සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අරගල භූමියෙන් ඉවතට

0
18

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව නිල වශයෙන් ගාලුමුව‍ෙදාර අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කොට ඇත.පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයන් ලෙස රටේ අනෙක් පුරවැසියන් හා එක්වන බව එම එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස ගාලුමුව‍ෙදාර අරගල භූමියෙන් ඉවත් වූවත් අරගලය තවදුරටත් පවතින බවද ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවද ඔවුහු අවධාරණය කරති.

මේ දක්වා සිදුකරගෙන ආ අයුරින්ම ඉදිරියේදීත් කණ්ඩායමක් ලෙස පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටුකරන බවද එම එකමුතුව සිය නිවේදනයේ දක්වා ඇත.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්වේ.

ගාලුමුව‍ෙදාර උද්ඝෝෂණ ස්ථානය මූලික කොටගනිමින් බිහිවුණු “ගෝඨාගෝගම”ට සමගාමීව එහි ස්ථාපිත කෙරුණු මුල්ම කණ්ඩායම අතරින් එකක් ලෙස අප එකමුතුව එදා සිට මේ මොහොත දක්වාම “අරගලයේ සමාජ මාධ්‍ය භූමිකාව”ට වඩා ප්‍රශස්ත හා සාධනීය කාර්යභාරයක් ඉටුකළ බව අපි විශ්වාස කරමු.

විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සහ එහි හිතෛෂී බලවේග ලක්ෂ ගණනින් මුදල් අය කරමින් අරගලයට විරුද්ධව අරගලය දියාරු කරවන සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන විට ඒ සියල්ල යටපත් කරවමින් අරගලයේ සැබෑ තතු සහ තත්ත්වයන් සමාජ මාධ්‍ය අවකාශ තුළ තහවුරු කරන්නටත් අරගලයේ නිශ්චිත තත්ත්වයන් සමාජ මාධ්‍ය තුළ සටහන් කරන්නටත් අප එකමුතුව දිවා රෑ නොබලා එකා සේ වෙහෙසී කටයුතු කිරීම සතුටට කරුණකි.

එමෙන්ම මැයි 09 වැනිදා ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂ සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත් ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් අප සාමාජිකයන් සිය සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීයය.

තවද අප සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළා ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවැරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බවද සිහිපත් කළ යුතුය. එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටතද , විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටුකළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූහ.

කෙසේ වුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස අපි 05 වැනිදා සිට ගාලුමුව‍ෙදාර අරගල  භූමියේ අපගේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තෙමු. එහෙත් තවදුරටත් අරගලය පවතින බවත් ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු.

සවනි ශේශාධි