා.  “මාගේ සිත සමිඳුන් පසසන්න හද පත්ලෙන්ම එතුමන්ගේ නම පසසන්න” ගීතාවලිය 104/1.

පැරැණි ගිවිසුමේ අපි දකිනවා ආදි පිතුරුවරු, දිවැස් ප්‍රසාදිවරු, නායකවරු, රජවරු, පූජකවරු දෙවියන් වහන්සේ සමඟ කතා කළ හැටි. තමන්ගේ ජනතාව වෙනුවෙන් දෙවිඳුන්ට කන්නලව් කළ හැටි. එදා මිනිසුන්ගේ දුෂ්ටකම් නිසා සො‍ෙදාම් ගොමොරා නගර වනසන්නට යන විට ආබ්‍රහම්තුමා මැදිහත් වෙලා දෙවියන් වහන්සේට කන්නලව් කරනවා. (උත්පත්ති 18/ 22) එලෙසම නික්මයෑම පොත පුරාම අපි දකිනවා.         

මෝසේස්තුමා දෙවියන් වහන්සේට යාච්ඤා  කළ ආකාරය, එතුමා දෙවිදුන්ගේ හඬට සවන් දී ඊශ්‍රායෙල් ජනතාව පාරාවෝගෙන් බේරාගෙන පොරොන්දු දේශය කරා ගෙන ගිය ආකාරය. මිනිසුන් වැරැදි මාර්ගයේ ගමන් කරන විට දෙවියන් වහන්සේ දිවැස්වරුන් මාර්ගයෙන් සමාජය සංශෝධනය කරනවා. ඔවුන්ගේ යැදුම්වලට ඇහුම්කන් දීලා ඔවුන්ව සනසනවා. මේ තුළින් පෙන්නුම් කරනවා දෙවිඳුන් තුළ යැපෙන අයට උන්වහන්සේ ගැලවීම සලසන බව.

ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ සෑම විටම යාච්ඤාවට මුල්තැනක් දුන්නා. ප්‍රසිද්ධ ජීවිතේ අරඹන්න පළමුව එයට ශක්තිය , ධෛර්ය ඉල්ලලා “අබ්බා” පියාණන් සමඟ දවස් හතළිහක්. රෑ හතළිහක් නිරාහාරව යාච්ඤා කළ භාවනා කළා. ( මතෙව් 4/1-11) ජේසුස් වහන්සේ උදෙන්ම අවිදි වී හෝ බොහෝ රෑ වන තුරු යාච්ඤා කළා. (ලූක් 6/12) උන්වහන්සේ ජනකාය යැවූ පසු යාච්ඤා කරනු පිණිස වෙන්ව කන්දට වැඩියා. සවස් වූ කල්හි උන්වහන්සේ තනිව එහි සිටි සේක. අලුයම තුනටත් හයටත් අතර උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. (මතෙව් 14/23-25) මෙහි සඳහන් කරන පරිදි ක්‍රිස්තුස් වහන්සේ සවස් වරුවේ මේ යාච්ඤාව තුළ තම පියාණන් සමඟ ආරම්භ කළ කතාව අවසන් කර ඇත්තේ පාන්දර යාමයේය. එපමණ වේලාවක් උන්වහන්සේ යාච්ඤාව සඳහා වෙන් කළා.

ක්‍රිස්තුස් වහන්සේ ලෙඩුන් සුව කරමින්, යකුන් දුරු කරමින්, මළවුන් නැඟිටුවමින් මොනතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් කවදාවත් යාච්ඤාව අතපසු කළේ නැහැ. (ලූක් 5/15-16) උන්වහන්සේ මෙහෙම යන යන තැන දිවා රෑ නොබලා යාච්ඤා කරන විට උන්වහන්සේගේ ගෝලයෝ නිදා ගත්තා. ඔවුන්ට මේ ගැන හරි හැඟීමක් තිබුණේ නෑ. එදා ක්‍රිස්තුස් වහන්සේ අන්‍යරූප විලාශවන විට ළඟ හිටපු ගෝලයෝ නිදිබරව සිටියේ (ලූක් 9/28-32) නමුත් ඔවුන් හැම විටම දැක්කා ජේසු යාච්ඤා කරනවා.  ඔවුන් ඒක හරියට අගය කළා. ඒ නිසා තමා ඔවුන් ජේසුගෙන් “ස්වාමිනි, අපටද යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනව“ කියලා ඉල්ලා සිටියා.  ඔවුන්ගේ ඉල්ලීම අහක දාන්නේ නැතිව උන්වහන්සේ ඔවුන්ට ඉගැන්නුවා.  ලෝකයේ බලගතුම ඒ වගේම විවිධ භාෂාවලින් මුළු විශ්වය පුරා කියන යාච්ඤාව.  මොකක්ද “ස්වාමිවාක් ආරාධනාව“ නැත්නම් “පරමණ්ඩලය”. මේක මහා දිග හෑල්ලක් නොවේයි. ඉතා කෙට් යාච්ඤාවක්. යාච්ඤාවක් කියන්නේ මොකක්ද සහ කෙසේද යාච්ඤා කළ යුත්තේ කියලා උන්වහන්සේ ඔවුන්ට මෙසේ පැහැදිලි කරනවා.

“යාච්ඤා කිරීමේදී විජාතින් මෙන් දිගින් දිගට හිස් වචන නො‍ෙදාඩන්න ඔවුන් ‍ෙදාඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුනට ඇහුම්කන් දෙනු ඇතැයි ඔවුහු සිතති. ඔවුන් හා සමාන නොවන්න.” (මතෙව් 6-7-8)  එම නිසා වැදගත් වන්නේ අපේ යාච්ඤාවල වචන ප්‍රමාණවත් භාෂා විලාසයවත් නොවෙයි. අප යාච්ඤා කරන ලීලාවයි. නැත්නම් අපේ ස්ථාවරයයි. ජේසු තමන්ගේ ගෝලයන්ටත් ඉගැන්වූවා. දෙව්පියාණන්ට  “අබ්බා”  කියලා අමතන්න.  ඇරමයික් භාෂාවෙන් එකේ තේරුම “තාත්තා”  “තාත්තියෝ” “අප්පච්චි”  වගේ යන්නක්. එම නිසා යාච්ඤාවක් නැත්නම් යැදුමක් කියන්නේ වචන හරඹයක් නොවේ. දෙවියන් වහන්සේ අපේ ආදරණීය ස්වර්ගීය තාත්තා හැටියට උන්වහන්සේට හදවතින් ළංවී කතා කිරීමයි. අපේ විශ්වාසය ප්‍රකාශ කිරීමයි.

ඇතැමුන් පැය ගණන් ගිරව් වගේ කියවනවා. ඇතැම් විට කිව්වේ මොනවද කියලා අවධානයකුත් නැහැ. සිත එකලස් බවකුත් නැහැ. ඒ නිසා අපි යාච්ඤා කරද්දී හොඳට සිහියට නඟා ගන්න ඕනෑ. තදින් විශ්වාස කරන්න ඕනෑ. අපි දෙවියන් වහන්සේ ළඟ සිටින බව.  උන්වහන්සේ අපට සවන්දෙන බව. ඒ වගේම උන්වහන්සේ අපිව දිරි ගන්වන බව. ඒ වගේම එදා ගෙත්සමනි උයනේ ක්‍රිස්තුස්වහන්සේ පියාණන්ට යාච්ඤා කළ ආකාරය බලන්න.  “මගේ පියාණෙනි හැකිනම් මේ කුසලානය මා කෙරෙන් ඉවත් කළ මැනව.

එහෙත් මා කැමැති ලෙස නොව ඔබ කැමැති ලෙස වේවා” (මතෙව් 26/29)  එලෙස අප තුළත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට මහත් ආශාවක් තිබිය යුතුය.  ගැලවීම ඉතිහාසය පුරාම දෙවිඳුන් තෝරාගත් දෙවිඳුන්ට ළංවෙලා හිටිය,  සෑම කෙනෙක්ම නිතරම පැවසුවේ මාගේ කැමැත්ත නොව දෙවිඳුනි ඔබගේ කැමැත්ත ඉටුවේවායි කියලයි.  ඒ වගේම යාච්ඤාව තුළ   දෙවිඳුන් හා ගැඹුරු දියඹේ අත්දැකීම ලබන්නට නම් සෑම බාහිර බාධා කිරීම් සහ යක්ෂ පරීක්ෂාවලින් සම්පූර්ණයෙන් අෑත් විය යුතුය. එය ධාන්‍යයට සම වැදීමක් ගැඹුරු භාවනාවක් විය යුතුය.  ශුද්ධාත්මයාණන්ගේ බලය තුළ දැහැන්ගත වන්නට ඔබ සැමට වරම් ලැබේවායි මමද යාච්ඤා කරමි.

ජේසු පිහිටයි.

මේ කරුණු ගැනත් සිතන්න.

“ස්වාමිවාක් ආරාධනාව“ ගෙන එක එක වාක්‍යය වෙන වෙනම විග්‍රහ කරන්න.

මම දෙවියන් වහන්සේ සමඟ කතා කළ යුත්තේ මා ගැන පමණක් නොව අසල් වැසියාගේ යහපත ගැනත් කතා කළ යුතුය.

ලෝක සාමය, ශුද්ධ වූ සභාව, රටේ නායකයන්, රෝහල්වල දුක්විඳින අය, විපතට පත්වූ අය යනාදී වශයෙන්.

අන්‍ය ආගමිකයන් අපට හිරිහැර කරන අය සඳහා

විද්‍යාවෙන් පවා උත්තර නැති ප්‍රශ්නවල දෙවිඳුන් ළඟ උත්තර ඇත.

අපගේ යැදුම්වලට හරි උත්තරයක් ලැබෙන්නට තරම් ශුද්ධවන්ත, අවංක ජීවිතයක් අපි ගත කරනවාද කියා පළමුව මෙනෙහි කර දෙවිඳුන් වෙතට දෑත් දිගු කරන්න.

දෙවියන් වහන්සේ අංක ඔබපු ගමන් මුදල් ලැබෙන “ATM”  යන්ත්‍රයක් නොවේ.

පුත්තලම්

දිසානායක

අඟුණවිල මීසම්පති

මොරිස්

ප්‍රියකාන්ත පියතුමා